යූඑන්පී විරෝධී ජනමතය බටහිර මිතුරන්ගේ හඬින් යටපත් කරන්න හදනවා | දිනමිණ

යූඑන්පී විරෝධී ජනමතය බටහිර මිතුරන්ගේ හඬින් යටපත් කරන්න හදනවා

රනිල් ඇතුළු යූ. එන්. පී. නඩය උත්සාහ ගන්නේ පෙබරවාරි 10 ඡන්දයෙන් පිළිබිඹු වූ යූ.එන්. පී. විරෝධී ප්‍රබල ජනමතය ඔවුන්ගේ බටහිර ලෝකයේ මිතුරන්ගේ හඬින් යටපත් කර දැමීමට බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ පවසයි.

එහි ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතාගේ අත්සනින් නිවේදනයක් නිකුත්කරන එම පක්ෂය පෙන්වා දෙන්නේ අද වුව ද පාර්ලිමේන්තුවේ බහුතරය සත්‍ය වශයෙන්ම යූ. එන්.පිය අනුමත නොකරන බව පාර්ලිමේන්තුවේ පැවැත්වෙන ප්‍රථම ඡන්දයෙන්ම දැනගත හැකි වනු ඇත.

එහි මෙසේ ද දැක්වේ.

දිගින් දිගටම පළාත් පාලන ඡන්දය පමා කිරීමට එරෙහිව රටේ ඇති වූ ජනතා උද්ඝෝෂණය නිසා පෙබරවාරි 10 වැනි දින පැවැත්වූ ඡන්දයෙන් පළවූ ජනමතයේ ප්‍රබලත්වයෙන් ලංකාවේ දේශපාලන භූමිය සියුම් කම්පනයකට පත්විය. එතැන් සිට දේශපාලන භූමියේ විහිදී ගිය චලනය කරණකොටගෙන ඇති වූ දේශපාලන විපර්යාසයන් කෙළවර වූයේ ආණ්ඩු බලය පිපිරී මෙන්ය. එයින් ඉක්බිතිව ගනුලැබූ ජනාධිපති පියවර නිසා දේශපාලන ප්‍රතික්‍රියා දාමයක් දිග හැරුණේ ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයක් හෙළිවීමේ පසුබිම තුළය.

මේ සිද්ධිදාමයන් අවසන් වූයේ ජනාධිපතිවරයා විසින් අගමැතිවරයා ඇතුළු ආණ්ඩුව වෙනස් කිරීමෙනි. එතෙක් කාලයක් රනිල් වික්‍රමසිංහගේ රජයේ ජීවන බරින් පීඩිතව, රනිල්ගේ හිතුවක්කාර පාලනය ගැන, කෝපයෙන් සිටි බහුතරයක් ජනතාව රාජ්‍ය පෙරළිය ගැන ලැබුණු ප්‍රචාරයත් සමඟ රටපුරා සැණකෙළි පැවැත්වූහ. පළාත් පාලන ජයග්‍රහණයේ ජයපැන් බිවූහ. මහ සෙනඟ දහස් ගණනින් මහපාරට පැමිණ ප්‍රීති ඝෝෂා පැවැත්වූහ.

විවිධ සැක සංකාවන් නිසා බෙදී සිටි පක්ෂ එක්වූහ. යූ. එන්. පී. යේ බටහිර ජාත්‍යන්තර මිතුරන් කම්පාවට පත්වී රනිල් වික්‍රමසිංහගේ හඬම ප්‍රතිරාවය කළහ. පෙබරවාරියේ පළාත් පාලන ජයග්‍රහණයෙන් ආණ්ඩුව පෙරළන හැටි අපි අත්දැකීමෙන් උගත්තෙමු.

