දෙමළ ජනතා ගැටලුවලට විසඳුම් දිය හැක්කේ මහින්ද-මෛත්‍රී සුසංයෝගයට පමණයි | දිනමිණ

දෙමළ ජනතා ගැටලුවලට විසඳුම් දිය හැක්කේ මහින්ද-මෛත්‍රී සුසංයෝගයට පමණයි

ස්වර්ණා විජේකෝන්

දෙමළ ජනතාවගේ ගැටලුවලට විසඳුම් ලබාදිය හැකි නායකයන් දෙපල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හා අගමැති මහින්ද රාජපක්ෂ මහතා බව දෙමළ ජනතාව හොඳින් දන්නා නමුත් දෙමළ ජනතාවගේ ඡන්දයෙන් තේරීපත්වීමට නොහැකි එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් දෙමළ ජාතික සන්ධානයේ සහය එජාපයට ලබාගැනීම වෙනුවෙන් දැවැන්ත උත්සාහයක නිරතව සිටින බව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු ඇමැති දයාසිරි ජයසේකර මහතා පවසයි.

විවිධ පාර්ශ්වවල සහය ලබාගැනීම සඳහා මෙම පිරිස් කවර උත්සාහයන් දැරුව ද ලබන 14 වැනිදා පාර්ලිමේන්තුවේ දී මේ සියල්ල දැක බලාගත හැකි බැවින් ඉවසීමෙන් කටයුතු කළ යුතු බව ද ඇමැතිවරයා සඳහන් කළේය.

ඇමැතිවරයා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී ඊයේ(7) පැවැති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු ඇමැති දයාසිරි ජයසේකර මහතා-

