මහ බැංකු ප්‍රහාරයේ කොටි තිදෙනාගේ වසර 200 හිර දඬුවම තහවුරුයි | දිනමිණ

මහ බැංකු ප්‍රහාරයේ කොටි තිදෙනාගේ වසර 200 හිර දඬුවම තහවුරුයි

නෙල්කා මැදගෙදර

මහබැංකු ගොඩනැගිල්ලට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කර මරණ 70ක් සිදු කිරීම සහ රුපියල් බිලියන 550කට අධික දේපළ හානි කිරීම සම්බන්ධයෙන් වරදකරුවන් වූ එල්.ටී.ටී.ඊ සාමාජිකයන් තිදෙනකුට මහාධිකරණයෙන් නියම කළ වසර 200ක සිර දඬුවම තහවුරු කළ අභියාචනාධිකරණය එම දඬුවමට එරෙහිව ගොනු කළ අභියාචනා පෙත්සම නිෂ්ප්‍රභ කළේය.

මෙරට ප්‍රධානතම ආර්ථික මර්මස්ථානය වූ මහ බැංකුවට බෝමබ ප්‍රහාරයක් එල්ල කර විශාල ජීවිත දේපළ හානියක් සිදුකරමින් කළ වරදේ බරපතළ කමට සරිලන පරිදි මෙම විත්තිකරුවන්ට මහාධිකරණය විසින් වසර 200ක සිර දඬුවමක් නියම කිරීම සාධාරණ හා නීත්‍යානුකූල බවට තීරණය කරමින් මෙම අභියාචනා පෙත්සම ඉවත දමා තිබේ.

විත්තිකරුවන්ට එරෙහි චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පුකර ඇතැයිද අභියාචනාධිකරණය විසින් තීන්දු කර තිබේ.

දීපාලි විජේසුන්දර සහ අචල වෙංගප්පුලි යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත්කර ඇත.

විග්නේෂ්වරනාදන් පර්තිපත්, කේ. සිවකුමාර්, සෙල්ලයියා නවරත්නම් යන අය විසින් මෙම අභියාචන පෙත්සම ගොනුකර තිබුණි.

මහ බැංකුවට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් එල්.ටී.ටී. ඊ සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්, පොට්ටු අම්මාන් ඇතුළු විත්තිකරුවන් හත් දෙනකුට එරෙහිව අධිචෝදනා 712ක් යටතේ නීතිපතිවරයා විසින් නඩු පවරා තිබිණි.

සෙසු විත්තිකරුවන් අධිකරණය මඟහැර සිටි අතර ඔවුන් නොමැතිව මෙම අභියාචන විත්තිකරුවන් තිදෙනා පමණක් සිටියදී මෙම නඩුව විභාග කෙරිණි.

එහි තීන්දුව 2010 ජනවාරි මස 18 දින ප්‍රකාශ කළ මහාධිකරණය එම විත්තිතරුවන් සියලු දෙනා චෝදනාවලට වරදකරුවන් බවට තීරණය කරමින් වසර 200ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම කරන ලදී.

එම මහාධිකරණ තීන්දුවට එරෙහිව මෙම අභියාචන පෙත්සම ගොනු කරමින් විත්තිකරුවන් ඉල්ලා සිටියේ තමන්ට නියම වූ වසර 200ක සිර දඬුවම අඩු කරන ලෙසය. ජීවිත කාලය තුළ ගෙවා දැමිය නොහැකි සිර දඬුවමක් නියම කිරීම දෝෂ සහගත බවට පෙත්සම මගින් පෙන්වා දී තිබිණි.

නීතිඥ ආචාර්ය රංජිත් ප්‍රනාන්දු මහතා විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටියේය.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අයේෂා ජිනසේන සහ රජයේ නීතිඥ ජයලක්ෂි සිල්වා නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියහ.


නව අදහස දක්වන්න