රත්වත්තේගේ දඬුවම් පහරින් අන්තිම මොහොතේ සී.ආර්. ජය ගනී අන්තර් සමාජ ලීග් රග්බි ඇරැඹේ | දිනමිණ

රත්වත්තේගේ දඬුවම් පහරින් අන්තිම මොහොතේ සී.ආර්. ජය ගනී අන්තර් සමාජ ලීග් රග්බි ඇරැඹේ

ෆවුස් මොහොමඩ්

දේශීය රග්බි පිටියේ විශිෂ්ටයන්ගේ දස්කම් මුවහත් කරන ප්‍රමුඛතම තරගාවලිය අන්තර් සමාජ පළමු පෙළ ලීග් රග්බි තරගාවලියේ පළමු සති අන්තයේ සිය මුල්ම තරගය ජයග්‍රාහීව ආරම්භ කළ සී.ආර්.ඇන්ඩ් එෆ්.සී. කණ්ඩායම තරින්ද රත්වත්තේ අවසන් මොහොතේ එල්ල කළ සාර්ථක දඬුවම් පහරින් සී.එච්.ඇන්ඩ් එෆ්.සී.පිලට එරෙහිව ලකුණු 24-23ක තියුණු ජයක් වාර්තා කිරීමට සමත්විය.

සී.ආර්.පිටියේ පෙරේදා පැවැති මේ තරගයේ අවසන් මිනිත්තු 10 ආරම්භ වෙද්දිත් ලකුණු 23-21කින් පෙරමුණ ගෙන ජයග්‍රහණය පෙනි පෙනී සිටි සී.එච්.පිලට මේ පරාජය උරුමවූයේ සිය ක්‍රීඩකයන්ගේ දුර්වල ක්‍රීඩා විලාශයෙන් සී.ආර්.පිලට හිමිවූ දඬුවම් පහර නිසාවෙනි.

තරගයේ පළමු භාගය නිමාවනවිට ලකුණු 20-15කින් පෙරමුණ ගෙන සිටි සී.එච්.පිලට දෙවැනි භාගයේදී සී.ආර්.පිල වෙතින් දැඩි අභියෝගයක් එල්ල වූ අතර තරගය පුරා සී.ආර්.පිල ගෝලයක්, උත්සාහක දිනුමක් සහ දඬුවම් පහර 4ක් වාර්තා කළේය. සී.එච්.පිල රැස් කළේ ගෝල් 2ක් සහ දඬුවම් පහර 3ක් පමණි.

මහනුවරට ගුවන් හමුදාව පරදී

මේ අතර ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම සමග රත්මලාන ගුවන් හමුදා පිටියේ පැවැති මේ වසරේ සිය පළමු ලීග් රග්බි තරගය ලකුණු 28-19කින් ජයගැනීමට මහනුවර ක්‍රීඩා සමාජය සමත්විය.තරගයේ පළමු භාගය ලකුණු 14-7කින් පෙරමුණ ගත් මහනුවර පිල තරගය පුරා ගෝල් 4ක් වාර්තා කළ අතර ගුවන් හමුදා පිල ගෝල් 2ක් සහ උත්සාහක දිනුමක් රැස් කළේය.

තරගාවලියට නව මුහුණුවරක්

පසුගිය තරගාවලියේ පසුපෙළ කණ්ඩායම් බවට පත්වූ ක්‍රීඩා සමාජ සඳහා විදෙස් ක්‍රීඩකයන් සහභාගි කරගැනීමේ සංකල්පය සමග රග්බි ලීග් තරගාවලිය නව මුහුණුවරකින් පැවැත්වෙන්නේ ශ්‍රී ලංකා රග්බි ආයතනයේ සංවිධායකත්වයෙන් සහ 7 වැනි වරටත් ඩයලොග් ආසියාටා සමාගමේ අනුග්‍රාහකත්වයෙනි. ‍

රග්බි ලීග් තරග බිමේ ආධිපත්‍ය පතුරුවාලමින් වැඩිම ශූරතා ප්‍රමාණයක් දිනා සිටින මහනුවර ක්‍රීඩා සමාජය පිට පිට සිය පස්වැනි හඹායන මෙවර තරගාවලියේදී හැව්ලොක්ස්, නාවික, සී.එච්. සහ සී.ආර් වැනි මුල්පෙළ ක්‍රීඩා සමාජ සමග ගුවන්, යුද සහ පොලිස් ක්‍රීඩා සමාජ සුපුරුදු පරිදි එක්වී සිටී.

 

නව අදහස දක්වන්න