දූෂණය අවම කර ප්‍රතිලාභ ජනතාවට ලබා දීමට පියවර ගන්නවා | දිනමිණ

දූෂණය අවම කර ප්‍රතිලාභ ජනතාවට ලබා දීමට පියවර ගන්නවා

නුවන් කොඩිකාර

ඛනිජ තෙල් ක්ෂේත්‍රයේ පවතින නාස්තිය හා දූෂණය අවම කර එහි වාසිය ඉදිරියේදී ජනතාවට ලබාදීමට පියවර ගන්නා බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන රාජ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවැසුවාය.

මින් ඉදිරියට මිල සූත්‍රයක් ක්‍රියාත්මක නොවන බවත් ඊට බලපා ඇති සාධක කළමනාකරණය කිරීමට පියවර ගන්නා බවත් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන රාජ්‍ය ඇමැතිවරිය ලෙස සිය අමාත්‍යංශයේදී ඊයේ (08) වැඩ බාරගැනීමෙන් අනතුරුව මාධ්‍ය අමතමින් එසේ ප්‍රකාශ කෙළේය.

වසර විසි පහක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් ලෙසත්, වසර 13ක් කැබිනට් ඇමැතිවරියක් ලෙසත් පිරිසිදු දේශපාලනයක නිරතව සිටී බව පැවැසු එම මහත්මිය එහි ප්‍රතිඵලයක් ලෙස ඛනිජ තෙල් වැනි ප්‍රබල අමාත්‍යාංශයක රාජ්‍ය ඇමැතිවරිය වීමට අවස්ථාව හිමි වුණ බව කීවාය.

සිය දේශපාලන ජීවිතයේ ලැබූ අත්දැකීම් හා පළපුරුද්ද උපයෝගී කරගෙන ජනතාවට තව තවත් වාසි ලබා දීමට හැකිවනු බවත් එහි පියවරක් ලෙස ඉදිරියේදී තව තවත් තෙල් මිල පහළ දැමීමට හැකිවනු ඇති බවත් පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවැසුවාය.

ඇමැතිවරිය මෙසේද ප්‍රකාශ කළාය.

අපේ රටට ගෙන එන බොර තෙල් සියයට සියයක් බොර තෙල් විදියට ගෙනත් පිරිපහදු කර එහි වාසිය ජනතාවට ලබාදෙන්න පියවර ගන්නවා. ඒ සඳහා සපුගස්කන්ද පිරිපහදුව නවීකරණය කරන්නත් පියවර ගන්නවා. ඒ විතරක් නෙවෙයි මෙම ක්ෂේත්‍රයේ පවතින ඇතැම් අංශ ගැනත් සොයා බලා එයද වර්තමානයට ගැලපෙන ලෙස නවීකරණය කිරීමට සැළසුම් සකස් කරනවා.

මේ අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ, හිටපු පළාත් සභා මන්ත්‍රී කාංචන ජයරත්න මහත්වරු සහභාගි වී සිටියහ.

අදහස් 1ක් ඇත

දූසනය අවම කරන්ඩ ඔනී නම් වීරවංසට ඇමති කමක් දෙන්ඩ ඕනේ

නව අදහස දක්වන්න