කිරිඉබ්බන්වැව රෝහලේ වැඩ අවසන්: විවෘත කර නෑ | දිනමිණ

කිරිඉබ්බන්වැව රෝහලේ වැඩ අවසන්: විවෘත කර නෑ

වැලිඔය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කිරිඉබ්බන්වැව ගම්මානයේ හා අවට ගම්මානවල ජනතාවට ප්‍රතිකාර ලබාගැනීම සඳහා ඉදිකළ රෝහලේ වැඩ අවසන් කර වසර හතරක් ගතව තිබුණත් එය ජනතා අයිතියට පත් කිරීමට උතුරු පළාත් සභාව කටයුතුකර නැතැයි ජනතාව පවසති.

ජනකපුර, මොනරවැව, කිරිඉබ්බන්වැව ආදි ගම්මානවල රෝගීන්ට ප්‍රතිකාර ලබාගැනීම සඳහා මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපත්වරයා වශයෙන් සිටි කාලයේ උතුරු පළාතේ සිටි ආණ්ඩුකාර මේජර් ජනරාල් චන්ද්‍රසිරි මහතාගේ ඉල්ලීමකට අනුව මධ්‍යම රජය විසින් මේ රෝහල ඉදිකර තිබේ. මේ වනවිට මේ රෝහල තුළ නිල නිවාස, ජල පහසුකම් ඇතුළු අංග සම්පූර්ණ රෝහලක් ලෙස ඉදිකර තිබුණත් වෛද්‍යවරයෙක් හා කාර්ය මණ්ඩලයන් ලබාදීමට උතුරු පළාත් සභාව කටයුතුකර නොමැත.

කිරිඉබ්බන්වැව රෝහල සම්බනධයෙන් එස්. කිරිබංඩා මහතා මෙසේ කිවේය. කොටින්ගේ මෝටර් උණ්ඩ වැදිලා විනාශවුණු ගොඩනැඟිලි වෙනුවට අලුත් ගොඩනැඟිලි මධ්‍යම රජයේ ප්‍රතිපාදන වලින් ඉදිකරන්න කටයුතු කලේ හිටපු ආණ්ඩුකාරතුමයි. මේ සඳහා වෛද්‍යවරයෙක් හා කාර්ය මණ්ඩලයක් පවා ලබාදීමට කටයුතු කරලා තිබ්බේ. එහෙත් ආණ්ඩුකාරතුමාගේ සේවය අවසන්වීම නිසා එය කිරිමට නොහැකි වුණා. ගිලන් රථයක් පවා වෙන්කරලා තිබුණත් වෛද්‍යවරු නැති නිසා ඒවා එවන්නේ නැහැ. මේ රෝහලට ලබාදීමට තිබෙන උපකරණ සියල්ල මුලතිව් කාර්යාලයේ තියාගෙන ඉන්නවා රෝහලට ලබාදෙන්නේ නැහැ.

අයි. පී. තිලකරත්න මහතා - වැලිඔයේ ගම්මානවලට ප්‍රවාහන පහසුකම් ඉතාම අඩුයි. වෙලාවට බස් එක ගියාට පස්සේ පාරේ යන යතුරුපැදි විතරයි ගමන් කරන්නේ. ඉතාම දුෂ්කර ජීවිතයක් ගතකරන ගැබිනි අම්මලාටවත් හදිසියකට බෙහෙත් ටිකක් ගන්න විදියක් නැහැ. පුංචි දරුවකුට අසනීපයක් හැදුණොත් අපි කාටද කියන්නේ.

වැලිඔය රාජ්‍යසේවා විශ්‍රාමිකයන්ගේ සංගමයේ සභාපති එච්. ජයකොඩි මහතා - මුලතිව් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරිය හැමදාම එක එක දේවල් කියලා වැලිඔයට වෛද්‍යවරු පත්කරන දෙයින් මඟ හරිනවා. මේ නිසා දොළොස් දාහක් පමණ ඉන්න ජනතාවට බලවත් අසාධාරණයක් සිදුවෙනවා. සම්පත්නුවර රෝහලෙත් පහසුකම් නැහැ.මේ තත්ත්වය නිසා වැලිඔයේ ජනතාව ලොකු ගැටලුවකට මුහුණදෙන්න වෙලා. මේ යුද්ධයෙන් පීඩාවිඳි ජනතාවට සහනයක් සලසන්න ඔනේ නිසා තමයි කිරිඉබ්බන්වැවට අංග සම්පූර්ණ රෝහල් ඉදිකළේ. එහෙත් අද වෙලා තියනදේ හරිම කනගාටුදායකයි.

ශාන්ත කුමාර මහතා - අපි හරි සතුටු වුණා. නැවත අලුතෙන් ගොඩනැඟිලි හදලා රෝහල විවෘත කරනවා. කිවාම. ඒත් මහජන මුදල් නාස්ති කිරීමක් විතරයි කියලා දැන් තමයි තේරෙන්නේ. මේ වහලා දාලා තියෙන්නේ අංග සම්පූර්ණ රෝහලක්. වෛද්‍යවරයෙක් හා කාර්ය මණ්ඩලය ලබාදීම විතරයි කරන්න තියෙන්නේ. නිල නිවාස ජල පහසුකම් හැම දෙයක්ම මේ වනවිට තියනවා. වසර ගණනක් නඩත්තුවක් නැති නිසා මේ ගොඩනැඟිලි සියල්ල ජරාවාස වෙමින් තියෙන්නේ. දැනටමත් ගොඩනැඟිලි කැලෑවෙන් වැහිලා. වෛද්‍ය කාර්ය මණ්ඩලය වෙනුවට දැන් මෙහි පදිංචි වෙලා. ඉන්නේ වවුලෝ විතරයි. මෙහෙම ගියොත් අලුතෙන් හදපු ගොඩනැඟිලි ටිකත් විනාශ වෙලා යන එක විතරයි සිදුවෙන්නේ.

එච්. එම්. සෙනවිතරන මහතා- අපේ ගම්වල මිනිස්සු පුදුම දුකක් විඳින්නේ. අසනීපයකට බෙහෙත් ටිකක් ගන්න ගියහම. ගමේ රෝහල තියාගෙන සම්පත් නුවරට යන්න ඔනේ බෙහෙත් ටිකක් ගන්න.

උතුරුමැද පළාත් සමූහ
සමන් කුමාර

නව අදහස දක්වන්න