පාසල් ළමයි වගේ ක්‍රීඩා කරලා ටෙස්ට් දිනන්න බෑ | දිනමිණ

පාසල් ළමයි වගේ ක්‍රීඩා කරලා ටෙස්ට් දිනන්න බෑ

ෆවුස් මොහොමඩ්

ශ්‍රී ලංකා පුහුණුකරු හතුරුසිංහ

සංචාරක එංගලන්ත පිල හමුවේ ගාලු ක්‍රීඩාංගණයේදී පළමු ටෙස්ට් තරගය ලකුණු 211කින් පරාජයට පත්වූ ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් වතාවට ටෙස්ට් පිටියට එක්වූ විශිෂ්ට වමත් දඟ පන්දු යවන්නාගේ සමුගැනීමේ සතුට එහෙම පිටින්ම දිය කර දැමූහ. දින හතරකින් නිමාවට පත්වූ අතර තරගය පැවැති දිනවල ගාලු පුරවරය දිවා කාලය දැඩි හිරු රැසින් උණුසුම් වූ අතර රාත්‍රී කාලය එහෙම පිටින්ම වර්ෂාවෙන් ‍තෙමී යාම විශේෂත්වයකි.

සිවුවැනි දිනයේදී පිටියට පැමිණෙන විට ශ්‍රී ලංකා පිල කඩුලු දහයම අතැතිව සිටියේය. එහෙත් දිවා ආහාරය වෙද්දී මුල්පෙළ පිතිකරුවන් තිදෙනකුම ක්‍රීඩාගාරයට හැරී ගියේ ඉක්මනින් කුසගිනි දැනුණු ආකාරයෙනි. එය එක් අතකින් කුඩා දරුවන්ගේ ක්‍රීඩා ස්වභාවයක් ද පෙන්නුම් කරවූවකි.

‘ටෙස්ට් ක්‍රිකට් ගහද්දී ඔබ තේරුම් ගන්න ඕනා ප්‍රතිවාදීන් කොහොමද ඔබව දවාලන්න සූදානම් වෙන්නෙ කියලා. ක්‍රීඩා සමාජ තරගවලදී පවා ඔබට ඒවා ගැන අවබෝධයක් තිබිය යුතුයි. ජාත්‍යන්තර පිටියට ඇවිත් ඒවා ඉගෙන ගන්න බෑ. ඉගෙන ගෙනයි ජාත්‍යන්තර පිටියට එන්න ඕනා. දඟ කැවෙන පන්දුවලට නොගැසිය යුතු පහරවල් එල්ල කරමින් දැවීයාම කනගාටුදායක සිදුවීමක්. එංගලන්ත පිලට අපිව නිකං පාසල් ළමයි වගේ පේන්න ඇති..’ තරගයේ පරාජයෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා පිලේ පුහුණුකරු චන්දික හතුරුසිංහ කියා සිටියේය.

මේ තරගයට ශ්‍රී ලංකාව එක්වූයේ ගාල්ල ක්‍රීඩාංගණයේ මෙතෙක් එංගලන්තය හමුවේ පැවැති ටෙස්ට් තරග 4කින් දෙකක්ම ජයගෙන තවත් තරග දෙකක් ජයපරාජයෙන් තොරව නිමාවට පත් කිරීමේ ආඩම්බරයෙනි. අනිත් අතට එංගලන්තය තරගයට එක්වූයේ එක දිගට විදෙස් ටෙස්ට් තරග 13ක්ම පරාජයට පත්වීමේ අවමානයත් දරාගෙනය. ඇරත් එංගලන්ත පිල ගාලු ටෙස්ට් තරගයට එක්වූයේ ආසියානු රටවල දඟ පන්දු යවන්නන්ට සාර්ථකව මුහුණ දෙන හිටපු නායක ඇලෙස්ටෙයාර් කුක් ක්‍රීඩාවෙන් සමුගැනීමෙන් පසු පළමු වතාවටය. එබැවින් හරිනම් පීඩනය තිබිය යුත්තේ එංගලන්තය පැත්තේය. නමුත් තිබුණේ ශ්‍රී ලංකාව පැත්තේය.

