පේරා‍දෙණි‍යේ සාම පාඩම | දිනමිණ

පේරා‍දෙණි‍යේ සාම පාඩම

අසේල කුරුළුවංශ

බහු ජාතික හා බහු ආගමික රටක් වන ශ්‍රීලංකාවේ වෙසෙන සියලු ජනතාවට සම අවස්ථා ලබා දීම පිණිස විදේශිකයකුවූ සර් අයිවර් ජෙනින්ග්ස් එදා ගත් පියවර ශ්‍රීලාංකික ජන සමාජය හොඳින් කියවා බලා ගත් එකක් බව නිදහසින් පසු ගෙවුණු කාල පරිච්ඡේදය තුළ මෙරට සිදුවූ ජාතික හා ආගමික ගැටුම් නිරීක්ෂණය කිරීමේදී පැහැදිලි වෙයි.

ඉංග්‍රීසි පාලන සමයේදී සර් අයිවර් ජෙනිනිග්ස් විශ්ව විද්‍යාලයක් ආරම්භ කිරීම පිණිස පේරාදෙණිය ප්‍රදේශය තෝරා ගනු ඇත්තේ එහි පවතින්නාවූ සුන්දර පරිසරය නිසාය.එක් පැත්තකින් ගලා යන මහවැලි නදියත් තවත් පැත්තකින් නිසොල්මන්ව බලා සිටින හන්තාන කඳු වළල්ලත් මෙම පරිසරයට එක් කරන්නේ අමුතුම සුන්දරත්වයකි.වන ගහනය විසින් වෙලා ගත් නීල හරිත පරිසරයකින් සමන්විත විශ්ව විද්‍යාල පරිශ්‍රය සැබවින්ම දැහැන් ගතව අධ්‍යාපන කටයුතු කරන්නට සිසුන්ට මඟ පාදන තෝතැන්නක් බව අවබෝධ කරගත් සර් අයිවර් ජෙනිග්ස් (Sir Ivor Jennigs)යුනිවර්සිටි ඔෆ් සිලෝන් නමින් මෙහි මුල් වරට විශ්ව විද්‍යාලය ආරම්භ කර ඇත්තේ 1942 වසරේදීය.උසස් අධ්‍යාපනය පිණිස දිවයිනේ නන් දෙසින් පැමිණෙන සිංහල,දෙමළ හා මුස්ලිම්,බර්ගර් හා මැලේ යන සියලු ජාතීන්ගේ ආගමික හා සංස්කෘතික අන්‍යන්‍යතාවන් ආරක්ෂා කිරීමේ වැදගත්කම සියල්ලට ප්‍රථම අවබෝධ කරගත් ඔහු එදා විශ්ව විද්‍යාලය ආරම්භ කිරීමටත් ප්‍රථම බෞද්ධ,හින්දු,ඉස්ලාම් හා කතෝලික පූජනීය ස්ථාන විශ්ව විද්‍යාල භූමියේ ස්ථාපිත කිරීමට සැළසුම් කළේය.

බහු ජාතික හා බහු ආගමික රටක් වන ශ්‍රීලංකාවේ වෙසෙන සියලු ජනතාවට සම අවස්ථා ලබා දීම පිණිස විදේශිකයකුවූ සර් අයිවර් ජෙනින්ග්ස් එදා ගත් පියවර ශ්‍රීලාංකික ජන සමාජය හොඳින් කියවා බලා ගත් එකක් බව නිදහසින් පසු ගෙවුණු කාල පරිච්ඡේදය තුළ මෙරට සිදුවූ ජාතික හා ආගමික ගැටුම් නිරීක්ෂණය කිරිමේදී පැහැදිලි වෙයි.පීඨ නවයක් යටතේ සියලු ජාතීන් නියෝජනය කරන සිසුන් 12000 ක් පමණ මෙහි අධ්‍යාපනය ලබති.විශ්ව විද්‍යාල සිසු අරගල වලින් පිරී පවතින බව කවුරුත් දන්නා සත්‍යයකි.ජාති හා ආගම් වාදී ක්‍රියාවන් විශ්වවිද්‍යාල තුළ හිසි ඔසවන අයුරුද අපි දැක ඇත්තෙමු.එහෙත් ගතවූ වසර 75 කාලය තුළ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ එවැනි තත්ත්වයක් කිසිදු අවස්ථාවක ඇති නොවිණි.ඊට ප්‍රධාන හේතුව බෞද්ධ,හින්දු,ඉස්ලාම් හා කතෝලික බැතිමතුන්ගේ ආගමික අන්‍යන්‍යතාවන් විශ්ව විද්‍යාලය තුළ සුරක්ෂිත වීමය.මේ නිසාම මෙම සියලු ජාති හා ආගම් වලට අයත් සිසුන් අතර සහජීවනයක්ද ගොඩ නැගී තිබේ.

