අතිබහුතරය මෛත්‍රී-මහින්දට බව ජන ගඟ ඔප්පු කළා | දිනමිණ

අතිබහුතරය මෛත්‍රී-මහින්දට බව ජන ගඟ ඔප්පු කළා

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් රටේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත්කිරීම, මේරටේ අති බහුතර ජනතාවගේ ප්‍රමෝදයට හා උද්දාමයට හේතුවු බවත් එම අභීත තීරණය සමඟ මේ රටේ බහුතරය එකාවන්ව නැගී සිටින බව පසුගිය 5වැනිදා කොළඹ පාර්ලිමේන්තු වටරවුමට ගලා ආ දැවැන්ත ජන ගංඟාව තුළින් මනාව සනාථවන බවත් එය පාර්ලිමේන්තුවේ 113ක බලය පෙන්වන්න කියන විපක්ෂයට කදිම පිළිතුරක් බවත් දකුණු පළාත් ප්‍රධාන ඇමැති ෂාන් විජයලාල් ද සිල්වා මහතා පැවසීය.

ඒ මහතා එම අදහස් පැවසුවේ අම්බලන්ගොඩ පොල්වත්ත ඇමැති නිවහනේ පැවැති පක්ෂ ක්‍රියාකාරීන්ගේ හමුවක් අමතමිණි.

මෛත්‍රී - මහින්ද එකමුතුව මෙරටේ සියලුම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් ඇතුළු සමස්ත ප්‍රගතිශීලි ජනතාවම මහත් උනන්දුවෙන් අපේක්ෂා කළ දෙයක්. ඉකුත් ඔක්තෝබර් 26 වැනිදා හිටපු අග්‍රාමාත්‍ය වරයා ව්‍යවස්ථානුකුලව තනතුරින් පහකොට එම තනතුරට මහින්ද රාජපක්ෂ මහතා පත්කිරීම මේ රටට ආදරයකරන හැම කනෙක්ම හැම ජනකොටසක්ම අනුමතකරනවා. මහින්ද මැතිතුමාගේ පත්වීම අභියෝගයට ලක්කරන්නේ විදේශ බලවේගයන්ගේ අතකොලු බවට පත් සීමිත පිරිසක් බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

වැඩිදුරටත් කතාකළ ප්‍රධාන ඇමැතිවරයා, පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්නන්න කියන පිරිසට රටේ අතිමහත් බහුතරය මහින්ද රාජපක්ෂ මහතා සමඟ සිටින බව අවබෝධවිය යුතුයි. මහින්ද මහතාට පාර්ලිමේන්තුව තුළ 113 ට එහා ගිය බහුතර මන්ත්‍රී සහයෝගයක් තියෙනවා. ඒ බව හොදින්ම දන්නා එම පිරිස දැන් අළුත් තර්කයක් ඉදිරිපත්කරනවා මහින්ද මහත්තය අගමැති තනතුරට පත්කිරීම ව්‍යවස්ථා විරෝධි බවට. එහි කිසිදු හරවත් බවක් නෑ. එය ව්‍යවස්ථා විරෝධි නම් ඒ අයට ගතහැකි නීතිමය ප්‍රතිපාදන තිබෙනවා. ඒවා නොගෙන බොරු තර්ක ගොඩනැඟීම අර්ථ ශූණ්‍ය කටයුත්තක්. තර්කය නිර්මල භාවිතයක් නොවෙයි යනුවෙන්ද ඔහු සඳහන් කළේය.

1978 දී ජේ.ආර් ජයවර්ධන මහතා විසින් හදුන්වා දුන් ව්‍යවස්ථාවෙන් පසු මේ රටේ පවතින්නේ විධායක ජනාධිපති පාලන ක්‍රමයක්. රටේ මෙන්ම පාර්ලිමේන්තුවේ ප්‍රධානියා වන්නේ ජනාධිපතිවරයා යි. 1978 ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයා වෙත පැවරූ එම බලතලවල කිසිදු කප්පාදුවක් 19වැනි ව්‍යාවස්ථා ශංසෝධනයෙන් සිදුවුනේ නෑ. ජේ.ආර්.ගේ පටන් පැවති හැම රජයක් හැදින්වූයේ ජනාධිපතිවරයා ගේ නමින්. ඒ අනුව එම ආණ්ඩු හැදින්වූයේ ජේ.ආර් ගේ ආණ්ඩුව, ප්‍රේමදාස ආණ්ඩුව, විජේතුංග ආණ්ඩුව හා මහින්ද රාජපක්ෂ ආණ්ඩුව වශයෙන්. එනිසා අගමැති ඇතුළු ආමාත්‍යවරුන් මෙන්ම අමාත්‍යාංශ ලේකම් වරුන් පත්කිරීමේ බලය ඇත්තේත් ජනාධිපති තුමාටයි යනුවෙන්ද අවධාරණය කර සිටියේය.

අම්බලන්ගොඩ නාගරික මන්ත්‍රීවරුන් වන රාහුල ලලිතවික්‍රම, ධනසේන මාදුවගේ ඩබ්.එම් නිලානි හා අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්වන සරත් ලියනාරච්චී, එච්.එල්. ක්‍රිෂාන්ත හා මානෙල් වීරසිංහ යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගී වූහ.

මහින්ද පී ලියනගේ (ගාල්ල මධ්‍යම විශේෂ)

නව අදහස දක්වන්න