බ්‍රයන් පෙරේරා ඉන්දියාවේදී ජය ලබයි | දිනමිණ

බ්‍රයන් පෙරේරා ඉන්දියාවේදී ජය ලබයි

ධාවන ශූර බ්‍රයන් පෙරේරා 21 වැනි වරට පැවැති Jktyre ජාතික ශූරතාවලිය 2018 තරගාවලියේදී සිවුවැනි තරගය ජය ගනිමින් ධාවන තරග බිමේ සිය කුසලතාව යළිත් වරක් ප්‍රදර්ශනය කිරීමට පසුගියදා සමත් විය.

පළමු තරගයේදී තරගාවලියේ මුල්තැන ගෙන සිටින අස්වින් දත්තා සමග තියුණු තරගයක නිරතවූ බ්‍රයන් දෙවැනි තැනට පත්විය. දෙවැනි තරගයේදී දෙවැන්නා බවට පත්වූ ඔහු තත්පර 5ක දඬුවම් කාලයක් හිමිවීමෙන් 7 වැනි ස්ථානයට පත්වූ අතර තෙවැනි තරගයේදී සිය කුසලතා යළිත් ප්‍රදර්ශනය කරමින් 5 වැනි තැන අත්කර ගත්තේය.

යුරෝ Jk 18 ශූරතාවලියේ සිවුවැනි තරගයේදී සිය හැකියාවන් මනාව පෙන්නුම් කළ බ්‍රයන් තරගය පහසුවෙන්ම ජය ගැනීමට සමත් විය.

මේ දක්වා Jktyre ජාතික ශූරතාවලියට තරග වදින එකම ශ්‍රී ලාංකික තරගකරු වන බ්‍රයන් මේ වසරේ තරග 3ක ජයග්‍රහණය ලබාගනිමින් වැඩිම වාර ගණනක් ජයගත් ධාවකයාද විය. මේ තරග වාරයේදී ප්‍රවීණ ධාවකයන් වන නයන් චැටර්ජ් සහ කාර්තින් තරානි ජය ලබා ඇත්තේ තරග දෙක බැගිනි.

තරගාවලිය පිළිබඳ අදහස් දක්වමින් බ්‍රයන් පවසන්නේ ඉන්දියාව බිහිකළ හොඳම ධාවකයන් සමග එරටේදී තරගාවලිය එක්වීමට ලැබීම තමන්ගේ වාසනාවක් බවත්, එහිදී තරග ජයක් ලබා ගැනීමට හැකිවීම විශ්මයක් බවත්ය.

නව අදහස දක්වන්න