විශ්ව විද්‍යාලයට වාර්ෂිකව සිසු සිසුවියන් 2500 දෙනෙකු පමණ ඇතුළත් වු .වසර 2015-2016 විශ්ව විද්‍යලට ඇතුළත්ව තිබෙන ශිෂ්‍ය සංඛ්‍යාව ආගමික පදනම අනුව මෙසේය.

එක් එක් වසරවල විශ්ව විද්‍යාලයට ඇතුළත්වූ ශිෂ්‍ය කණ්ඩායම් විශ්ව විද්‍යාලයේ පළමු දෙවන තෙවන හා සිව්වන වසරවල අධ්‍යාපනය ලබති.මේ අනුව විශ්ව විද්‍යාලයේ සමස්ත ශිෂ්‍ය සංඛ්‍යාව අනුව බෞද්ධාගමික සිසුන් 8500 ක්ද හින්දු ආගමික සිසුන් 800 ක්ද ඉස්ලාම් ආගමික සිසුන් 800 ක්ද කතෝලික හා ක්‍රිස්තියානි සිසුන් 500 ක් පමණද සිටින බවට අනුමාන කළ හැකිය.මෙම සියලු සිසුන් අතර ජාතික හා ආගමික සංහිඳියාවක් මෙන්ම විවිධත්වය ගරු කිරීමේ ස්භාවයක් පවතින බව පැහැදිලිව දක්නට ලැබෙන තත්ත්වයකි.මේ සම්බන්ධව විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ මහ­ාචාර්ය මුවඇටගම ඥානානන්ද හිමියෝ මෙසේ අදහස් දැක්වූහ.‘‘විදේශීය ජාතිකයෙකු වුවත් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ නිර්මාතෘ හා ප්‍රථම උපකුලපති සර් අයිවර් ජෙනින්ග්ස්ට ශ්‍රීලංකාවේ ජනවාර්ගික විවිධත්වය පිළිබඳ පැහැදිලි අවබෝධයක් තිබුණා.ඒ ඒ ජනවර්ග වලට අයත් ඇදහිලි, සංස්කෘතීන් හා විශ්වාස තවත් ජාතියක් ඉදිරියේ අවතක්සේරු වීම ජනවර්ග අතර ගැටුම් හා මතබේද ඇති වීමට බලපාන බව එතුමා දැන සිටියා.විශ්ව විද්‍යාල අධ්‍යාපනය සඳහා සිංහල,දෙමළ,මුස්ලිම් යන සියලු ජාතීන්ට අයත් දරුවන් පැමිණෙන බැවින් ඔවුන් සියලු දෙනා සම්බන්ධවම කල්පනා කර ජෙනින්ග්ස් මහතා එදා මේ භූමියේ සියලු ආගමික ස්ථාන නිර්මාණය කළා.මේ තුළින් සෑම ජාතියකම අයිතිවාසිකම් ආරක්ෂා වන නිසා ජාතිය හා ආගම පදනම් කරගත් ගැටුම් ඇති වීමට මෙහි ඉඩක් නැහැ.එදා ජෙනින්ග්ස් මහතා අවුරුදු 100 ක් ඉදිරිය බලා ගත් පියවරක් ලෙස මෙය හැඳින්විය හැකියි.මොකද ඉංග්‍රීසි පාලන සමයට වඩා අපේ ජනතාව අතර ජාති හා ආගමික බෙදීම් ඇති වුණේ නිදහසින් පසුවයි.නායකයෙකු තීරණ ගත යුත්තේ ඊළඟ පරම්පරාව ගැන හිතලා යැයි කියමනක් තිබෙනවා.අපේ නායකයින්ටත් ජෙනින්ග්ස් මහතා ගෙන් ඉගෙන ගත යුතු දේවල් තිබෙනවා.අපි විවිධත්වය ඉවසන්න පුරුදු වෙන්න ඕන.මේ විවිධත්වය නිසා විශ්ව විද්‍යාලයට බොහෝ දේ ලැබී තිබෙනවා.කලා ප්‍රසංගයක් පවත්වන්න ගියත් මේ සියලු ආගමිකයින්ගේ සහභාගීත්වය තුළින් වෙනස්ම ආකාරයේ වර්ණයක් ඒකට ලැබෙනවා.’’