ජනාධිපතිවරයා සතුවන බලතල අනුව හිටපු අගමැතිවරයා ඉවත් කිරීමට හා නව අගමැතිවරයා පත්කිරීමට කටයුතු කර තිබෙනවා. අගමැතිවරයා පත්කිරීම, ඇමැති මණ්ඩලය පත්කිරීම, අමාත්‍යාංශ ලේකම් පත් කිරීම ආදි සියල්ලම සිදුව ඇත්තේ ජනාධිපතිවරයා සතු බලතල අනුවයි. ජනාධිපතිවරයා විසින් සිදුකරන ලද එම පත්කිරීමට විරුද්ධ නම්, එම ක්‍රියාවලිය ව්‍යවස්ථා විරෝධී යැයි හැ‍ෙඟෙන්නේ නම් එක්සත් ජාතික පක්ෂය කළ යුත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයට යාමයි. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණයට නොගොස් පාර්ලිමේන්තුවේ කමිටු කාමරයකට වී විරෝධතා ඉදිරිපත් කිරීම සාධාරණ නැහැ. ජනාධිපතිවරයා සතුව ඇති බලය කාගෙවත් අතර ගිහින් නැහැ. ඒ නිසා ජනාධිපතිවරයා සතු බලතල පිළිබඳ අභියෝග කිරීමේ හැකියාව නැහැ. ඒ වගේම 2015 වසරේ ජනවාරි 9 වැනිදා අගමැතිවරයා පත්කරන විටත් පැවැතියේ මෙවැනි වාතාවරණයක්. 2015 වසරේදී අගමැතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත්කරන විට එතුමාට තිබුනේ ආසන 47යි. නමුත් කිසිඳු දැනුම් දීමකින් තොරව හිටපු අගමැති දී මු ජයරත්න මහතා ඉවත් කළා. අඩුම තරමේ දි මු ජයරත්න මහතා ඉවත් කරන බවට ලිපියකින්වත් දැනුම් දීමක්වත් සිදුකළේ නැහැ. නමුත් එදා කටයුතු කළ ආකාරය වැරදියි කියා ජනතා විමුක්ති පෙරමුණ නිකම්වත් සඳහන් කළේ නැහැ. 2004 වසරේ දී ත් චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය යටතේත් මෙවැනිම ක්‍රියාවක් සිදුවුණා. ඒ වෙලාවෙත් ජනතා විමුක්ති පෙරමුණ කතා කළේ නැහැ. ජනතා විමුක්ති පෙරමුණ දැන් විවිධ කතා කියනවා. පසුගියදා ඔවුන් බොරැල්ලේ සිට කොටුවට ඇවිත් කිව්වේ පැවැති ආණ්ඩුව ගෙදර යැවිය යුතු බවයි. නුගේගොඩ රැලියෙදී කිව්වෙත් ඒකමයි. ගතවූ වසර තුනකට අධික කාලය තුළ මමත් ඒ ආණ්ඩුව නියෝජනය කළා. නමුත් එම ආණ්ඩුවට ජනතාව තුළ විශාල විරෝධයක් තිබුණා. මොන අභියෝග ආවත්, අර්බුද රැසක් මධ්‍යයේ අපි ආණ්ඩුව කරගෙන ගියා. නමුත් අවසානයේදී ජනාධිපතිවරයා ඝාතනය කරන තැනට කුමන්ත්‍රණ කළාම එතුමා වෙන මොනවද කරන්නේ. රනිල් වික්‍රමසිංහ මහතා සමඟ මේ ගමන යා නොහැකි බව තේරුණාම ජනාධිපතිවරයා අගමැතිවරයා ලෙස පත්කිරීම වෙනුවෙන් කරූ ජයසූරිය, සජිත් ප්‍රේමදාස, නිමල් සිරිපාල ද සිල්වා, රන්ජිත් මද්දුම බණ්ඩාර වැනි අය සමඟත් කතා කළා. නමුත් අවසානයේදී මහින්ද රාජපක්ෂ මහතා අගමැතිවරයා ලෙස පත්කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළා. තමන්ව බලයට ගේන්න කටයුතු කළ පිරිසම ජනාධිපතිවරයා ඝාතනය කර ජනාධිපති සිහිනය වෙනුවෙන් සැළසුම් සකස් කරන විට ජනාධිපතිවරයා ලෙස තවදුරටත් එම පාර්ශ්වය සමඟ ඉදිරියට යාමේ කිසිඳු හැකියාවක් ජනාධිපතිවරයාට නැහැ. ඒ වගේම ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වය දිගුකාලිනයි. කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා වූයේ යැයි සඳහන් කරමින් විවිධ කරුණු හින්දු පුවත්පතට ලබාදීමේ සිදුවීමත් ලඝු කරන්නට බැහැ. ඔවුන් ඒ හරහා සිදුකළේ දෙරට අතර අර්බුදයක් නිර්මාණය කිරීම පමණක් නෙවෙයි, රාජ්‍ය නායකයන් දෙදෙනා අතරත් අර්බුදයක් නිර්මාණය කිරීමට උත්සාහ දැරීමයි.

ඒ වගේම කතානායක කරූ ජයසූරිය මහතාත් සිය ධූරයේ වගකීමෙන් ඔබ්බට ගොස් කටයුතු කර තිබෙනවා.

ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථානුකූලව කල් තබන ලද පාර්ලිමේන්තුව නැවත රැස්වන දිනය, එම දිනයේ සිදුවන ක්‍රියාවලිය, රැස්වීම පවත්වන්නේ කවර ආකාරයෙන්ද, පවත්වන වේලාව ආදිය සම්බන්ධයෙන් පමණක් කතානායකවරයා ලෙස සාකච්ඡා කළ හැකියි. පාර්ලිමේන්තුව කල් තැබීමට ජනාධිපතිවරයා ගත් තීරණය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමේ හැකියාව පවා කතානායකවරයාට නැහැ.

