ශ්‍රී ලංකා ක්‍රිකට් දූෂණ මර්දන ප්‍රධානියා අයි. සී. සීයෙන් පරීක්ෂණයක් ඉල්ලයි | දිනමිණ

ශ්‍රී ලංකා ක්‍රිකට් දූෂණ මර්දන ප්‍රධානියා අයි. සී. සීයෙන් පරීක්ෂණයක් ඉල්ලයි

ප්‍රින්ස් ගුණසේකර

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණ මර්දන ඒකක ප්‍රධානී අයේෂ් වීරක්කොඩි මහතා, තමාගේ සේවය කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව අවසන් කිරීම පිළිබඳ පරීක්ෂණයක් පවත්වන ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ඉල්ලයි. වීරක්කොඩි මහතා ඊයේ ක්‍රීඩා ඇමැති ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාපා මහතා හමුවී තමන්ට සිදුවූ අසාධාරණය පිළිබඳ පැමැණිලි කළ අතර එහිදී ඇමැතිවරයා පවසා ඇත්තේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අමතා වහාම පරීක්ෂණයක් ඉල්ලා සිටින ලෙසයි.

මේ වනවිට ශ්‍රී ලංකාව තුළ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකයෙන් කෙරෙන පරීක්ෂණවලට බලපෑම් කළ බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණ මර්දන ඒකක ප්‍රධානී අයේෂ් වීරක්කොඩි මහතාට චෝදනා එල්ලවී ඇති බව පැවැසුණද ඒ මහතා එම චෝදනා ප්‍රතික්ෂේප කරයි.

එම චෝදනා සියල්ල හිතාමතා සුලසුම් කළ ඒවා බව ඒ මහතාගේ අදහසවී තිබේ.

“ඔය කතා සියල්ල ගොතන ලද බොරු. ක්‍රිකට් තහකමකට ලක්වූ නුවන් සොයිසා මට දුරකතන ඇමැතුමක්දී මගෙන් අහුව්වා තහනමින් පසු කළ යුත්තේ කුමක්ද කියා. මට ඊමේල් පණිවිඩයක් ලැබුණාද කියා ඔහු ඇහුව්වේ. ඒ පිළිබද ක්‍රිකට් දූෂණ මර්දන ඒකකයේ ඇලෙක්ස් මාෂල් මගෙන් විමසීමක් කළා. ඔහු පැවැසූවේ තහනමට ලක්ව සිටින නුවන් සොයිසා සමග කතා නොකරන ලෙසයි”

“දැන් ටෙස්ට් තරගාවලිය පැවැත්වෙනවා. නමුත් ක්‍රිකට් දූෂණ මර්දන සොයන්න නිලධාරියෙක් නෑ. මාගේ කාලයේ කිසිදු වංචාවකට හෝ දූෂණයකට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ අසුවී නෑ. මා දූෂණ පිළිබඳ හොඳ විමසිල්ලෙන් ඉන්නවා. ක්‍රිකට් ක්‍රීඩාංගණවල සිටින බුකිකරුවන් බවට සැක කළ කිහිප දෙනෙකුම ක්‍රීඩාංගණයෙන් ඉවත් කළේ මම. ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකයට විශ්වාසයක් නැහැ. දැන් චෝදනා එල්ලවී ඇති ක්‍රිකට් දූෂණ සම්බන්ධ සිද්ධි එකක්වත් මගේ කාලයේ වුණු දේවල් නෙමෙයි. ඒ සියල්ල 2016 සහ 2017 වසරවල වුණු දේවල්. මා වැඩ භාරගත්තේ 2018 වසරේ” අයේෂ් වීරක්කොඩි මහතා පැවැසීය.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සාධාරණ පරීක්ෂණයක් කරනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණ මර්දන ඒකක ප්‍රධානී අයේෂ් වීරක්කොඩි මහතාගේ බලාපොරොත්තුව වේ.

නව අදහස දක්වන්න