අගමැති මහින්දට අවශ්‍ය ශක්තිය ලබාදීමට මවුබිම ජනතා පක්ෂය ලෑස්තියි | දිනමිණ

අගමැති මහින්දට අවශ්‍ය ශක්තිය ලබාදීමට මවුබිම ජනතා පක්ෂය ලෑස්තියි

සන්ධ්‍යා කරුණාරත්න

නව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පත් කිරීමත් සමඟ ස්ථාපිත වත්මන් ආණ්ඩුවට අවශ්‍ය ශක්තිය මවුබිම ජනතා පක්ෂය මඟින් ලබා දෙන බව පක්ෂයේ නායක බස්නාහිර පළාතේ ආණ්ඩුකාර ආචාර්ය හේමකුමාර නානායක්කාර මහතා පවසයි.

තම පක්ෂය කුඩා පක්ෂයක් වුවත් රට පුරා ප්‍රදේශවල ජනතාවගෙන් පක්ෂය නියෝජනය වන බවත් ව්‍යවස්ථා විරෝධීව හෝ වෙනත් ආකාරයකින් රට තුළ වැරැද්දක් වන්නේ නම් එය පෙන්වාදීම තම පක්ෂය මඟින් සිදු කරන බවත් ඒ මහතා පැවැසුවේය.

මවුබිම ජනතා පක්ෂය - 2018 සමුළුව අමතමින් ශ්‍රී ලංකා පදනම් ආයතනයේදි ඒ මහතා මේ බව පෙරේදා (07) ප්‍රකාශ කළේය.

ඒ මහතා මෙසේද පැවැසුවේය.

රටට නව අගමැතිවරයකු පත් කිරීම ව්‍යවස්ථාවට අනුකූලවම කළ යුතු බවට ජාත්‍යන්තරයේ රටවල් කිහිපයක් ප්‍රකාශ කළත් වත්මන් ජනාධිපතිවරයා ව්‍යවස්ථාවට අනුවම නව අගමැතිවරයා පත් කර තිබෙනවා. අපේ රටේ ගැටලු අපටම විසඳා ගැනීමට විදේශීය රටවල් ඉඩ දිය යුතුයි. ජනාධිපතිවරයා කිසිදු ලෙසකින් ව්‍යවස්ථාව උල්ලංඝණය කර නැහැ. ව්‍යවස්ථාව උල්ලංඝණය වී තිබෙන්නේ නම් කුඩා පක්ෂයක් වුණත් අපි ඊට එරෙහිව නැඟී සිටිනවා. ඕනෑම රටක අභ්‍යන්තර සිදුවීම් සම්බන්ධයෙන් පියවර ගත යුත්තේ රටේම ජනතාව.

පසුගිය දශකයක කාලය තුළ මාලදිවයින පුරා විවිධ දේශපාලන ගැටලු ඇති වුණා. ලෝකයේ කිසිදු රටක් ඒ රටේ අභ්‍යන්තර දේශපාලන ගැටලුවලට අතපෙවීමක් කළේ නැහැ. ඒ රටටම ගැටලු විසඳා ගැනීමට අවස්ථාව ලබා දුන්නා. ඒ රටේ කොංග්‍රසය ගන්නා තීරණවලට විදෙස් රටවල් බාධා කළේ නැහැ. සවුදි අරාබියෙත් එහෙමයි.

. නමුත් ලෝකයේ කිසිදු රටක් ඒ ගැන කතා කළේ නැහැ. එංගලන්තයටම ඒ ගැටලු විසඳා ගැනීමට අවස්ථාව දුන්නා. නමුත් අපේ රටට විදේශ රටවල් මැදිහත් වීම් සිදු කරන්නේ කුමන හේතුවක් නිසාද? එය අප වෙනස් කළ යුතුයි. වත්මන් ජනාධිපතිවරයා අතින් වරදක් සිදු වී ඇත්නම් ඉදිරි මැතිවරණවලදී ජනතාට ඊට පිළිතුරු සපයයි. පසුගිය වසර තුනක කාලය තුළදී රටේ සිදු වූ අඩාල වීම දැන්වත් නිවැරදි කළ යුතුයි.

