විශ්වාසභංගයට විරුද්ධ වුණේ පක්ෂ නායකත්වයෙන් රනිල් ඉවත්වන බව පැවසූ නිසයි | දිනමිණ

විශ්වාසභංගයට විරුද්ධ වුණේ පක්ෂ නායකත්වයෙන් රනිල් ඉවත්වන බව පැවසූ නිසයි

විශ්වාසභංගය පැරදවීමට එක්සත් ජාතික පාක්ෂිකයන් ලෙස තමන් සියලු දෙනාම එක්වී එම සහාය ලබාදෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයෙන් ඉවත් වන බවට පොරොන්දු වුණ බවත් එතුමා ඊට එකඟ වූ නිසා විශ්වාසභංගය පැරදවුවත් ඉන් පසු එතුමා එම පොරොන්දුව ඉටු නොකළ නිසා ඔහු කවදාවත් කියන දේ නොකරන නායකත්වය අත් නොහරින අයකු බව වටහා ගත් නිසා රට අගාධයට ගෙන නොයන්න මහින්ද මහතා වෙත යාමට තීරණය, කළ බවත් මහනුවර දිස්ත්‍රික් එ.ජා.ප. මන්ත්‍රී නව රජයේ සංචාරක හා වනජීවී නියෝජ්‍ය අමාත්‍ය ආනන්ද අලුත්ගමගේ මහතා පවසයි.

තමන් නව රජයේ ඇමැතිකම ලබා ගැනීමට හේතු වූ ප්‍රධානම කරුණ පක්ෂය කොතරම් කඩා වැටුණත් රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයට ඇති ඇල්ම තවත් අනුමත කිරීමට තමන්ට නොහැකි නිසා බව අලුත්ගමගේ මහතා අවධාරණය කරයි.

සාමාන්‍ය ජනතාවගේ දුක හඳුනන්නේ නැති කාගෙන් හෝ සහාය ලබා ගැනීමෙන් පසු ඒ අය අමතක කරන එවැනි නායකයකුගෙන් ඵලක් නෑ. එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් අපේ ශ්‍රමය වැය කරලා පක්ෂය දිනෙව්වත් ඔහු සමඟ වැඩ කළත් ඉතාම ටික කලකින් එතුමා මිනිසුන් හඳුනන්නේ නැති බව තේරුම් ගියා.

එතුමාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙන එනකොට අපි ජනාධිපතිතුමාට යෝජනා කළා. එය දිනවලා රනිල් මහතා ගෙදර යවමු කියලා. පක්ෂයේ විසි එකක් ඒ මතයේ හිටියා. නමුත් ජනාධිපතිතුමා කිව්වේ මේ වෙලාවේ එහෙම කරන්න හොඳ නෑ. තව අවස්ථාවක් දීලා වැරැදි හදාගෙන වැඩ කරාවිද කියා බලමු කියලයි.

ඒ සාකච්ඡාවෙන් පසුව අපි රනිල් වික්‍රමසිංහ මහතා හමුවෙලා කිව්වා අපි ජනාධිපතිතුමාගේ ඉල්ලීමට ඔබතුමාට පක්ෂව ඡන්දය දෙනවා. ඒත් පක්ෂ නායකත්වයෙන් ඉවත් වෙනවා කියලා පොරොන්දුවක් අවශ්‍ය බව. එතුමාගේ පිළිතුර වුණේ විශ්වාසභංගයෙන් තමන්ට ජය ලබා දෙන්න නායකකමෙන් ඉවත් වෙනවා කියලයි. ඒත් එය දිනූ පසු කිව්වේ 2025 දී තමයි නායකකමින් ඉවත් වෙන්නේ කියලයි. මින් අපිට වැටහුණා එතුමා තවදුරටත් කියන දේ නොකරන නායකකම අතහරින්න කැමැති අයෙක් නොවන බව.

රනිල් මහත්තයා දවසින් දවසම මේ රට පහළට ගෙන යන බව තේරුම් ගිය විට අපි මහින්ද රාජපක්ෂ මහත්තයාට කිව්වා රට බාර අරගෙන හරි පාරේ යන්න කියලා. මේ තැනට අපි තල්ලු වුණේ රනිල් මහත්තයා එක් කණ්ඩායමක් තියාගෙන අනෙක් අය නොසලකා හැරීමයි.

බැඳුම්කර වංචාව නිසා අපිට පළාත්පාලන ඡන්දය ජය ගන්න බැරි වුණා. ඉන් පස්සේ සමුපකාර ඡන්දයක්වත් අපි දිනුවේ නෑ. අපි මේ ගැන සාකච්ඡා කළත් එතුමා කළේ හොරු ටික ආරක්ෂා කරගන්න පිළියම් යොදපු එකයි.

මහජන නියෝජිතයන් ජනතාව සමඟ සිටිය යුතුය යන්න තමන් තීරණය කළ නිසා මෙම තීන්දුව ගත් බව නියෝජ්‍ය අමාත්‍ය ආනන්ද අලුත්ගමගේ මහතා වැඩිදුරටත් කියා සිටී.

තමන් ආසනය ජයග්‍රහණය කර රනිල් වික්‍රමසිංහ මහතාට භාර දුන්නද සිය ආසනවල කිසිවකුට රැකියා හෝ ඉඩම් හෝ වන්දි හෝ ලබා නොදුන් බවත් මේ හේතු නිසා බුලත්කොළේ පොහොට්ටුව සමග එක්ව ජාති, ආගම් භේදයෙන් තොරව වැඩ කිරීමට සියලු දෙනා සූදානම්ව සිටින බවද අලුත්ගමගේ මහතා පෙන්වා දුන්නේය.

නව අදහස දක්වන්න