වාර අවසාන කර ඇති වෙලාවක විශ්වාස භංග භාරගන්න බෑ | දිනමිණ

වාර අවසාන කර ඇති වෙලාවක විශ්වාස භංග භාරගන්න බෑ

ස්වර්ණා විජේකෝන්

පාර්ලිමේන්තුවේ වාර අවසාන කර ඇති කිසිඳු අවස්ථාවක විශ්වාස භංග යෝජනාවක් ලබාදීමේ හෝ විශ්වාස භංග යෝජනාවක් භාර ගැනීමේ හැකියාව කතානායකවරයාට නොමැති බවත් කිසිඳු රැස්විමක් සඳහා පාර්ලිමේන්තුව කැඳවීමේ හැකියාවක් කතානායකවරයාට නොමැති බවත් නිපුණතා සංවර්ධන හා වෘත්තිය පුහුණු කටයුතු ඇමැති දයාසිරි ජයසේකර මහතා පවසයි.

පාර්ලිමේන්තුවේ වාරාවසානය සිදුකර කල්තබා ඇති මොහොතක කතානායකවරයා හට සිදුකළ හැක්කේ පාර්ලිමේන්තු නිලධාරීන් හමුවීම පමණක් බවද දයාසිරි ජයසේකර මහතා පවසයි.

ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථානුකූලව කල් තබන ලද පාර්ලිමේන්තුව නැවත රැස්වන දිනය, එම දිනයේ සිදුවන ක්‍රියාවලිය , රැස්වීම පවත්වන්නේ කවර ආකාරයෙන්ද, පවත්වන වේලාව ආදිය සම්බන්ධයෙන් පමණක් කතානායකවරයා ලෙස සාකච්ඡා කළ හැකි අතර පාර්ලිමේන්තුව කල් තැබීමට ජනාධිපතිවරයා ගත් තීරණය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමේ හැකියාව පවා කතානායකවරයාට නොමැති බවද දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.

ඇමති දයාසිරි ජයසේකර මහතා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී ඊයේ (07) පැවැති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමති දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේ ප්‍රජාතන්ත්‍රවාදය අගයන නායකයකු ලෙස තමන් පිළිගත් කතානායක කරූ ජයසූරිය මහතා මේ වනවිට “කතානායක “ යන ධූරයෙන් ඔබ්බට ගොස් විදෙස් තානාපතිවරුන් ඇතුළු විදෙස් නියෝජිතයින් හමුවෙමින් උද්ගතව ඇති දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවයි. කතානායක ධූරය දරන කවරෙකු වුවද මධ්‍යස්ථ මත දරන්නකු ලෙස කටයුතු කළ වුවද වත්මන් කතානායකවරයා එක්සත් ජාතික පක්ෂයට ඇති බැඳිම හා ලැදියාව හේතුවෙන් පක්ෂග්‍රාහි ලෙස කටයුතු කරන බවද දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය . කරූ ජයසූරිය මහතා වැන්නකුගෙන් මෙවැනි ක්‍රියාවලියක් අපේක්ෂා නොකරන අතර පාර්ලිමේන්තුව වාරවසාන කිරීමෙන් පසුව කතානයකවරයාගේ බලය නැවත ස්ථාපිත වන්නේද පාර්ලිමේන්තුව නැවත කැඳවීමෙන් පසුව බවත් ජයසේකර මහතා පැවසීය . එමෙන්ම කරූ ජයසූරිය මහතා එක්සත් ජාතික පක්ෂයට ඇති බැඳීම හේතුවෙන් බටහිර බලවේග හා රාජ්‍ය නොවන සංවිධාන විසින් දියත් කර ඇති කුමන්ත්‍රණයක කොටස්කරුවකු බවටද පත්ව ඇති බවද සඳහන් කළේය.

මෙම මාධ්‍ය සාකච්ඡාව සඳහා ඇමති රන්ජිත් සියඹලාපිටිය, රාජ්‍ය ඇමැති වීරකුමාර දිසානායක, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා ඇතුළු පිරිසක්ද එක්වූහ.

නව අදහස දක්වන්න