දිස්ත්‍රික් කීපයක ආක්‍රමණශීලී දළඹු විශේෂයක් පැතිරෙයි | දිනමිණ

දිස්ත්‍රික් කීපයක ආක්‍රමණශීලී දළඹු විශේෂයක් පැතිරෙයි

මානෙල් පුෂ්ප කුමාරි

නොසන්සිදෙන කුස ගින්නකින් පෙළෙන එක රැයක් තුළ අක්කර දහසක වගාවක් විනාශ කළ හැකි ආක්‍රමණශීලී දළඹු විශේෂයක් වන “සේනා දළඹුවා” මේ වන විට දිස්ත්‍රික්ක කීපයක ශීඝ්‍ර ලෙස පැතිර යමින් පවතින බැවින් එම සත්ත්වයා වහා මර්දනය කිරීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමට කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

මේ දළඹු විශේෂය මේ වන විට අම්පාර ඇතුළු දිස්ත්‍රික්ක තුනකින් වාර්තා වී තිබේ. සේනා දළඹුවා මුලින්ම හඳුනාගෙන තිබෙන්නේ නයිජීරියාවෙන් වන අතර මීට මාස තුනකට පමණ පෙර ඉන්දියාවෙන් වාර්තා වී ඇත. කෙසේ වුවද මේ වන විට අපේ රටේ දිස්ත්‍රික්ක තුනක බහුල වශයෙන් මේ ආගන්තුක ආක්‍රමණශීලී දළඹුවා වාර්තා වී තිබෙන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පසුගියදා (07) පස්වරුවේ අමාත්‍යාංශයේ පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමකදී ප්‍රකාශ කළේය.

මේ දළඹු එක් සතෙක් එක් වරකට බිත්තර 200ක් දමනු ලබයි. එමෙන්ම මේ දළඹුවාගෙන් හට ගන්නා සළඹයාට දිනකට කිලෝමීටර් 100 ක දුරක් සුළං පාර ඔස්සේ පියඹා යෑමට හැකි නිසා එම සළඹයා මගින් දළඹුවන් බෝ වීම ශීඝ්‍රයෙන් සිදු වේ.

මේ දළඹු විශේෂය මර්දනයට අවශ්‍ය කෘමිනාශක යෙදීම මේ වනවිට ආරම්භ කර ඇත.

සේනා දළඹුවා කුඩා කාලයේ කොළ පැහැති පැහැයට හැරේ. සිරුර පුරාම ඉදිමුණු බිබිලි වැනි ලක්ෂණ ඇති අතර හිසෙහි යටිපැත්තේ සුදු පැහැයෙන් “Y” අකුරට සමාන හැඩයකින් යුතු සලකුණක් ඇත.

ඒ නිසා වගාවන්ට හානි කරන ඉතාමත් දරුණු ගණයේ දළඹුවෙකු වන සේනා දළඹුවා වගා අතර සිටින්නේ ද යන්න පිළිබඳ විමසිලිමත් වන ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශය ගොවීන්ගෙන් ඉල්ලා සිටී.

මේ දළඹු විශේෂය වගා අතර සිටින්නේ නම් වහාම ප්‍රදේශයේ කෘෂි උපදේශකවරයාට හෝ 1920 දුරකතනයට හෝ 081-2388316 දුරකතනයට හෝ වහාම දැනුම් දෙන ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටී. දැනටමත් පෞද්ගලික අංශයේ සහයෝගය ද මේ සත්ත්වයා මර්දනය කිරීම සඳහා ලැබී ඇති අතර කෘෂිකර්ම දෙපාර්තමේන්තුව දීප ව්‍යාප්තව සියලු ගොවීන් මේ දළඹු විශේෂය පිළිබඳව දැනුවත් කිරීමට පියවර ගෙන ඇත.


නව අදහස දක්වන්න