කතානායක ව්‍යවස්ථාවට පටහැනිව ලිපි ලේඛන සකසනවා | දිනමිණ

කතානායක ව්‍යවස්ථාවට පටහැනිව ලිපි ලේඛන සකසනවා

මානෙල් පුෂ්ප කුමාරි

මේ වනවිට අපකීර්තිමත් තත්ත්වයකට පත්ව ඇති කතානායකවරයා ව්‍යවස්ථාවට අනුකූල නොවන අයුරින් ලිපි ලේඛන සකසන බව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කෙළේ ය.

අැමැතිවරයා මේ බව ප්‍රකාශ කෙළේ ඊයේ (8) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ කොස් පැළ රෝපණය කිරීම සහ එහි නිලධාරීන්ට පැළ බෙදා දීමේ ජාතික වැඩසටහනට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කෘෂිකර්ම අැමැතිවරයා මෙසේද පැවසුවේය.

එතුමා මෙම ලිපි ලේඛන සියල්ල සකස් කරන්නේ සිරිකොත මූලස්ථානයේ සිටයි.පත පොත පරිශීලනය නොකරමින් කරන මේ තත්ත්වය දිගින් දිගටම සිදු වුවහොත් කතානායකවරයාට ඉදිරියේ දී සිරඳඬුවම් විදිය යුතු වරදක් බවට පත් වෙනවා.ආණ්ඩුව විසුරුවා හැරීම පිළිබඳ කිසිදු සාකච්ඡාවක් ජනාධිපතිවරායා සහ අගමැතිවරයා පවත්වා නැහැ.නමුත් නියත වශයෙන් ම රට ඉදිරියට ගෙන යෑමේ වැඩපිළිවෙළක් සකසනවා. මේ වන විටත් එක්සත් ජාතික පක්ෂයට වඩා වැඩි මන්ත්‍රීවරු සංඛ්‍යාවක් අප පක්ෂයට සිටිනවා. ඉදිරියේ දී මේ සංඛ්‍යව වැඩි වෙනවා.පළාත් සභා මැතිවරණය ඉදිරි මාස කීපය තුළ ඉතා කඩිනමින් පැවැත්වීමට කටයුතු කරනවා. මහජනතාවට හිතට එකඟව ඡන්දය ලබා දීමට සුදුසු වතාරණයක් අප රට තුළ සකසනවා.ඒ සකසන වැඩපිළිවෙළ බටහිරට අවශ්‍ය වන වැඩපිළිවෙළක් නොවේ. එය අප රටේ දේශීයත්වයට සුදුසු රටේ ජනතාවට අවශ්‍ය වැඩසටහක් වෙනවා. මේ නායකයෝ දෙන්නාගේ හාම්පුතාලා ඉන්නේ යුරෝපයේ නොවේ. මේ නායකයන් දෙදෙනා දේශීයත්වයට ලැදි නිරන්තරයෙන් ම පත්තර බලන මිනිසුන්.ජනතා ප්‍රශ්න දෙස බලන නායකයින් දෙදෙනෙක්.

ශ්‍රී ලංකාව ස්වයංපෝෂිත රාජ්‍යයක් කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය මඟින් මේ වන විට විශාල වගා ව්‍යාපෘති කර තිබෙනවා. කාලගුණ විපර්යාස,නියඟය වැනි පාරිසරික හේතූන් නිසා ලෝකය ඉදිරියේ දී ආහාර අර්බුදයක් ඇති වන බවට ඉඟි පළ කරනවා. ඒ ආහාර හිඟයට මුහුණ දීමට පිළියමක් ලෙස තමයි බත්වලට ආදේශකයක් ලෙස කොස් පැළ සිටුවීම ආරම්භ කෙළේ. අප රටේ කොස් ඇටයක් විසි කළත් අඹ ඇටයක් විසි කළත් කජු ඇටයක් විසි කළත් පැළ වෙනවා. නමුත් සෑම ආහාරයක් ම පිටරටින් ගෙන්වා ගැනීමට පුරුදු වී සිටිනවා. මේ හේතුවෙන් තමයි අපි කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ‍ෙ "අපි වවලයි- අපි කන්නේ" වැඩසටහන ක්‍රියාත්මක කෙළේ.

ජනමාධ්‍ය හා ඩිජිටල් යටිතල පහසුකම් රාජ්‍ය ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල මහතා සහ බස්නාහිර පළාතේ කෘෂිකර්ම ඇමැති ගාමිණී තිලකසිරි, ජනමාධ්‍ය හා ඩිජිටල් යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය චරිත හේරත්, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව මහත්වරු ඇතුළු නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

ඡායාරූපය - ශාන් රඹුක්වැල්ල

නව අදහස දක්වන්න