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පුස්තකාලාධිපති රාසයියා මහේෂ්වරන් මහතා. ‘‘ලංකාවට විශ්ව විද්‍යාලයක් ලබා ගැනීම සඳහා එදා ජාති,ආගම් බේදයෙන් තොරව අපේ නිදහස් සටනේ පෙරමුණේ සිටි පිරිස් කටයුතු කළා.ටී.බී ජයා,ඩී.ආර් විජයවර්ධන,පොන්නම්බලම් රාමනාදන්,පොන්නම්බලම් ආරුණාචලම්,ජේම්ස් පීරිස්,අක්බර්,ඩී.බී ජයතිලක ඇතුළු කණ්ඩායමක් කටයුතු කළා.මේ යෝජනාව සමඟ එදා එංගලන්තයට ගියේ රාමනාදන් මහතායි.එහි ප්‍රතිපලයක් ලෙස අපිට යුනිවර්සිටි කොලේජ් එක 1921 දී ලැබෙනවා.එංගලන්තය මගින් පාලනය කළ මේ වෙනුවට අපිට විශ්ව විද්‍යාලයක් අවශ්‍ය බවට මේ පිරිස අරගල කරනවා.එංගලන්තයේ විශ්ව විද්‍යාල නියෝජිතයෙක් ලෙස රැජිණගේ උපදෙස් මත සර් අයිවර් ජෙනින්ග්ස් මෙරටට එන්නේ ඒ අනුවයි.ඔහු ගාල්ල,මාතර,බණ්ඩාරවෙල ආදි ප්‍රදේශ රැසක විශ්ව විද්‍යාලයක් ආරම්භ කරන්න සුදුසු පරිසරයක් සහිත භූමියක් සොයනවා.පේරාදෙණියේ වර්තමාන විශ්ව විද්‍යාලය ස්ථාපිතව පවතින භූමිය ඔහුගේ ඇස ගැසෙන්නේ ඒ ගමනේදීයි.මේ සියලු කරුණු ඔහු විසින් රචිත කැන්ඩි රෝඩ් නැමැති පොතේ අන්තර්ගතයි.යුනිවර්සිටි ඔෆ් සිලෝන් නමින් 1942 පේරාදෙණියේ විශ්ව විද්‍යාලය ආරම්භ වන්නේ මේ අනුවයි.එදා දුම්රියෙන් ගමන් බිමන් ගිය නිසා විශ්ව විද්‍යාලය ආසන්නයේ දුම්රිය ස්ථානයක්ද ස්ථාපිත කළා.සරසවි උයන නමින් අද එය හඳුන්වනවා.ලංකාවට විශ්ව විද්‍යාලයක් ලබා ගැනීම සඳහා පෙරමුණ ගත් පිරිස අනුස්මරණය කිරීම පිණිස ඔවුන්ගේ නම් වලින් විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාර නම් කර තිබීමත් විශේෂ කාරනයක්.මේ ආගමික ස්ථාන ස්ථාපිත කිරීමේදී ජෙනින්ග්ස් මහතා කිසිදු ආගමකට විශේෂත්වයක් ලබාදී නැහැ.එතුමා ආගමික ස්ථාන ස්ථාපිත කරන ස්ථාන තෝරාගෙන ඒවාගේ නම් තුන්ඩු වල ලියා ලොතරැයි ක්‍රමයකට තමයි ඊට ආදළ ස්ථාන වෙන්කර තිබෙන්නේ.මෙය පේරාදෙණිය විශ්ව විද්‍යාලය ලෙස නම් වූයේ 1972 ජනරජ ව්‍යවස්ථාව හඳුන්වා දීමත් සමඟයි.’’