ප්‍රජාතන්ත්‍රවාදය අගයන නායකයකු ලෙස තමන් පිළිගත් කතානායක කරූ ජයසූරිය මහතා මේ වනවිට 'කතානායක' යන ධූරයෙන් ඔබ්බට ගොස් විදෙස් තානාපතිවරුන් ඇතුළු විදෙස් නියෝජිතයන් හමුවෙමින් උද්ගතව ඇති දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කරනවා. කතානායක ධූරය දරන කවරකු වුවද මධ්‍යස්ථ මත දරන්නකු ලෙස කටයුතු කළ යුතු වුවද වත්මන් කතානායකවරයා එක්සත් ජාතික පක්ෂයට ඇති බැඳීම හා ලැදියාව හේතුවෙන් පක්ෂග්‍රාහි ලෙස කටයුතු කරනවා. කරූ ජයසූරිය මහතා වැන්නකුගෙන් මෙවැනි ක්‍රියාවලියක් අපේක්ෂා නොකරන අතර පාර්ලිමේන්තුව වාරාවසාන කිරීමෙන් පසුව කතානායකවරයාගේ බලය නැවත ස්ථාපිත වන්නේද පාර්ලිමේන්තුව නැවත කැඳවීමෙන් පසුවයි. කරූ ජයසූරිය මහතා එක්සත් ජාතික පක්ෂයට ඇති බැඳීම හේතුවෙන් බටහිර බලවේග හා රාජ්‍ය නොවන සංවිධාන විසින් දියත් කර ඇති කුමන්ත්‍රණයක කොටස්කරුවකු බවට ද පත්ව සිටිනවා. ඒ වගේම කතානායකවරයා එක්සත් ජාතික පක්ෂයට ඇති බැඳීම නිසා ජාත්‍යන්තරයට කේලම් කියන තැනට පත්වෙලා. අපි එය කිසිසේත් අනුමත කරන්නේ නැහැ.

එමෙන්ම ජනාධිපතිවරයා සිදුකරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල විවිධ ප්‍රකාශ නිකුත් වෙනවා. “ හිටපු අගමැතිවරයා තීන්දු තීරණ ගත්තේ සමනලුන් සමඟ“ බවට එතුමා සිදුකළ ප්‍රකාශයයි. ඒ සම්බන්ධයෙන් ඕනෑම කෙනකුට විවිධ මත ඉදිරිපත් කරන්නට පුළුවන්. රාජිත සේනාරත්ත ඇමැතිවරයාටත් සමනළයා නමින් පක්ෂයක් තිබුණා. විජය කුමාරතුංග මහතා ඝාතනය කළ වෙලාවෙත් සමනළයෙක් මිය ගියා කියා කිව්වා.

