ජනපති පත්කළ අගමැති නොපිළිගන්න කථානායකට බැහැ | දිනමිණ

ජනපති පත්කළ අගමැති නොපිළිගන්න කථානායකට බැහැ

දුමින්ද සම්පත්
ජාතික ඒකාබද්ධතා, ජාතික සංහිඳියා සහ රාජ්‍ය භාෂා අමාත්‍ය වාසුදේව නානායක්කාර

නව අගමැති පත්කිරීම, බහුතරය පිළිබඳ ප්‍රශ්නය, ව්‍යවස්ථාවේ ගැටලුව, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 116කගේ අත්සන් සහිතව කථානායකට ලිපියක් භාරදීම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පැතිමාරුව සහ ජාතික සමගිය ඇතිකිරීම පිළිබඳව අදහස් දක්වමින් ජාතික ඒකාබද්ධතා, ජාතික සංහිඳියා සහ රාජ්‍ය භාෂා අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා අද මැති හමුවට එක්වේ.

* තනාපතිවරුන්ගේ පස්සෙන් දුවන්නේ මහින්ද පරද්දන්න ශක්තිය නැති නිසා
* පැත්ත මාරුකරන්න අල්ලස් ගත්තනම් කොමිසමට කියන්න
* කරු වැඩකරන්නේ එජාප හිතවාදීව
* මහින්ද පාර්ශ්වයෙ බෙදීමක් නැහැ

• ජනාධිපතිවරයා නව අගමැතිවරයකු පත්කිරීම රටේ ප්‍රජාතන්ත්‍රවාදයට එල්ලකළ බරපතළ පහරක් බවයි කියන්නේ?

ඔය ප්‍රකාශය විහිළුවට කාරණයක්. පසුගිය අගමැතිවරු සියලුදෙනාම පත්කර තිබෙන්නෙ ජනාධිපතිවරු විසින්.

• මේ පත්කිරීම ව්‍යවස්ථා විරෝධී බවයි කියන්නෙ?

එහෙමනම් කොහොමද පහුගිය කාලෙ අගමැතිවරු පත්කළේ. රනිල්ව පත්කළෙත් මේ ජනාධිපතිමයි.

• 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව අගමැතිවරයකු පත්කළ හැක්කේ බලයේ සිටින අගමැති ඉල්ලා අස්වීම, මන්ත්‍රීධූරය අහෝසිවීම වැනි සාධක මත පමණයි නේද?

කැබිනට් මණ්ඩලය විසිරීගිය පසු අගමැතිධුරය අහෝසිවෙනවා. අගමැති කෙනෙක් ඉන්නෙ කැබිනට් මණ්ඩලයක් තියෙනකන් විතරයි. කැබිනට් මණ්ඩලය පවතින්නේ පක්ෂ දෙක අතර ගිවිසුම පවතිනතාක් කල්පමණයි. එක්සත් ජාතික පක්ෂයයි එක්සත් ජනතා නිදහස් සන්ධානයයි අතර තිබ්බ ගිවිසුමඋඩනෙ ආණ්ඩුව තිබුණෙ. මහින්ද අමරවීර මහතා ලිපිය යවපු ගමන් ගිවිසුම අහෝසිවෙනවා. ඒ අනුව කැබිනට් මණ්ඩලය විසිරී යනවා. ඊට පස්සෙ කැබිනට් මණ්ඩලය 30ක් වෙනවා. ඒ සඳහා තමයි ජනාධිපතිවරයා කටයුතු කළේ. 19 වැනි සංශෝධනයෙන් අගමැති පත්කිරීම වෙන කෙනෙකුට පවරල නැහැ.

• අමාත්‍ය මණ්ඩලය විසිරීයාම ගැන ඔබ කිව්වා. 48/2 හි සඳහන් වෙන්නෙ, ආණ්ඩුවෙ ප්‍රතිපත්ති ප්‍රකාශනයක් හෝ විසර්ජන කෙටුම්පතක් පරාජය වීම, විශ්වාසභංගයකින් ආණ්ඩුව පරාජය වීම පමණයි එවැනි කාරණාවකට පාදක වෙන්නෙ කියලයි. මේ අවස්ථාවේ එවැනි තත්ත්වයක් නැහැ නේද?

පක්ෂ දෙකේ ගිවිසුම අවලංගුවීමෙනුත් පාර්ලිමේන්තුව විසිරී යන්න පුළුවන්.

• ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ එවැන්නක් සඳහන් වෙන්නෙ නැහැ නේද?

කැබිනට් මණ්ඩලයක් 70කින් පත්කරන්න පුළුවන් පක්ෂ දෙකක ගිවිසුමක් මත කියල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ තියෙනවා. ගිවිසුම අහෝසි වුණාම ඉ‍බේම කැබිනට් මණ්ඩලය අහෝසි වී යනවා. මේවා අර්ථකථන. ව්‍යවස්ථාවේ හැමදේම කියල නැහැ. උදාහරණයකට ගත්තොත් අගවිනිසුරුවරයා ඇතුළු තවත් ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන් දෙන්නෙක් අධිකරණ සේවා කොමිෂමේ සාමාජිකයන්වේ කියල තියෙනවා. තවත් ජ්‍යෙෂ්ඨ විනිසුරුවන් දෙදෙනෙක් තේරීම කරන්න වෙන්නෙ අර්ථකථනයකට අනුව. ව්‍යවස්ථා මණ්ඩලය පවත්වාගෙන යාම කොහොමද කරන්නෙ. මොන නීතිමාලාවක් අනුවද? ව්‍යවස්ථා මණ්ඩලයට නීතිමාලාව හදාගන්න පුළුවන්ද මේවා අර්ථකථන මතයි තියෙන්නෙ. ඕන දෙයක් අර්ථකථනය කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයට බලය දීල තියෙනවා.

• මෙහෙම බැලුවම මේ ව්‍යවස්ථාවෙ යම් අර්බුදයක් තියෙනව නේද?

නැහැ. මම එහෙම හිතන්නෙ නැහැ.

• මේ අර්ථකථනයි සිදුවෙමින් තිබෙන දේවලුයි දිහා බැලුවම කෙනෙකුට එහෙම හිතන්න පුළුවන්...

මේ පත්කිරීම රාජ්‍ය යාන්ත්‍රණය පිළිගෙන තිබෙනවා. හමුදාව, පොලීසිය, අධිකරණය පිළිගෙන තිබෙනවා. මේ පිළිගැනීම අනුව අගමැති තුමාටයි ආණ්ඩු පක්ෂයටයි පාර්ලිමේන්තුවෙ අසුන් පනවල ව්‍යවස්ථාදායකයෙ කටයුතු කරන්න යෙදුනනම් මේ අර්බුදය නැහැ. මේ අර්බුදය හදල තියෙන්නෙ කථානායක තුමා.

• නව පාර්ශ්වයට හිමි බහුතරය පෙන්වන තෙක් පෙර පැවති තත්ත්වය පිළිගන්නා බවයි කථානායකවරයා පවසන්නෙ?

කථානායක තුමා එහෙම කියන්නෙ කොහොමද? ව්‍යවස්ථාවෙ මොන වගන්තියෙද එහෙම තියෙන්නේ. එහෙම වගන්තියක් නැහැ. ව්‍යවස්ථාවට පටහැනිවයි එතුමා එහෙම කියල තියෙන්නේ.

• පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 116කගෙ අත්සනින් කථානායකවරයාට ලිපියක් භාරදීල තියෙනවා. ඒ අනුවයි කථානායකවරයා එවැනි තීරණයකට ඇවිත් තියෙන්නෙ?

කථානායක තුමාගෙ තියෙන දැඩිමතධාරී, පක්ෂග්‍රාහී බව හින්ද එතුමා කියන දේවල් පිළිගන්න බැරි තැනකට අපි ඇවිත් තියෙනවා. ජනාධිපතිවරයා පත්කළ අගමැතිවරයා පිළිගන්නෙ නැහැ කියල ඔහුට කියන්න බලයක් ව්‍යවස්ථාවෙ නැහැ. එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයෙක් හැටියට, හිත් අමාරුවෙන් ඉන්න එක්සත් ජාතික පක්ෂයේ අනෙක් අය සමඟ එකතුවෙලා එතුමගෙ කෝපය ප්‍රකාශ කිරීමක් තමයි ඔය කරන්නේ. අපි කථානායක තුමා මුණ ගැහුණා. පාර්ලිමේන්තුවෙ කටයුතුවලට සහාය ඉල්ලුවා. එතුමා අවශ්‍ය සහාය දෙන්නම් කිව්වා. එහෙම කිව්ව කථානායක තුමා සතියක් යනකොට ඔහොම කතාවක් කියනවා.