‘අපි අවුට් වුණු විදිහ හරිම ඛේදජනකයි. එයාලා අටවපු උගුලේ අපි ලස්සනට අහුවුණා. ඔබට ආවේනික විදිහට පිතිහරඹයේ යෙදෙන්න පුළුවන් බව ඇත්ත. ඒක එහෙම වුණා කියලා පවතින තත්ත්වය තේරුම් නොගෙන පිත්ත හැසිරවීමට ඔබට ලයිසන් දීලා නෑ. ප්‍රතිවාදීන් කරන්න හදන්නේ මොකක්ද කියලා ඔබට අවබෝධයක් තිබිය යුතුයි.’ ශ්‍රී ලංකා පිලේ පුහුණුකරුවා මාධ්‍ය හමුවේදී එක දිගට ශ්‍රී ලංකා පිලේ පිතිකරුවන්ගේ පතුරු හැරියේය.

ඔහු කියන විදිහට ශ්‍රී ලංකා පිලේ පුහුණුකරුවකු ලෙස වසර 2010ට පෙර ඔහු කටයුතු කළ අවධියේ මෙවැන්නක් අත්විඳ නොමැත.

‘ක්‍රීඩකයන් දැන් හරි බුද්ධිමත්. පන්දු යවන්නන්ට වැඩිපුර ඕවර යැවීමට අවස්ථා නොදී කාලය නාස්ති කරන්න සපත්තුවේ ලේස් පටි නැවත නැවත ගලවා තද කරනවා වගේ සරල දේවල් අපි ඉගෙන ගත්තේ ඉස්කෝලේ ක්‍රිකට් ගහද්දී. අපි ක්‍රිකට් ගහද්දී අපි බොහෝදේ ඉගෙන ගන්නවා. අපිත් එක්ක ක්‍රීඩාවේ නිරතව සිටි අයගෙන්. පිතිකරුවාගේ ඉවසීම පරීක්ෂා කරන්න තණතීරුවේ යම් යම් ස්ථාන වලට පන්දුව අතහැරීම වගේ දේවල්.’ හතුරුසිංහ පැහැදිලි කළේය.

පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත පිලේ මුල්පෙළ පිතිකරුවන් 5ක්ම ලකුණු 103ක් ඇතුළත ක්‍රීඩාගාරයේ අසුන් ගැනීමට ශ්‍රී ලංකා පිලේ පන්දු යවන්නන් සමත්වෙද්දී කවුරුත් සිතුවේ තරගය දිනන්නේ ශ්‍රී ලංකා පිල බවය. එහෙත් ඉන් අනතුරුව පසුපෙළ පිතිකරුවන් සහ සිය මංගල ටෙස්ට් ඉනිම ක්‍රීඩා කළ බෙන් ෆෝක්ස් එංගලන්ත පිල ගොඩ දැමුවේ ලකුණු 342ක්ම රැස් කරමිනි.

ශ්‍රී ලංකා පිල පළමු ඉනිමේදී රැස් කළේ ලකුණු 203ක් පමණි. දෙවැනි ඉනිම සිවුවැනි දිනයේදී ශ්‍රී ලංකා පිලේ පරාජයෙන් නිමාවට පත්වූයේ ලකුණු 205කටය.

නරඹන්නන් හත්දහසකට පමණ ඉඩ ඇතැයි කියන ගාල්ල ක්‍රීඩාංගණයේ පළමු දිනයේදීම ටිකට් පත් සියල්ල අලෙවිවී අවසන් විය. ඉන් වැඩිම නරඹන්නන් පිරිස එංගලන්ත ක්‍රීඩාලෝලීන්ය. ශ්‍රී ලංකා ක්‍රීඩාලෝලින් සිටියේ ස්වල්ප ප්‍රමාණයකි. එබැවින් වැඩි දෙනකුට දැනුණේ එංගලන්තයේ ක්‍රීඩාංගණයක පැවැත්වෙන තරගයක් නරඹන බවකි. වෙනදාට ශ්‍රී ලංකා පිලේ කඩුලු බිඳ වැටෙද්දී දැඩි නිහඬතාවක් පැතිරී යන ගාලු පිටියේ මේ තරගයේදී සිදුවූයේ එහි අනික් පැත්තය. පළමු ඉනිමේ දී ශ්‍රී ලංකා පිලේ පිතිකරුවන් එංගලන්ත පිලේ පන්දු යවන්නන්ගේ උගුලට අසුවී දැවී යද්දී පිටිය පුරා අත්පොලොසන් හඬ පැතිරී යන තරමට ක්‍රීඩාලෝලීන්ගේ බහුතරය ‘සුද්දෝ’ වූහ. ඔවුහු ගාලු ක්‍රීඩාංගණය පමණක් නොව කොටු පවුරත් ආක්‍රමණය කළහ.

 


නව අදහස දක්වන්න