පොලිසියට ගිය තිදරු පියෙකුට අමානුෂික ලෙස පහර දීලා | දිනමිණ

පොලිසියට ගිය තිදරු පියෙකුට අමානුෂික ලෙස පහර දීලා

තම සොහොයුරකු පොලිස් සිරමැදිරියේ සිටින බවට පොලිසියෙන් ලද දුරකථන ඇමතුමක් මත මේ මස 04 වන දින වෙන්නප්පුව පොලිසියට ගිය තිදරු පියෙකුට සිවිල් ඇඳුමෙන් සැරසී බීමත්ව සිටි උප පොලිස් පරීක්ෂකවරයෙක් පොලිසිය තුළදීම කළ බව කියන අමානුෂික පහරදීමක් සම්බන්ධව එම තිදරු පියා විසින් පොලිස් කොමිෂන් සභාව වෙත සහ වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරිවරයාට පැමිණිලි කර තිබේ. මේ අමානුෂික පහරදීමට ලක්ව ඇත්තේ වෙන්නප්පුව පොලිස් වසමට අයත් ලුණුවිල සමඟි මාවත පිනිසෙවණ ලිපිනයේ පදිංචි වතු මුරකරුවකු හා තිදරු පියෙකු වන ලියනගේ අරුණ වසන්ත කුමාර(31) නැමැත්තෙකි. තම පියා හා මව බලාසිටියදී පොලිසිය තුළදීම මෙසේ පහරකෑමට ලක්ව ඇති ඔහු ප්‍රථමයෙන් වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරි වෙත ගොස් තමන්ට මුහුණ පෑමට සිදුවූ සිද්ධිය දන්වා ඒ මහතාගේ උපදෙස් මත වෙන්නප්පුව පොලිසියට පැමිණිල්ලක් කිරීමට ගියත් ඊට තමන්ට අවස්ථාවක් නොලැබුණු බවද කියා සිටී. ලුණුවිල රජයේ රෝහලෙන් මූලික ප්‍රතිකාර ලැබ පසුව මාරවිල රජයේ රෝහලේ 03 වාට්ටුවට ඇතුලත්ව රෝහල් පොලිසියටද මේ ගැන පැමිණිලි කර ඇති බව අරුණ කීවේය.

අරුණ වසන්ත කුමාර මහතා මෙසේද කීය. මගේ මල්ලී පොලිස් සිරමැදිරියේ සිටින බවට ලැබුණු දුරකථන ඇමතුමකටයි මමත්, අම්මාත් ,මගේ තාත්තාත් වෙන්නප්පුව පොලිසියට ආවේ. මම පොලිසිය අසල සිටියදී ගේට්ටුව අසල සිවිල් ඇදුමෙන් සැරසී සිටි නිලධාරියෙක් මට කථාකළා. ඔහු තරමක් බීමතින් සිටි බව පෙනුණා. එක්වරම ඔහු මගේ කොලරයෙන් අල්ලාගෙන පොලිසිය තුළින් පිටුපසට ඇදගෙන ගියා. සර් මට ගහන්නයන්නෙ ඇයි, මම කළ වරද කුමක්දැයි අසනවාත් සමගම ඔහු මා බිච්චියට හේත්තු කරගෙන මිට මොලවා දෑතින්ම පහරවල් 15ක් පමණ මූණට ගැසුවා. පසුව මගේ සාක්කුවට කුඩු පැකට්ටුවක් වගේ එකක් දමා පයින් යටිබඩටත් ඇන්නා. මගේ මවුපියන් බලා සිටියදීයි පහරදුන්නේ . මගෙ අම්මා පොලිසිය තුළ හඩා වැටුණා. සහකාර පොලිස් අධිකාරිවරයාට එදිනම පැමිණිල්ලක් කළවිට වෙන්නප්පුව පොලිසියට ගොස් පැමිණිල්ලක් කරන්නැයි මට කීවත් ඊටවත් ඉඩක් ලැබුණේ නැහැ. මගේ දරු පවුලත් මාත් අද අසරණයි. මුත්‍රා පිටවෙන්නේ නෑ. දින 03ක් කෑම කන්න බැරිව සිටියා. මාරවිල රෝහලේ වෛද්‍ය රොෂන් දසනායක මහතා රෝග නිශ්චය කාඩ්පතක්දී ඉදිරි ප්‍රතිකාර සදහා රෝහලට එන්නයි කීවා. පොලිස් කොමිෂන් සභාව හා පොලිස් බලධාරින් මේ සම්බන්ධව විශේෂ අවධානය යොමුකොට නිරපරාදේ මෙම පහරදීමට ලක්වූ බව කියන පුද්ගලයාට සාධාරණය ඉටුකරදීම වැඩදායක කටයුත්තක් බව කිවයුතුව ඇත.

වෙන්නප්පුව විශේෂ-සුනිල් ප්‍රනාන්දුපුල්ලේ


නව අදහස දක්වන්න

Or log in with...