• තවමත් බහුතර බලයක් හදා ගන්න බැරි පරිසරයක ඔබ ......

අපි තාම කවුරුවත් ඒක දන්නෙ නැහැ. ඒකනෙ ප්‍රධාන ප්‍රශ්නෙ. බලයක් තිබේද? ... නැද්ද? ... මේ අවිනිශ්චිත භාවය තුළ පාර්ලිමේන්තුව රැස්වෙලා අපි බලන්න ඕන. ආණ්ඩුවක් ගෙනයන්න පුළුවන් බහුතරයක් තියෙනව නම් විතරයි. බහුතරයක් නැත්නම් ආණ්ඩුවක් ගෙන යන්නෙ කොහොමද? පනතක් ගේන්න බැහැනෙ. අපි මුලින්ම පනතක් ගේන්න ඕන, පළාත් සභා ඡන්දය පවත්වන්න. ඒකට පැරණි ක්‍රමය වලංගු කරන්න සංශෝධිත පනත් කෙටුම් පතක් අවශ්‍යයි. ඒක සම්මත කරගන්න බහුතරයක් නැත්නම් බැහැ.

• මෙහෙම පරිසරයක ඒකාබද්ධය ආණ්ඩුව භාර ගත්තේ ඇයි?

බහුතරය අපිට තියෙනවා කියන තේරුම ඇතිවයි අපි ආණ්ඩුව භාර ගත්තෙ. ඒ අනුව අපි පාර්ලිමේන්තුවට ගිහින් අණපනත් ගේනවා. විපක්ෂයට පුළුවන් ඒ අයට බහුතරය තියෙනවනම් ඒවා පරාජයට පත්කරන්න. ඒ අයට බහුතරය තියෙනවනම් විශ්වාසභංගයක් ගෙනැල්ල ආණ්ඩුව පරාජය කරන්න පුළුවන්. කාරක සභා පත් කිරීමේදීත් ඒ අයට වැඩිබලයක් ගන්න පුළුවන්. එහෙම වුනොත් අපිට ආණ්ඩුවක් ගෙනියන්න බැහැ. එතකොට අපි ඉල්ලා අස්වෙන්න ඕන.

• පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මුදල්වලට බිලිබා ගැනීමක් ගැනත් කතාවෙනවා. ඒ පිළිබඳ හඬපටත් මාධ්‍ය තුළ විකාශනය වෙනවා. මේ ගැන මොකද කියන්නෙ.

මේක තීරණාත්මක අවස්ථාවක්. ඕන කෙනකුට තමන් කැමැති පැත්ත තෝරගන්න අයිතියක් තියෙනවා. මේ තෝරා ගැනීමට මන්ත්‍රීවරු ඒ පැත්තට මේ පැත්තට යනවා. තනතුරක් නිසා හෝ අල්ලසක් නිසා එහෙම වෙන බව අර්ථකථන දීම නොකළයුතුයි. සමහරු තනතුරු ලබා ගැනීම වෙනුවෙන්ම පැතිමාරුකරන්නත් පුළුවන්. මම මේ අවංකව කියන්නෙ. ඒක අපිට දැනගන්න පුළුවන් ඒ අයගෙ හිත ඇතුළ බලල විතරයි අල්ලසක් දී තිබෙනවාද? දෙන්න කතාකර තිබෙනවාද? කියල තොරතුරු තිබෙනවා නම්, අල්ලස් කොමිසමෙන් විමර්ශන කරන්න පුළුවන්.

• මෙවැනි තත්ත්ව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙ ගෞරවයට මහත් කැළලක් බවයි ජනතාව කියන්නෙ?

ඉන්දියාවෙ තියෙන්නෙ හතර දෙනෙක්, පස්දෙනෙක් එකතු වුණාම පැති මාරු කරන්න පුළුවන් වාතාවරණයක්. ඒක නීත්‍යානුකූලයි. තනි තනිව පැතිමාරු කරන්න බැහැ. ඒක අල්ලස් ගැනීම ගැන සැකය දුරුකරගන්න ගත්තු තීරණයක් කියලයි මම හිතන්නෙ.

