රනිල් ප්‍රමුඛ එජාපය සුදු මහත්වරු ළඟ හඬා වැටෙනවා | දිනමිණ

රනිල් ප්‍රමුඛ එජාපය සුදු මහත්වරු ළඟ හඬා වැටෙනවා

 ‘එළිය’ විද්වත් හමුවේ දී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය කියයි

මැතිවරණ තියනවට විරුද්ධව උසාවි යන්න සූදානම් වන රනිල් ප්‍රමුඛ එජාපය සුදු මහත්වරු ළඟ තානාපති කාර්යාල ළඟ හඬාවැටෙමින් සිටින බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරයි.

ඒ මහතා මේ බැව් සඳහන් කළේ කළුතර පැනොරාමා හෝට‍ලයේදී 12 දා පැවැති ‘එළිය’ විද්වත් හමුවට එක්වෙමිනි.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය.

අද බටහිර රටවල් සහ විදේශීය මාධ්‍ය රටේ ප්‍රජාතන්ත්‍රවාදය නතර වූ බව කියමින් විශාල ආන්දෝලනයක් කරනවා. රට පාලනය කිරීමට නොහැකි තත්ත්වයට පත්වූ විට මහජනයා වෙත ගොස් නව රජයක් තෝරාගැනීමට මහජනයාට ඉඩ සලසාදීම මේ අය ප්‍රජාතන්ත්‍ර විරෝධී යැයි කියනවා. ‘ප්‍රජාතන්ත්‍රවාදය’ කියන වචනයේ අර්ථය පවා වෙනස් කිරීමට හදනවා.

එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා තනතුරෙන් ඉවත් කළ අවස්ථාවේ 2/3 බලයක් තිබූ රජයේ ඇමැතිවරු මාරු කර මන්ත්‍රී ආසන 47 ක් පමණක් තිබූ පුද්ගලයාව අගමැති කළා. මේ අයට අනුව එදා කළ දේ ප්‍රජාතන්ත්‍රවාදයට එකඟයි.

රට ත්‍රස්තවාදයෙන් මුදාගත්තු රට සංවර්ධනය කළ නායකයා පිළිබඳව සුළු ජාතීන් අතර වැරැදි මතයක් ඇති කර යහපාලන ආණ්ඩුව හැදුවේ අපි නොවෙයි ඒ අයමයි.

ඒ යහපාලන ආණ්ඩුව රටේ ආර්ථිකය විනාශ කරද්දී රටේ ස්වෛරීභාවයට හානි කරද්දි රට බෙදන ව්‍යවස්ථාව ගෙන එද්දී වසර ගණන් ඡන්ද නොතබා සිටියදී ඒවා ව්‍යවස්ථාවට එකඟයි.

ඒ අයම ඇති කළ යහපාලන රජය තුළ අද අර්බුද ඇති වෙලා. ජනාධිපතිවරයා හා හිටපු අගමැතිවරයා අතර මතභේද, ප්‍රතිපත්ති අතර මතභේද ඇතිවෙලා. මේ අර්බුදකාරී අවස්ථාවේදී ජනාධිපතිතුමාගේ ආරාධනය පරිදි මහින්ද රාජපක්ෂ මහතා යළි රට භාර ගත්තා. කථානායකවරයා වෙනස් විදියට වැඩ කරද්දී වෙන කරන්නට දෙයක් ඉතිරිවී තිබ‍ුණේ නැහැ.

තමන්ගේ අවශ්‍යතා ඉටුකරගන්නට නොහැකිවූ අය ජනතා ඡන්දයෙන් නව පාලනයක් බිහිකරගන්නට උත්සාහ කරන වෙලාවේ මේ තත්ත්වය ප්‍රජාතන්ත්‍ර විරෝධී බව කියමින් විශාල විරෝධයක් ජාත්‍යන්තරය තුළ ඇතිකරන්නට හදනවා. ඡන්ද තියනවාට විරුද්ධව උසාවි යන්න හදනවා. සුදු මහත්වරු ළඟ හඬ වැටෙනවා.

මේ අය වසර හතරකට ආසන්න කාලයක් රටේ ස්වෛරීභාවයට හානි කළා. රටේ ආර්ථිකය කඩාදැමුවා. සංවර්ධනය නතර කළා. රටේ දේපළ විදේශවලට විකුණුවා. තවත් විකිණීමට සැලසුම් කර තිබෙනවා. ඒ නිසා ඡන්දයකට ජනතාව අතරට ගියවිට අත්වන ඉරණම හොඳාකාරවම දන්නා නිසා එය වළක්වා ගැනීමට උත්සාහ කරනවා.

මේ යහපාලන රජය පිහිටුවා වැඩි කාලයක් ගතවන්නට පෙර පළාත් පාලන මැතිවරණයේදී ජනතාව මහින්ද රාජපක්ෂ මහතා වටා එකතු වූයේ තමාට වරදක් සිදුවූ බව සිහිගන්වමිනි.

දැන් යළිත් 2/3 කට වැඩි බලයක් සහිත රජයක් පිහිටුවීම සඳහා මහින්ද රාජපක්ෂ මහතාට බලය ලබාදීමට ජනතාවට අවස්ථාව උදාවී තිබෙනවා. ඒ සඳහා තම ප්‍රදේශයෙන් නියෝජිතයන් පත්කිරීමේ අවස්ථාව ජනතාවට ලැබී තිබෙනවා. ඒ අනුව සුදුසු පුද්ගයින්ව තෝරා පාර්ලිමේන්තුවට යැවිය යුතුයි.