කුඩා පක්ෂයක් වුණත් අපි රටේ ජනතාවගේ සුබසිද්ධිය උදෙසා නව රජයට යෝජනා තුනක් ඉදිරිපත් කරනවා. මෙරට ගොවියන්ගේ කෘෂි නිෂ්පාදනවලට සහතික මිලක් ලබාදිය යුතු බවට අපි රජයට යෝජනා කරනවා. අපේ රටේ ගොවියන්ට වගා කරන්නට උගන්වන්න දෙයක් නැහැ. ඉතිහාසයේ සිට ඔවුන් වගා කරන ආකාරය දන්නවා. මුං ඇට, කව්පි, උදු, කුරහන් රටේ හොඳට වගා කරන්න පුළුවන්. ඒ වුණත් මේ නිෂ්පාදන පිටරටින් ගෙන්වීමට වාර්ෂිකව රුපියල් බිලියන 5 ක් පමණ විදයම් කරනවා. සහතික මිලකට කෘෂි නිෂ්පාදන මිලදී ගැනීමට රජය කටයුතු කරන්නේ නම් විදෙස් රටවලට ඇදී යන මේ රුපියල් බිලියන 5 අපටම ඉතිරි කර ගන්න පුළුවන්. 1971 වසරේදි රටේ සිංහලයන් තුළ ත්‍රස්තවාදී කැරැල්ලක් ඇති වුණා. ඒ කාලයේ එයට ඉඩ දුන්නා නම් රට අරාජික වෙනවා. සිරිමාවෝ මැතිණිය දරුවන් පුනරුත්ථාපනය කරනවා වගේ ඒ ත්‍රස්තවාදයට ඉදිරිපත් වූ අය පුනරුත්ථාපනය කළා. එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් ද පසුගිය කාලයේ පුනරුත්ථාපනය කළා. ඒවා රටට යහපත්. නීතිය ඉදිරියේ සියල්ලන් සමාන විය යුතුයි. වෙනස් කර සැලකීමක් නොකළ යුතුයි. සියල්ලන්ට සමාන වූ නීතියක් ක්‍රියාත්මක විය යුතු බවට අපේ පක්ෂය ප්‍රකාශ කරනවා.

උතුරේ ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා පසුගිය කාලයේ මධ්‍යම පළාත් සභාවට හෝ සබරගමුව පළාත් සභාවට මාරු කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළා. නමුත් උතුරේ ජනතාව ඒ සඳහා ඉඩ දුන්නේ නැහැ. ඒ තරමටට කුරේ මහතාට උතුරේ ජනතාව ආදරය කරනවා. ජාති භේදයක් නැහැ. ඒ ගැන අපි සතුටු විය යුතුයි. මම දකුණේ ආණ්ඩුකාරවරයා ලෙස සිටියදී බස්නාහිර පළාතේ ආණ්ඩුකාර යෝගේෂ්වරන් මහතා බස්නාහිර ආණ්ඩුකාර ධුරය සඳහා නිල නිවසක් හදන්නට සැලසුම් කළා. එය දැනටමත් ඉදි වෙමින් තිබෙනවා. දැන් මම බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස එම නිල නිවස ගොඩනඟමින් සිටිනවා. නමුත් ඇතැම් පුද්ගලයන් කට කතා යවනවා රජයේ මුදල් භාවිතා කරමින් මම මන්දිරයක් ගොඩනඟනවා කියලා. මම ගොඩනඟන්නේ ආණ්ඩුකාර ධුරය සඳහා තිබෙන නිල නිවස කියලා අවධාරණය කරනවා. එම නිල නිවස ගොඩනැඟීම කොමිස් ගැසීමකින් තොරව ඉතා විනිවිඳව සිදු කරනවා. කොමිස් මුදල් අහිමි පිරිස තමයි අපට මඩ ගසන්නේ.

උතුරු පළාතේ ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා

වර්තමානයේ රට තුළ පවතින තත්ත්වය ඉතා සුබවාදී විදියට අපි දැකිය යුතුයි. දැනට පවතින අවුල තුළින් සුබවාදී යමක් බිහි කර ගැනීමට රටේ දේශප්‍රේමී මානවප්‍රේමී පුද්ගලයන් පියවර ගත යුතුයි. එය එක්තරා අභියෝගයක්. රටට පැහැදිලි කැපී පෙනෙන දේශපාලන ප්‍රතිපත්තියක් අවශ්‍යයයි. මේ අර්බුදය තුළින් එය මතු කර ගන්න උත්සාහ කළ යුතුයි. රටට ජාතික පක්ෂයක් අවශ්‍යයයි. මුස්ලිම් කොංග්‍රසය, ද්‍රවිඩ කොංග්‍රසය වැනි පක්ෂ රට තුළ නොතිබිය යුතුයි. ශ්‍රීලනිපය, එජාපය, මවුබිම ජනතා පක්ෂය වැනි පක්ෂ රට තුළ බිහි විය යුතුයි. ඒ පක්ෂ තුළ ජාතිවාදයක් නැහැ. ගෝත්‍රික අදහස් නැති පක්ෂ රට තුළ තිබිය යුතුයි. කැපුවත් කොළ, කැපුවත් නිල් කියන මෝඩ මිනිසුන් රටේ නොසිටිය යුතුයි. පක්ෂය ආගම කර ගන්න නරකයි. අද රටේ දේශපාලන සංවාදයක් නැහැ. ඒ කාලයේ කොයි තරම් වාද විවාද සංවාද තිබුණාද? ඒ සංවාද තුළින් තමයි අලුත් දේවල් බිහි වන්නේ. මැදුම් පිළිවෙතක් අනුගමනය කරන පිරිසක් රට තුළ බිහි විය යුතුයි. එය රටේ අභිවෘද්ධියට බලපානවා.

නව අදහස දක්වන්න