පොදු සන්ධානයක් හදන්න අගමැති මහින්ද පොහොට්ටුවට | දිනමිණ

පොදු සන්ධානයක් හදන්න අගමැති මහින්ද පොහොට්ටුවට

මහින්ද අලුත්ගෙදර
අගමැති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ඊයේ (11) ලබා ගත්තේය. කොළඹ, විජේරාම මාවතේ පිහිටි ඒ මහතාගේ නිල නිවෙසේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා අතින් එම පක්ෂයේ සාමාජිකත්වය ලබාගත් අයුරු. ඡායාරූපය-අගමැති මාධ්‍ය ඒකකය

අගමැති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගෙන තිබේ.

මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජික්ත්වය ලබාගැනීම ඒ අවස්ථාවේදී සිදුවූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහන් කරයි.

කොළඹ, විජේරාම මාවතේ පිහිටි මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසේ දී ඒ මහතා ඇතුළු කණ්ඩායම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගෙන තිබෙන අතර එම අවස්ථාවට පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

1970 වසරේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් බෙලිඅත්ත ආසනයෙන් ප්‍රථම වරට පාර්ලිමේන්තුවට තේරී පත්වූ අතර එවකට 24 වෙනි වියේ පසු වූ මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ සිටි ලාබාලතම සාමාජිකයා විය.

ඒ මහතාගේ පියා වන ඩී. ඒ. රාජපක්ෂ මහතා ද 1947 සිට 1965 දක්වා එම අසුනම නියෝජනය කිරීම විශේෂත්වයකි. 1977 දී එක්සත් ජාතික පක්ෂය ලැබූ ජයග්‍රහණයත් සමඟ මහින්ද රාජපක්ෂ මහතා ට තම පාර්ලිමේන්තු අසුන අහිමි වූ නමුත් 1989 දී සමානුපාතික නියෝජනය යටතේ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් නැවත වතාවක් පාර්ලිමේන්තුවට තේරී පත්විය. තම දේශපාලන දිවිය ආරම්භයේ දී ම වමේ හා අතරමැද දේශපාලන රටාවක් තෝරාගත් රාජපක්ෂ මහතා කම්කරු අයිතිවාසිකම් හා මිනිස් අයිතිවාසිකම් සම්බන්ධයෙන් තමා විශිෂ්ටයකු බව පෙන්වා දුන්නේ ය.

ඔහු මානව අයිතිවාසිකම් සම්බන්ධයෙන් කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර ආදර්ශමත් චරිතයක් වූ අතර නායකයෙකු වශයෙන් කීර්තියක් උසුලනු ලැබූ එතුමා 1988-1990 කාලයේ දී අතුරුදන්වූවන්ගේ මව්වරුන් විසින් අරඹන ලද මව්වරුන්ගේ පෙරමුණ නියෝජනය කළ මනෝරානි සරවනමුත්තු සමඟින් එක්ව කටයුතු කළේය. ඉන්දියාවේ කල්කටා “විශ්ව භාරති” සරසවිය මඟින් රාජපක්ෂ මහතාට මානව අයිතිවාසිකම් සුරැකීමේ කටයුතු වෙනුවෙන් සම්මාන ආචාර්ය පදවියක් ද ප්‍රදානය කරන ලදී.

පසුගිය වසර 25 මුළුල්ලේ ම පලස්තීනය හා ශ්‍රී ලංකාව අතර සාමූහිකත්ව කමිටුවේ සභාපති වන මහින්ද රාජපක්ෂ මහතා මැද පෙරදිග ප්‍රශ්නය විසඳීම සඳහා පලස්තීනයට හැකි සෑම සහයෝගයක් ම ලබාදීමට කටයුතු කළේය. වර්ෂ 1994 සිට 2001 දක්වා චන්ද්‍රිකා කුමාරතුංග රජයේ කම්කරු හා ධීවර කටයුතු පිළිබඳ කැබිනට් අමාත්‍යවරයා වූ රාජපක්ෂ මහතා එම අවධියේ දී සාගර කටයුතු පිළිබඳ විශ්ව විද්‍යාලයක් ආරම්භ කළ අතර වෙරළ ආරක්ෂණ අංශයක් ද ස්ථාපිත කළේය.

කම්කරු කැබිනට් අමාත්‍යවරයා ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට කම්කරු ප්‍රඥප්තියක් කෙටුම්පත් කොට ඉදිරිපත් කළද කුමාරතුංග මහත්මියගේ රජය යටතේ එය ක්‍රියාත්මක නොවිණි. මීට අමතරව මාස තුනක පමණ කාලයක් වරාය හා නාවික කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ එතුමා හම්බන්තොට නව වරායක් ඉදිකිරීම සඳහා ක්‍රියාකරන ලදී. 2002 වසරේ මාර්තු මාසයේ දී මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායකවරයා ලෙස තෝරා පත්කෙරිණි.

2004 අප්‍රේල් මාසයේ දී පැවති මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව 2004 අප්‍රේල් 06 වන දින එවකට​ ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය විසින් ශ්‍රී ලංකාවේ 13 වන අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත්කරන ලදී.

2005 නොවැම්බර් මස 17 වන දින පවත්වන ලද ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ලෙස තෝරාගත් රාජපක්ෂ මහතාගේ අපේක්ෂකත්වය දේශපාලන පක්ෂ 25ක් හා විවිධ ජනතා සංවිධාන විසින් ද පිළිගන්නා ලදී. බහුතර ජනතාවගේ අනුමැතියෙන් ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ මහින්ද රාජපක්ෂ මහතා 2005 නොවැම්බර් 19 වන දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 5 වන විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නේය. 2009 වසරේ දී ම්ලේච්ඡ කොටි ත්‍ර‍ස්තවාදය සහමුලින්ම අවසන් කර ශ්‍රී ලංකාවට නියම නිදහසක් ගෙනඒමට ඒ මහතා කටයුතු කිරීම ඓතිහාසික සිදුවීමක් විය.

 

නව අදහස දක්වන්න