ජනමතය බර වැඩී! | දිනමිණ

ජනමතය බර වැඩී!

පුද්ගලයන්ට සුදුසු ආකාරයට අනුව නායකත්වය හිමිවන බව කියති. එහෙත් එය තීන්දු කරන්නේ සමාජය යි. වඩාත් පුළුල් අර්ථයකින් දක්වතොත්; නායකත්වය හා නායකත්වයේ පැවැත්ම මහජනයා විසින් තීරණය කරනු ලැබේ. ඉනික්බිති නායකයා කෙරෙහි වගකීම් සම්භාරයක් පැවරේ. හොඳ නායකයා මේ වගකීම්වලින් පැනයන්නේ නැත. ඒවා මඟහරින්නේ ද නැත. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා ඔහුගේ වත්මන් ක්‍රියා කලාපය වටහාගත යුත්තේ ඉහත සඳහන් අර්ථවලට අනුව ය. ජනාධිපතිවරයා පළමුව වගකිවයුත්තේ රටේ ජනතාවට ය. ඔහු ජනතාවගේ වැඩි කැමැත්තට අනුව යුක්තිසහගත ලෙස ක්‍රියා කර ඇතැ’යි නොබිය ව සඳහන් කළ හැකි ය.

රටේ දේශපාලනය ආසන්න වශ‍ෙයන් ගමන් කරමින් තිබුණේ ඉතා පහත් කැත තැනක් කරා ය. මහජන නියෝජිතයන් යැයි කියන අය මුදලට විකිණෙන්නට පටන්ගත්හ. මන්ත්‍රීවරයකු දුටුවිට කෝටි ගණනක කෑල්ලක් යැයි කියන්නට ජනතාව පටන් ගත්හ. කතානායකවරයාගේ හැසිරීම ඊටත් වඩා විකෘති ස්වාභාවයක් ගත්තේ ය. ඔහු පක්ෂග්‍රාහී වූ අතර ම ජනාධිපතිවරයාට අභියෝග කරන තත්ත්වයක් කරා ද ගමන් කළේය. මේ තත්ත්වය යටතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පමණක් නො ව; අපේ සම්ප්‍රදාය ද හෑල්ලු වූ බවක් පෙනෙන්නට තිබිණි. මෙබඳු අවස්ථාවක රටේ විධායක නායකයා නිවැරැදි තීන්දුවක් ගත යුතු ය.

හිටපු අගමැතිවරයාගේ ක්‍රියා කලාපය සියලු දේවල්වලට වඩා භයානක විය. ඔහු ජනාධිපතිවරයාට සවන් දුන්නේ නැත. මහජනයාට සවන් දුන්නේ නැත. අගමැතිවරයා සවන් දුන්නේ බලවත් රටවල නායකයන්ට හා බහුජාතික සමාගම්වලට යැයි කියන්නට පුළුවන. මහ බැංකුවේ මූල්‍ය වංචාව සිදුවන්නේ යහපාලන ආණ්ඩුව බලයට පත්වී වැඩි කාලයක් ගතවන්නට පෙර ය. මේ සිද්ධියට වගකිවයුත්තේ රනිල් වික්‍රමසිංහ මහතා බව බොහෝදෙනකුගේ මතය වී තිබිණි. අදත් එය එසේම ය. වික්‍රමසිංහ මහතාගේ ආර්ථික ප්‍රතිපත්තිය වූයේ රටේ සම්පත් විදේශවලට විකිණීම හා ඒ මඟින් සුළු පිරිසකට වාසි ලබාදීම ය. මෙය දැඩි ලෙස විවේචනයට ලක් වූ කාරණයකි.

රටේ ආර්ථිකය හැසිරවීමට අදාළ උ‍පදේශන ලබාගැනීම සඳහා ආර්ථික සභාවක් තිබිණි. ආර්ථිකයට අදාළ ප්‍රතිපත්ති හා වැඩසටහන් සම්පාදනය සඳහා කැබිනට් මණ්ඩලයක් තිබිණි. මේ සියල්ලට ඉහළින් ජනාධිපතිවරයා සිටියේ ය. එහෙත් ආර්ථිකය හැසිරවීමේ තනි බලය වික්‍රමසිංහ මහතා වෙත පවරාගෙන තිබිණි. අවසන් ලෙස සම්මත වූයේ ද ක්‍රියාත්මක වූයේ ද හිටපු අගමැතිවරයාගේ අභිමතය සහිත ආර්ථික වැඩසටහන් මිස රටට අවශ්‍ය ආර්ථික වැඩසටහන් නො වේ. තෙල් මිල ඉහළ ගියේ ය. රුපියලේ වටිනාකම ‍පහළ ගියේ ය. ජීවන බර දිනෙන් දින වැඩි විය. ගොවියා, රාජ්‍ය සේවකයා, සුළු වෙළෙන්දා, දේශීය කර්මාන්තකරුවා බලවත් පීඩනයකට පත්වූහ. මෙය ජනතාව හිංසනයට ලක්කරන කොල්ලකාරී ආර්ථික සම්ප්‍රදායකි.