විශ්වවිද්‍යාලයේ කුරිජි කුමරන් කෝවිල් කනපති සරුජන් පූජක තුමා.‘‘කෝවිළේ පූජා වලට ගොඩක් සම්බන්ධ වෙන්නේ යාපනේ හින්දු ආගමික ළමුන්.ඔවුන් දෛනිකව මෙම ස්ථානයට එනවා.ඉංජිනේරූ පිඨයේ දෙමළ ළමුන් සෑහෙන සංඛ්‍යාවක් ඉන්නාව.කෝවිළේ උත්සවයක් තියෙන වෙලාවට ආගම් බේදයක් නැතුව බෞද්ධ,ඉස්ලාම් අයත් ඒකට සහභාගි වෙනවා.’’

විශ්ව විද්‍යාලයේ ජුම්මා පල්ලියේ මොහොමඩ් හිස්බුල්ලා මවුලවි තුමා. ‘‘සෑම ආගමික නායකයෙකුම දේශනා කරලා තිබෙන්නේ හොඳින් ජීවත් වීම සඳහා වන මාර්ගයයි.දහම දේශනා කළ ශාස්තෘන් වහන්සේ බෙදා නොගෙන උන්වහන්සේලා දේශනා කළ දහම බෙදා ගන්නවා නම් අර්බුධ අඩු වේවි.මේ පල්ලියට ලංකාවේ ළමයි වගේම විදේශ රටවල ළමයිනුත් එනවා.මේ විශ්ව විද්‍යාලයේ සියලු ආගම් වලට අයත් පූජනීය ස්ථාන තිබෙනවා.මේවා සියල්ලට ළමුන් ගෞරව කරන්නේ ඒවා අපේ කියන හැඟීම ඇතිවයි.විශ්ව විද්‍යාලය තුළ ඇත්තටම ජාති,ආගම් බේදා නැහැ.’’

ක්‍රිස්තියානි දේවස්ථානයේ කුලාචාර්ය ලලිත් ගුණතිලක පියතුමා. ‘‘සර් අයිවර් ජෙනින්ග්ස්ගේ සංකල්ප එදාට වඩා ප්‍රායෝගිකව වැදගත් වන්නේ අදටයි.අද විවිධත්වය නොඉවසන සමාජයක් බිහි වෙමින් තිබෙනවා.ජාති හා ආගමික පදනමින් රටේ ගැටුම් ඇතිවූ අවස්ථා අපි පසුගිය කාලයේ දැක්කා.මේ පල්ලියේ වැඩ කටයුතු වලට බෞද්ධ සිසුන් සම්බන්ධ වෙන අවස්ථා තිබෙනවා.විශ්ව විද්‍යාල සිසුන් බොහෝ විට අරගල කරනවා.රජයන්ට එරෙහිව නොයෙක් ආකාරයේ විරෝධතා දියත් කරනවා.මේවාට ජාති බේදයෙන් තොරව සිසුන් සම්බන්ධ වෙනවා.ආගමික නිදහස උපරිමයෙන් මේ තුළ ආරක්ෂාවී තිබෙනවා.මේ මෑතක බයබලයේ ඉතිහාසය සම්බන්ධව ප්‍රදර්හනයක් අපි සංවිධානය කළා.ඒකට විශ්ව විද්‍යාලය තුළ පිහිටා තිබෙන සෙසු ආගමික ස්ථාන වල භික්ෂූන් වහන්සේ ඇතුළු පූජක තුමන්ලා සහ සම්බන්ධ වුණා.මවුලවී තුමන් කුරුක්කල් තුමන් අපි හැමෝම එකට වැඩ කරනවා.විශ්ව විද්‍යාල දරුවනුත් උත්සව අවස්ථාවලදී මෙන්ම ශ්‍රමදාන කටයුතු වලදී ආගම් බේදයෙන් තොරව එම වැඩ කටයුතු වලට සම්බන්ධ වෙනවා.’’

