මැතිසබේ රැස්වන පළමු දිනයේ කිසිම ඡන්දයක් නෑ | දිනමිණ

මැතිසබේ රැස්වන පළමු දිනයේ කිසිම ඡන්දයක් නෑ

නුවන් කොඩිකාර

පාර්ලිමේන්තුව රැස් වූ දිනයේ සිදුකෙරෙන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කිරීම පමණක් බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ, මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවැසීය.

එදිනට බහුතරය පෙන්වීම හෝ අගමැතිවරයාට එරෙහිව විශ්වාස භංගයක් ගෙන ඒම වැනි කිසිඳු ක්‍රියාවක් සිදු නොවන බවත්, එවැනි අසතය ප්‍රචාරවලට නොරැවටෙන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් අගමැති කාර්යාලයේ ඊයේ (07) පැවැති මාධය හමුවේදී මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශ කළ 14 වැනිදාට පෙර කිසිසේත් පාර්ලිමේන්තුව කැඳවීමක් සිදු නොවන බව පැවැසු ඒ මහතා එලෙස කිරීමට කතානායකවරයාටද කිසිඳු අයිතියක් නොමැති බව කියා සිටියේය.

තමන් නව ආණ්ඩුවක් නිර්මාණය කිරීම හරිද වැරදිද යන්න ජනාධිපිතවරයාට ජනමත විචාරණයක් මඟින් දැනගත හැකි බවත් එය ව්‍යවස්ථාවෙන් පවා ජනාධිපතිවරයාට ලබා දී ඇති හෙයින් එලෙස ජනමත විචාරණයකට යෑම වැලැක්වීමට අධිකරණයටද නොහැකි බවත් අබේව්ර්ධන මහතා පැවැසීය.

මන්ත්‍රීවරයා මෙසේද කියා සිටියේය.

14 වැනිදා න්‍යාය පත්‍රයේ තිබෙන්නේ වාර අවසාන කිරීමෙන් පසු නැවත කැඳව්වට පසු ජනාධිපතිවරයා ප්‍රකාශයක් සිදුකිරීම පමණයි. ඊට පස්සේ නැවත පාර්ලිමේන්තුව වෙනත් දිනයක් සඳහා කල් තියනවා. එලෙස කල් දැමු පසු පක්ෂ නායකයන් රැස්වෙලා ඊළග රැස් වෙන දිනය වෙනුවෙන් න්‍යාය පත්‍රය සකස් කරනවා. එහිදී විශ්වාස භංගයක් ගේනවද, නැත්නම් වෙනත් ක්‍රියාවක් සිදුකරනවද කියල තීරණය වෙන්නේ පක්ෂ නායක රැස්වීමෙන් පසුවයි. මේ වෙන කොට රජයේ කටයුතු ආරම්භ කර තිබෙනවා.

රජරට විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්ගේ වැටුප් පිළිබඳ ප්‍රශ්නයක් ඩලස් අලහප්පෙරුම මන්‍ත්‍රීවරයා ජනාධිපතිවරයාට ඉදිරිපත් කළා. එහිදී ජනාධිපතිතුමා හා අගමැතිවරයා සාකච්ඡා කර එය විසඳීමට අවශ්‍ය පියවර ගන්න කියලා මුදල් අමාත්‍යාංශයට දැනුම් දුන්නා. ඒ නිසා රජයේ කටයුතු නියමානුකූලව සිදුකරමින් තිබෙනවා.

ඒ වගේම මනූෂ නානායක්කාර මන්ත්‍රීවරයා එක්සත් ජාතික පක්ෂයට ගිහින් කියල මාධ්‍යවල ප්‍රචාරය වුණා. අද එතුමා සිංගප්පූරුවේ රිස්ට් කාල්ටන් කියන හෝටලයේ සිය පවුලේ අයත් එක්ක ගිහින් විවේකය ගත කරනවා. ඒ හෝටලයේ දිනකට වියදම ඩොලර් 200 වැඩියි. එය කවුද සිදු කරන්නේ කියල එතුමා ලංකාවට ආවම මාධ්‍යවලට අහළ දැනගන්න පුළුවන්.

 

නව අදහස දක්වන්න