යහපාලන ආණ්ඩුව බිඳවැටෙන්නට බලපෑ ප්‍රධාන සාධකය වන්නේ හිටපු අගමැතිවරයාගේ ක්‍රියා කලාපය යැයි බොහෝ දෙනා පෙන්වා දෙති. එය අසත්‍යයක් නො වේ. ඔහු අවසන් ලෙස ක්‍රියා කර ඇත්තේ ජනාධිපතිවරයාට පවා අභියෝග කරන තැනක සිටගෙන ය. මේ සඳහා ඔහුට ජාත්‍යන්තරයෙන් සහයෝගයක් ලැබුණේ යැයි කියනමුත් එය අප හරියට ම දන්නේ නැත. එහෙත් ඔහුගේ වැඩි නැඹුරුව ඇත්තේ විජාතිකකරණයට බව පැහැදිලි ය. ඔහුගේ වැඩසටහන් යටතේ රටේ ආර්ථිකය, සමාජ සංවර්ධනය, සදාචාරය වර්ධනයට ලක් වූ බවක් පෙනෙන්නට නැත. හැම අංශයක ම කඩා වැටීමක් පමණක් වාර්තා වී තිබිණි. රටේ බුද්ධිමත්හූ මේ බව පෙන්වා දුන්හ.

අප මුලින් ද සඳහන් කළ පරිදි රටේ ප්‍රධාන පුරවැසියා වන ජනාධිපතිවරයා මහජනයාට වගකිවයුතු ය. ඔහුගේ නෛසර්ගික බලය භාවිතා කොට ජනතාවට යහපතක් උදාකළ යුතු ය. දිගින් දිගටම මහජනයා පීඩාවට පත්වන දේවල් සිදුවන්නේ නම්; ජනාධිපතිවරයා සතු බලතලවලින් වැඩක් නැත. ඔහු ඒවා භාවිත කළ යුතු ය. ඊට අවශ්‍ය ප්‍රතිපාදන ව්‍යවස්ථාවේ වගන්ති හා උප වගන්ති තුළ තිබේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඒවා ඉතා නිවැරදි ලෙස භාවිත කරමින් පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයක් කැඳවා ඇත. මේ මොහොතේ ගත යුතු බුද්ධිමත් තීරණය එය බව පෙනෙයි.

හිටපු අගමැතිවරයා අරලියගහ මන්දිරය බලහත්කාරයෙන් අල්ලාගෙන සිටින අතර මං තවම අගමැති යැයි ජාත්‍යන්තරයට කියයි. කැබිනට් මණ්ඩලය විසුරුවා හැර නව කැබිනට් මණ්ඩලයක් පත්කර තිබුණ ද, පරණ ඇමැතිවරු අමාත්‍යාංශවලට ගොස් ඒවායෙහි සම්පත් භුක්ති විඳිති. සමහරවිට සේවක මණ්ඩල සමඟ ගැටුම් ඇති කර ගනිති. කතානායකවරයා විදේශීය තානාපතිවරුන් හමුවේ දේශපාලන අර්බුදය ගැන කරුණු කියයි. බලාගෙන යනවිට දකින්නට ඇත්තේ බලවත් අවුලකි. මේ අවුල දිගටම පැවැතියේ නම්; මහා විනාශයක් සිදුවීමට ඉඩ තිබිණි. ඉහත තත්ත්වයට අනුව ගත යුතු නිවැරැදිම ක්‍රියාමාර්ගය ජනාධිපතිවරයා ගෙන තිබේ.

ජනාධිපතිවරයාගේ තීරණය අභියෝගයට ලක්කරන කෙනෙකුට නීතියේ පිහිට පැතිය හැකි ය. එය කළ යුතු ආකාරය ද ව්‍යවස්ථාවෙන් ම සොයාගත යුතු ය. එක්සත් ජාතික පක්ෂය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යන බව කියා ඇත. එය නරක දෙයක් නො වේ. මහජනයා කුලප්පු නොකොට එවැන්නක් සිදුකිරීම ඉතා වැදගත් ය. කොයි අතින් බැලුව ද මැතිවරණයක් යනු මහජන මතය විමසා බැලීමකි. දියුණු රටවල් ආණ්ඩු පවතින අතරේ ද මහජන මතය විමසා සිටිති. ඒ මඟින් ආණ්ඩුවකට තමන්ගේ තත්ත්වය මැන ගත හැකි ය. මහජනයා නියෝජනය කරන දේශපාලකයන් ඡන්දවලට බිය විය යුතු නැත. ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රධාන ලක්ෂණය වන්නේ ද මහජන අභිමතයට ඉඩදීම ය.

යහපාලන ආණ්ඩුව ඡන්ද කල් දැමූ ආණ්ඩවුක් ලෙස ප්‍රකට ය. ඒ පිළිබඳ විවේචන මැතිවරණ කොමිසම වෙතින් පවා ප්‍රකාශයට පත්වී තිබිණි. මහජන මත විමසුම්වලදී බහුල ලෙසින් ඉදිරිපත් වූ ඉල්ලීමක් වූයේ රටට මහ මැතිවරණයක් ඕනෑ යන්න ය. සුළු ජන කණ්ඩායම් නියෝජනය කරන දේශපාලන පක්ෂ කිහිපයක් පෙන්වා දී තිබු‍ෙණ් ද මහ මැතිවරණයක් මඟින් පවතින දේශපාලන අවුල විසඳාගත හැකි බව ය. දැන් ඊට අවස්ථාව ලැබී තිබේ. ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන පුද්ගලයන් ඉහත තත්ත්වය අනුමත කළ යුතුව තිබේ. මැතිවරණයක් ඔස්සේ බලය ඇත්තේ කාට දැ’යි නිවැරැදි නිශ්චයකට පැමිණිය හැකි ය.

පාර්ලිමේන්තුවේ බහුතරයට වඩා ජනතාවගේ බහුතරය හැමවිට ම බර වැඩි ය. කෝටි දෙකකට වැඩි ජනතාවගේ අභිමතය පාර්ලිමේන්තුවේ දෙසිය විසිපහකගේ අභිමතයට වඩා කෙතරම් බලවත් ද? කෙතරම් වැදගත් ද?

 


නව අදහස දක්වන්න