විශ්ව විද්‍යාලයේ විනයාරක්ෂක නිලධාරී මහේෂ් අබේවික්‍රම. ‘‘නවක වද සිදුවීම් විශ්ව විද්‍යාල වලට ආගන්තුක දෙයක් නොවෙයි.එවැනි සිදුවීම් සම්බන්ධයෙන් සිසුන්ට චෝදනා එල්ලවූ අවස්ථා තිබෙනවා.ඒත කවදාවත් ජාතිවාදී හෝ ආගම්වාදී ගැටුම් මෙහි ඇතිවී නැහැ.ශිෂ්‍ය නේවාසිකාගාර වල සියලු ජාතීන්ට අයත් ළමුන් සිටිනවා.ඔවුන් සියලු දෙනාගේ ආගමික අන්‍යන්‍යතාව විශ්ව විද්‍යාලය තුළදී පිළිගැනීමට ලක් වෙනවා.ශිෂ්‍ය සංගම් වලින් කරනු ලබන නිවේදන පවා සෑම භාෂාවකින්ම එළි දක්වනවා.’’

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපකුලපති මහචාර්ය උපුල් දිසානායක. ‘‘එදා සර් අයිවර් ජෙනින්ග්ස් මේ විශ්ව විද්‍යාලය ආරම්භ කරන විට අපේ සමාජයේ හැඩතල පිළිබඳව හොඳින් හඳුනා ගෙන තිබූ බව මේ සියලු ආගමික ස්ථාන විශ්ව විද්‍යාලය තුළ ස්ථාපිත කිරීම තුළින්ම පැහැදිලි වෙනවා.සිසුන් විතරක් නොවේ ආචාර්ය මණ්ඩලයේත් අනධ්‍යයන කාර්ය මණ්ඩලයේත් විවිධ ජාතීන්ට හා ආගම් වලට අයත් පිරිස් ඉන්නවා.මේ සංකලනය ඉතා සුන්දර දෙයක්.ප්‍රශ්නය තිබෙන්නේ එක් ජාතිකයක් අනෙක් ජාතියේ අන්‍යන්‍යතාව පිළි නොගැනීමයි.මෙය අපි තේරුම් ගන්න ඕන.මුත්තයියා මුරලිදරන් ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කරලා කඩුළු දවා ගනිත්දී සිංහල අපිට ඔහු දෙමළ කියා හිතෙනවාද?.මෙන්න මේකයි අපි තේරුම් ගන්න ඕන.විශ්ව විද්‍යාලය කියන්නේ බුද්ධියේ වේදිකාවක්.ඒ තුළ සියලු ජාතීන්ගේ හා ආගමිකයින්ගේ අන්‍යන්‍යතා ආරක්ෂා වීමත් එකිනෙකා ඔවුන් ඔවුන්ව පිළි ගැනීමත් නිසා ගැටුමකට ඉඩක් නැහැ.මේ සියලු පූජනීය ස්ථාන වල ඒ ඒ ආගම් වලට අයත් පූජක තුමන්ලා යටතේ පාලනය වෙනවා.’’


නව අදහස දක්වන්න