ඓශ්වර්යා තිරනාටකයක් වෙනස් කරයි | දිනමිණ

ඓශ්වර්යා තිරනාටකයක් වෙනස් කරයි

ශ්‍රී නාරායන් සිං අධ්‍යක්ෂණය කරන ‘ජස්මින්’ නම්වූ අලුත් ම චිත්‍රපටයේ ප්‍රධාන නිළිය ලෙස ඓශ්වර්යා රායි තෝරාගෙන ඇති බව මේ වසරේ මුල් කාලයේදී වාර්තා වුණා.

ඓශ්වර්යා රඟපෑමට බලාපොරොත්තුව සිටියේ තම කුස වෙනත් යුවළකගේ දරුවකු බිහි කිරීමට කුලියට දෙන කාන්තාවකගේ චරිතයක්. (මේ අයුරින් දරුවන් බිහි කිරීම මෑත කාලයේ ඉන්දියාව තුළ බහුලව සිදු වුණ බව රහසක් නොවෙයි)

ඓශ්වර්යා ව මේ චරිතය සඳහා තෝරා ගත්ත ද ඇය එක විටම එයට එකඟත්වය පළ කර සිටියේ නැහැ. චිත්‍රපටයේ තිර නාටකය හොඳින් කියවා බැලීමෙන් පසුව එයට කැමැත්ත දෙන බවයි, ඓශ්වර්යා ප්‍රකාශ කළේ.

ඒ අනුව චිත්‍රපටයේ තිර රචකයින් වන සිද්ධාර්ත් සහ ගරිමා යන දෙදෙනා සමඟ මුලින් ම සාකච්ඡා කළ ඓශ්වර්යා තිර නාටකය කියවූවා. ඉන් පසුව ඇය මේ චිත්‍රපටයේ රඟපෑම ගැන කිසිවක් ප්‍රකාශ කළේ නැහැ.

“මේ අවුරුද්දෙ පෙබරවාරි මාසෙන් පස්සෙ මම මේ ගැන කතාබහ කළේ නැහැ. ඒ වුණත් මින් පස්සෙ කතා බහ කරන්න කැමැතියි.” ඓශ්වර්යා එලෙස ප්‍රකාශ කළත් මාස කිහිපයක් ගතවෙද්දී ඇය ‘ජස්මින්’ චිත්‍රපටයේ රඟපෑම ප්‍රතික්ෂේප කළා. ඓශ්වර්යා පවසා ඇත්තේ තිර නාටකයෙහි ඇතැම් තැන්වල තිබෙන අඩුපාඩු එම ප්‍රතික්ෂේප කිරීමට හේතුවූ බවයි.

පසුව එම වැරැදි නිවැරැදි කරගෙන අලුත්ම තිරනාටකයක් රචනා කළ සිද්ධාර්ත් සහ ගර්මා, යළි ඓශ්වර්යා හමුවුණා. නමුත් තවමත් ඇගෙන් ඊට එකඟත්වය ප්‍රකාශ වී නැහැ. එසේ තිබියදී අනුරාග් කාශ්‍යප් අධ්‍යක්ෂණය කරන වෙනත් චිත්‍රපටයක රඟපෑමට ඓශ්වර්යා තම කැමැත්ත ප්‍රකාශ කරලා.

දැන් කාටත් ප්‍රශ්නයක් වී ඇත්තේ ‘ජස්මින්’ චිත්‍රපට‍යේ තිර රචනය තමන්ට අවශ්‍ය ලෙස වෙනස් කරගත් ඓශ්වර්යා එහි රඟපෑමට අදි - මදි කරන්නේ ඇයි ද කියලයි.

නව අදහස දක්වන්න