ජනාධිපති ගත් තීරණාත්මක පියවර එක් රැයක් පහන් වන විට සිදු වුවද, මේ අරමුණ උ‍ෙදසා ලක්ෂ සංඛ්‍යාත වශයෙන් ජන බලවේග ගොඩනැඟීමට කළ ජීවිත පූජාවන්, විපක්ෂයේ අප මෙහෙය වූ උද්ඝෝෂණ හා අරගලයන්ද, පළිගැනීම් නිසා අපගේ ජනයාට සිදු වූ රැකියා අහිමිවීම්ද ඇතුළු අනන්තවත් ජනතාවගේ කැප කිරීම් වලින් අප ආ මාවත අතුරා ඇත.

අපගේ නව රජයට එරෙහි වන්නා වූ අධිරාජ්‍යවාදී රටවල් කිහිපයක් රනිල් වික්‍රමසිංහ ඇතුළු මෙරට ඉහළ පංතිය සමඟ එකතු වී දෙමළ සන්ධානය හා ජනතා විමුක්ති පෙරමුණු සහයෙන් කථානායකවරයා කුළු ගන්වමින් සිටී.

අද පාර්ලි‍ෙම්න්තුව මෙරට ජනමතය නියෝජනය නොකරයි. එබැවින් මහ මැතිවරණයක් මඟින් ජනවරම විමසීම සඳහා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පිණිස 2/3ඡන්දයක් ලබාදීමට එක්සත් ජාතික පක්ෂය සූදානම් දැයි අපි විමසා සිටිමු.

එබැවින් මහා මැතිවරණය පවත්වා, සැබෑ ජනමතය ප්‍රකාශ වනතුරු, නීත්‍යානුකූල නව ආණ්ඩු බලය අපි කෙසේ නමුත් රැකගත යුතුය. ඒ සඳහා ජනමතය අවධියෙන් තබා ගනිමින් ආණ්ඩුව රැක ගැනීමේ ජනතා කොමිටි සෑම පළාත් පාලන කොට්ඨාසයක් තුළින් සෑම වැඩපළක් හා කාර්යාලයක් තුළම පිහිටුවාගත යුතුය.

යූ. එන්. පී.ආණ්ඩුව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයන් මගහරිමින් හා යටපත් කරමින් පළාත් සභා ඡන්ද කල් දැමීමට පාර්ලිමේන්තු ක්‍රියාදාමයන් අයථා ලෙස යොදා ගනිද්දි අධිකරණයේ ස්වාධීනත්වය හා නීතියේ ආධිපත්‍යය ගැන අපට දේශනා කරන අධිරාජ්‍යවාදීහු මේවා නොදුටුසේ සිටියහ. පාර්ලිමේන්තුවේ අප 54 දෙනෙකුගෙන් යුත් විපක්ෂයට පයින් ගසා දමා 16 දෙනකුගේ දෙමළ සන්ධානය සහ 06 දෙනකු සිටින ජනතා විමුක්ති පෙරමුණ, කථානායක විසින් විපක්ෂය ලෙස පිළිගෙන ඔවුන් අපට එරෙහිව රජයට පක්ෂපාත කරගනිද්දී ප්‍රජාතන්ත්‍රවාදය හා පාර්ලිමේන්තු සිද්ධාන්ත, බටහිර බලවතුන්ටත් ඔවුන්ගේ නියෝජිතයන්ටත් අමතක වී තිබී ඇත. කථානායකවරයාද සාපරාධී ලෙස මීට දායක විය.

2015 ජනාධිපතිවරණය අවසානයේ හිටපු අගමැති ඉවත් නොකරම පාර්ලිමේන්තුවේ 225ක් මන්ත්‍රීවරුන් අතරේ 46 දෙනෙකු නියෝජනය කළ නායකයා අගමැති ලෙස පත් කළ අවස්ථාවේ පොදු රාජ්‍ය මණ්ඩලයේ ලේකම්ලා පාර්ලිමේන්තු බහුතරය නීතිය පෙන්වාදීමට කටඅරියේ නැත. ඒ ගැන ඒකාබද්ධ විපක්ෂයේ අප විසින් කළ පැමිණිවලට ලැබුණේ උනන්දුවක් නැති ප්‍රතිචාරයකි.

නව අදහස දක්වන්න