• මේ බල පෙරළියත් එක්ක, මහින්ද රාජපක්ෂ පාර්ශ්වයෙ අභ්‍යන්තර දෙදරීමක් ඇතිවෙලා කියලත් මාධ්‍ය වාර්තාකරනවා?

අපි පාර්ලිමේන්තු වට රවුමෙ තියපු රැස්වීමෙදි ඒක දැක්කෙ නැහැ නේද? ඒකරාශී වූ මහා ජනබලයයි වේදිකාවේ හිටපු සියලුදෙනයි ඒකට සාක්ෂි. එතන අඩුපාඩුවක් තිබුණෙ නැහැ නේද?

• මේ අතරමැදදි ආණ්ඩුව බාර ගැනීම ඒකාබද්ධයට දේශපාලනික අවදානමක් නෙවෙයිද?

මේක අපේ ජය පරාජය ගැන ප්‍රශ්නයක් නෙමෙයි. රට හා ජනතාව පිළිබඳ ප්‍රශ්නයක්. මේ රටේ ජාතික සම්පත, නිදහස ස්වෛරීභාවය, ප්‍රජාතන්ත්‍රවාදයත්, අනාගතයත් විශාල තර්ජනයකට ලක්වෙලා තිබුණෙ. පළාත් සභා පළාත් පාලන ඡන්ද කල් දැම්මා. පළාත් සභා ඡන්දය කල් දැමීම වළක්වන්න නීතියක් උසාවිය දැම්ම. ඒ නීතිය අස්සෙන් රිංගල පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඒකෙන් ජනතා පරමාධිපත්‍යයත්,අධිකරණයේ බලයත් යටත්කළා. විවිධ රටවල්වල සංවිධානවලට අපේ රටේ ප්‍රශ්නවලට ඇඟිලි ගහන්න බලය දෙන ගිවිසුමකට ජිනීවාවලදී අත්සන් කළා. දරන්න බැරි බදුබරක් ජනතාව මත පැටෙව්වා. ජාතික සංහිඳියාව නමින් කරගෙන ගිය ව්‍යවස්ථා කෙටුම්පත මේ රටේ විශාල ජනවාර්ගික ආරවුලකට හේතුවක්. මේ කියන කාරණාවලින් රටත් ජනතාවත් බේරගන්න ඒ ආණ්ඩුවත් අගමැතිත් පහකළ යුතුයි. ඒ බලය තියෙන්නෙ ජනාධිපතිතුමාට ජනාධිපති තුමා ඒකට එකඟ වුණ නිසා අපිත් එකඟවුණා.

• රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ රට භාර ගැනීම අවදානම් සහිතයි නේද?

අපහසුවක්, අසීරු තත්ත්වයක්. එහෙම වුණත් මේක නොකර බැහැ. රටට වෙන විපත නවත්වන්න ඕන.

• හමුදාවලවා කානු කපන්න කියූ, සිවාජිලිංගම්ගෙ විරුසමරුවට ගිය දෙමළ ජාතික සන්ධාන‍ෙය එකම මන්ත්‍රීවරය වියාලේන්ද්‍රන්. එවැනි කෙනෙක්ව ආණ්ඩුවට එකතුකරගැනීම ගැන මොකද කියන්නෙ?

එතුමට ඕන මතයක් දරන්න පුළුවන්. එතුමගෙ අදහස් වෙනස්කර ගන්නත් පුළුවන්. එතුමා තනතුරක ආසාවකින් ඉන්නත් පුළුවන්. දෙමළ සන්ධානයත් එක්ක ආරවුල් තියෙනවා. ඒ හින්දා වෙන්නත් පුළුවන්.

• ජාතික ඒකාබද්ධතා, ජාතික සංහිඳියා රාජ්‍ය භාෂා අමාත්‍යාංශය ඔබට ලැබුණා. ඔබ මීට පෙරත් මේ අමාත්‍යාංශයෙම ඇමතිවරයා හැටියට හිටියා. රටේ ජාතීන් අතර අසමගියක් තිබෙන බවට කෙරෙන කථාබහ ගැන ඔබ මොකද කියන්නෙ?