කොහොම උනත් පසුගිය වසර තුනක කාලය තුළ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන පවා ගැටලු මතුවී තිබුණා. නමුත් අද එවැනි තත්ත්වයක් නැහැ. රට නිවැරදි තීන්දුවකට ගෙන යාම වෙනුවෙන් ජනාධිපතිවරයා හා අගමැති මහින්ද රාජපක්ෂ මහතා එක්ව කටයුතු කරනවා. නමුත් දෙමළ ජනතාවගේ ඡන්දයෙන් බලයට පත්විය නොහැකි එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් පමණක් බලයට ආ හැකි දෙමළ මන්ත්‍රීවරයෙක් දෙමළ ජාතික සන්ධානයේ සහය රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදීම වෙනුවෙන් උත්සාහ කරනවා. දෙමළ ජනතාව මේ ගැන අවධානය යොමුකළ යුතුයි. ව්‍යස්ථාවක් සකස් කරන බව සඳහන් කරමින් දෙමළ ජනතාව මුලා කළේ එක්සත් ජාතික පක්ෂයයි. දෙමළ ජනතාවට ඇති ප්‍රශ්නවලට විසඳුම් අපි සෙවිය යුතුයි. එම ප්‍රශ්නවලට විසඳුම් ලබාදිය හැකි නායකයන් දෙපළ වන්නේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හා අගමැති මහින්ද රාජපක්ෂ මහතායි. ඒ නිසා දෙමළ ජනතාව ගැන සිතා දෙමළ ජාතික සන්ධානය තීන්දු තීරණ ගන්නවා නම් වඩාත් යහපත්. මොකද මේ තරම් කාලයක් එක්සත් ජාතික පක්ෂය සිදුකලේ දෙමළ ජනතාව මුලා කිරීමයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැති රන්ජිත් සියඹලාපිටිය මහතා මෙසේද පැවැසීය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හා අගමැති මහින්ද රාජපක්ෂ යන සුසංයෝගය රටම බලාගෙන සිටි එකක්. ජනතාවගේ එකම බලාපොරොත්තුව උනේ මෙම දෙදෙනාගේ එකඟත්වයෙන් නව ආණ්ඩුවක් පිහිටුවනු දැකීමයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන අපගේත් අවශ්‍යතාව වුනේ හැකි ඉක්මනින් අපගේම ආණ්ඩුවක් පිහිටුවීමයි. ඇත්තටම මෙම දෙදෙනාගේම සහභාගීත්වයෙන් නව ආණ්ඩුවක් පිහිටුවීම යනු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අරමුණක් පමණක් නෙවෙයි, එය රටේ අවශ්‍යතාවයි. ඒ වගේම අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය ලෙස වසර තුනහමාරකට අධික කාලයක් ආණ්ඩුව කරගෙන ගියා. නමුත් එම අවස්ථාවලදීත් යම් යම් සිදුවීම් සිදුවුනා. ආර්ථිකයට බලපෑම් එල්ල වන ආකාරයේ විවිධ වැරදි තීන්දු තීරණ එක්සත් ජාතික පක්ෂය විසින් සිදුකළා. නමුත් සියල්ල විඳ දරාගනිමින් අපි පාලනය ගෙන ගියා. එම කාල සීමාව අතර තුර දී මහබැංකු බැඳුම්කර සිදුවීම සිදුවුණා. එහිදී ජනාධිපතිවරයා කොමිෂන් සභාවක් පත්කළා. වැරදිකරුවන්ට කඩිනමින් දඬුවම් දීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයාට තිබුණා. ඒ වෙනුවෙන් අදාළ පනත පාර්ලිමේන්තුවට ගෙනාවා. නමුත් එම පනත පිළිබඳ විවාදය දින නියමයක් නොමැතිව කල් දැමීමට පවා මේ අය කටයුතු කළා. එවැනි සිදුවීම් රාශියක් සිදුවුණා. මේ වගේ සිදුවීම් දිනෙන් දිනම සිදුවන විට ජනාධිපතිවරයෙක් ලෙස මෛත්‍රිපාල සිරිසේන මහතා බොහෝ අවස්ථාවල දී දැඩි ඉවසීමෙන් යුතුව කටයුතු කළා. ඒ අනුව බොහෝ සේ සිතා බලා, රට ගැන සිතා මහින්ද රාජපක්ෂ මහතා නව අගමැතිවරයා ලෙස පත්කර රටට යහපතක් වන ආකාරයේ තීන්දුවක් ගැනීමට ජනාධිපතිවරයා කටයුතු කළා. මෙම තීන්දුව ජනතාව අනුමත කරනවා. පසුගියදා පාර්ලිමෙන්තුව ආසන්නයේ දී අපි පැවැතවූ ජන රැලියෙන් ඒ බව තහවුරු වෙනවා. විශේෂයෙන්ම මෑත ඉතිහාසයේදී කොළඹට පැමිණි දැවැන්තම ජනකාය ලෙස මෙම රැලියට සහභාගී වූ ජන සහභාගීත්වය සඳහන් කරන්නට පුළුවන්.

මේ වනවිට අගමැතිවරයා පත්කර ඇමැති මණ්ඩලයෙන් කොටසක් ද දිව්රුම් දී තිබෙනවා. නමුත් හිටපු සමහර ඇමැතිවරු තවමත් තමන් ඇමැතිවරුන් ලෙස සිතා අමාත්‍යාංශවලට ගොස් නිලධාරින්ට බලපෑම් කරනවා. අපි කිසිසේත් එවැනි සිදුවීම් අනුමත කරන්නේ නැහැ. ඒ වගේම නිලධාරීන් අපහසුවට පත්කරන්න එපා. ඔවුන්ට වැඩකරන්න සිදුවෙන්නේ චක්‍ර ලේඛ අනුවයි. සිදුව ඇති ක්‍රියාවලියේ යම් වැරැද්දක් සිදුව තිබෙන බවට විශ්වාස කරනවා නම් ශ්‍රේෂ්ඨාධිකරණයට යාමේ හැකියාව තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා-

මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ගත් මෙම තීන්දුව ඓතිහාසික තීන්දුවක්. අපි මුල සිටම ප්‍රකාශ කළේ මෙම දෙදෙනාගේ එකතුවීමක් නොමැතිව අපගේ ගමන් මග ශක්තිමත් නොවන බවයි. කොහොම උනත් අද වනවිට අපට ශක්තිමත් ගමනක් යාමේ හැකියාව තිබෙනවා. දැන් එක්සත් ජාතික පක්ෂයේ අය විවිධ කතා කියනවා. මොන දේවල් කිව්වත් සියලු කටයුතු සිදුව ඇත්තේ ව්‍යවස්ථානුකූලවයි. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත්කිරීමට තීරණය කළේ දිගු කාලයක් ඉවසීමෙන් පසුවයි. රනිල් වික්‍රමසිංහ මහතා රට හා රටේ ආර්ථිකය සූදු පිටියක් බවට පත්කරගෙන තිබුනේ. ආර්ථිකය මෙහෙයවුයේ රනිල් වික්‍රමසිංහ මහතාට හිතවත් කිහිප දෙනකු විසින්. රනිල් වික්‍රමසිංහ මහතාට හිතවත් කිහිප දෙනා හැරුනම අනිත් සියලු දෙනා ඉල්ලා සිටින්නේ නායකත්වයේ වෙනසක්. ගතවූ වසර තුන හමාරක කාලය තුළ ආපස්සට ගිය රට ඉදිරියට ගමන් කිරීමේ හැකියාව මේ දවස් කිහිපය තුළ නව නායකයන් දෙදෙනාට හැකිවී තිබෙනවා. දැන් එක්සත් ජාතික පක්ෂය විවිධ ගණන් හිලව් කියනවා. මමත් එක්සත් ජාතික පක්ෂයට එකතු වන බව සඳහන් කළා. නමුත් මම යන්නේ මොකටද, රට විකුණන්නද, ජාතික සම්පත් ටික විකුණන්ද? අපි ඕනම තැනකට යනව නම් ගිහිල්ල කරන්න දෙයක් තියෙන්න ඕන. එජාපයට ගිහිල්ල අපි මොනව කරන්නද?මහින්ද රාජපක්ෂ මහතා අගමැතිවරයා ලෙස පත්වුණා. එහෙම පත්වී එතුමාට රට වෙනුවෙන් කළයුතු වැඩ කොටසක් තිබෙනවා. අපි එජාපයට ගිහිල්ල මොනව කරන්නද? ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හා අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ මෙම එක්වීම සියලු දෙනා පිළිගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත්කිරීමට කටයුතු කළේ ව්‍යවස්ථානුකූළවයි. නමුත් මෙය ව්‍යවස්ථානුකුල නොමැති බව එක්සත් ජාතික පක්ෂය කියනවා. මෙම ක්‍රියාවලිය ව්‍යවස්ථානුකූල නැත්තම් ඔවුන් විසින් කළ යුත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයට යාමයි. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් එහි අර්ථ කථනය ලබා නොගෙන විවිධ දේවල් ප්‍රකාශ කරනවා. ඒ නිසා අපි ජනතාවට කියනවා, ඇතැම් පිරිස් විසින් සිදුකරන මෙවැනි ප්‍රකාශ හේතුවෙන් කුපිත වෙන්න එපා. සියලු කටයුතු සිදුව තිබෙන්නේ ව්‍යවස්ථානුකූළව හා නියමිත ක්‍රමවේදය අනුවයි. ඒ නිසා පක්ෂ සාමාජිකයන්ටත් අපි කියනවා, අන්මත ඉවසන්න. කිසිවකුට හිරිහැර කරන්න එපා. විරෝධතා සඳහා ප්‍රතිවිරෝධතා ඉදිරිපත් නොකර සාමකාමි ලෙස කටයුතු කරන්න. ඒ වගේම රට අස්ථාවර කරන්නට හෝ අපට පහර ගැසීමට බලාගෙන සිටින විජාතික බලවේගවලට කිසිඳු ආයුධයක් දෙන්න එපා. රට අස්ථාවර වන ආකාරයේ කිසිවක් නොකරන ලෙස සියලු පාක්ෂිකයින්ගෙන් අපි ඉල්ලා සිටිනවා.

නව අදහස දක්වන්න