ජාතීන් අතර අසමගියක් නැහැ. දෙමළ ජාතික සන්ධානය හදන්නෙ උතුරු නැඟෙනහිර ඒකාබද්ධකරල ඔවුන්ගේ පාලනයක් ඇතිකර ගැනීම. ඒකට මේ රටේ බහුතර සිංහල ජනතාව එකඟ නැහැ. සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව ඕනතරම් එකට ජීවත්වෙන්නෙ. කිසි ප්‍රශ්නයක් නැහැනෙ. ජනවාර්ගික හැගීම හැමෝටම තියෙනවා. සිංහල අයගේ ජනවාර්ගික හැඟීම කුපිත කරල දෙමළ ජනවාර්ගික හැඟීම සන්සිඳවීමට ක්‍රියා කිරීම හරහා ඇතිවෙන අර්බුදය ට මුහුණ දෙන්නෙ කොහොමද?

• පහුගිය කාලෙ ජනවාර්ගික පදනමින් විවිධ ප්‍රදේශවල ගැටුම් ඇතිවුණා. මේ ගැටුම්වලට විසඳුම් හැටියට ඔබ යෝජනාකරන්නෙ මොනවද?

රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන්න ඕන. උගත් පාඩම් කොමිෂම (LLRC) වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න . පරණගම කොමිෂමේ තීරණ ක්‍රියාත්මක කරන්න. මේව එක රැයකින් කරල ඉවරකරන්න බැහැ. හිමින් සීරුවේ කරගෙන යන්න ඕන. හැමකෙනෙකුටම සුරක්ෂිතභාවයේ හැඟීමක් ඇතිකරන්න. දෙමළ ජනතාවගේ සහයෝගය නැතිව මේ රට එක්සේසත් කරන්න සිංහලයන්ට පුළුවන්ද? බැහැ. එක රටක් හැටියට පවත්වාගෙන යන්න දෙමළ ජනතාවගේ සහයෝගය වුවමනාමයි. දෙමළ ජනතාවගෙ අයිතිවාසිකම් ගන්න සිංහල ජනතාවගේ සහාය නැතුව දෙමළ ජනයාට පුළුවන්ද? ඒකට සිංහල ජනතාවගේ සහාය අවශ්‍යමයි. මේ අන්‍යෝන්‍යභාවය ඔවුනොවුන්ට හරියට දැනෙන තැනකට ගෙන ඒමෙන් පමණයි, ගැටලුවට විසඳුම තියෙන්නෙ.

• මනුෂ නානායක්කාර නියෝජ්‍ය ඇමැතිවරයා අනෙක් පැත්තට මාරුවුණා. තවත් කිහිප‍ දෙනෙක් පැතිමාරු කරන කතා පැතිරෙනවා. 113 හදාගන්න බැරිවුණොත් මොකද වෙන්නෙ.

ඕක මහලොකු ප්‍රශ්නයක් නෙවෙයි. 113 හදාගන්න බැරි වුණොත් ආණ්ඩු පාලනයක් ගෙනියන්න අපට බැහැ. මොකටද අරලියගහ මන්දිරයට වෙලා ඔච්චර දඟලන්නෙ. පාර්ලිමේන්තුවට ඇවිල්ල විපක්ෂයෙ වාඩිවෙලා පුළුවන්නම් අපිව පරද්දන්න. ඒක කරන්න හයිය නැතුව තානාපති කාර්යාල ගානෙ බඩගගා විදේශීය බලවතුන්ට ආරාධනා කරමින්,එන්.ජී.ඕ. බලවේග එක්ක එකතුවෙලා මේ රටේ මේ ඇතිකරන්න හදන කෝලාහලය මට නම් තේරෙන්නෙ නැහැ.

• පාර්ලිමේන්තු‍ෙව ඔබ කියන තත්ත්වය ඇතිවුණොත් මොකද වෙන්නෙ?

අපි ඊට පස්සෙ විපක්ෂයෙ ඉන්නව. හිටිය වගේ. මොකක්ද අපිට තියෙන අමාරුව.

ඡායා - වාසිත පටබැඳිගේ


අදහස් 1ක් ඇත

Okkotama kalin Kiyanna thiyenne Mahalu madame Inna Un Parlimenthuwe Thaba Geneema Bhayanaka Thathwayak Kiyana ekai,Nakiwena Kota Thamun Kiyanne Monada Kiyala Thamun wath Danne ne Ethem Vita,Deshapalanayata wayas Seemawak Thiyana wei Okotama kalin,mahalumadame mun Monakiyanawada Danne.

පිටු

නව අදහස දක්වන්න

Or log in with...