විදේශීය අවශ්‍යතා ඉටුකිරීම සඳහා එදා සැලසුම් සකස් කළ මොවුන් බොරු ප්‍රචාර ගෙන ගොස් ජාතීන් භේදභින්න කර අප ලැබූ ජයග්‍රහණය පරාජය කළා. රටට ආදරය කරන අපේකම දන්නා දේශීය ව්‍යාපාර හා කර්මාන්ත ආරක්ෂා කරන ගොවියා හා ධීවරයා ආරක්ෂා කරන රජයක් බිහිකර ගැනීමේ අවස්ථාව අද ජනතාවට ලැබී තිබෙනවා.

එදා යුද්ධය ජයග්‍රහණය කර ගැනීම සඳහා ආරක්ෂක හමුදාව විශාල ලෙස වැඩි කිරීමට අපට සිදුවුණා. ඉන් රටේ ආර්ථිකයට බලපෑමක් සිදුවූවත් ඒ අතරේදිත් පොහොර සහනාධාරය පවා ලබාදී රට සහලින් ස්වයංපෝෂිත කළා.

රටේ ඉතිහාසය තුළ කවදාවත් නොතිබූ අධිවේගී මාර්ග හැදුවා. වරායන් හා ගුවන්තොටුපොළ හැදුවා. ඒවා ලාභ ලබන තත්ත්වයට ගෙන එන සැලසුම් අපට තිබුණා. එසේ තිබියදී වරාය 99 වසරකට චීනයට දුන්නා.

මේ අය ණය උගුලක් ගැන හැමදාම කතා කරනවා. අප වරායට ණය වී තිබුණේ ඩොලර් බිලියන 1.3 යි. එහි පළමු වාරිකය අපි ගෙව්වා. ඔවුන් රජයේ සේවකයන්ට වැඩි කළ රුපියල් දහ දාහේ වැටුප් ගෙවන්නත් ඩොලර් බිලියන 1.3 ක් වැය කරනවා.

ඉතා වැදගත් ආර්ථික මර්මස්ථානයක් ඔවුන් චීනයට ලබාදුන්නා. ඒ වගේ විවිද අදූරදර්ශී ක්‍රිය කළා. බලයට ඒම සඳහා මොවුන් විවිධ රටවලට විවිධ පොරොන්දු දී තිබුණා.

චීන රජය හා සම්බන්ධව අප කරගෙන ගිය සංවර්ධන ව්‍යාපෘති වසර 2 ½ කට මොවුන් නතර කළා. මෙවැනි අදූරදර්ශී ක්‍රියා නිසා රටේ ආර්ථිකය කඩා වැටුණා. ඉදිකිරීම් ක්ෂේත්‍රය කඩා වැටුණා. අද ගාලුමුවදොර ඉදිවන සියලු සංවර්ධන කටයුතු ආරම්භ කළේ අප රජය කාලයේයි. ඒවා අද යන්නේ මන්දගාමීවයි. රටට ආයෝජකයන් ආවේ නැහැ. රටට මේ තරම් දුෂ්කරතාවයට මුහුණදීමට සිදුවූයේ මොවුන්ගේ අදූරදර්ශී ක්‍රියා නිසයි.

අප එදා ‘වියත් මඟ’ හැදුවා. අධ්‍යාපනය, ආර්ථිකය, සංස්කෘතිය, කෘෂිකර්මාන්තය, කුඩා කර්මාන්ත දියුණු කිරීම සඳහා ඒ ඒ ක්ෂේත්‍රවල විද්වතුන්ගේ අදහස් අනුව සැලසුම් සකස් කළා. ඉදිරි රජයක් යටතේ ක්‍රියාත්මක කළ හැකි වැඩපිළිවෙළක් අපට තිබෙනවා.

කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතා -

අප මේ කළුතර ‘එළිය’ වැඩසටහන සංවිධානය කළේ රටේ මේ වගේ වාතාවරණයක් තිබූ අවස්ථාවක නොවෙයි. දේශපාලන වශයෙන් අද රට හැරවුම් ලක්ෂයකට පැමිණ තිබෙනවා.

අද රටේ වැඩිපුර ඉන්නේ කතා කරන අය. අද රටට අවශ්‍ය කතා කරන අයට වඩා වැඩ කරන අය. ඒ අතර ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියෙන්ම සිටිනවා. අද මහින්ද රාජපක්ෂ මහතා පෙරටුකරගෙන යන ගමනේදී ඔබතුමාගේ මෙහෙවර ආණ්ඩු පෙරළියකට හේතුවුණා.

ආණ්ඩුව වෙනස් කළ බවට ගැසට් නිවේදන නිකුත් කර තිබුණද රටේ ජනමතය වෙනස්වී තිබුණද මන්ත්‍රීවරු වෙන්දේසි භාණ්ඩ බවට පත්වෙමින් තිබුණා. පාර්ලිමේන්තුව නිමා කිරීමට සිදුවූයේ ඒ තත්ත්වය වෙනස් කරන්නයි.

වෙන්දේසි භාණ්ඩ වෙනුවට රටට ජනතාවට ආදරය කරන ජනතා අයිතිය සුරකින මහජන නියෝජිතයන් පත්කරගැනීමේ අයිතිය ජනවාරි 05 වැනිදා රටේ ජනතාවට හිමිවෙනවා. මහින්ද රාජපක්ෂ මහතා සමඟ සිට ගැනීමේ අවස්ථාව කළුතර නගරයේ ‘එළිය’ තුළින් ආරම්භ කිරීමට හැකිවීම ගැන මා සතුටු වෙනවා.

කරුමෙකට තමයි උරුම හම්බවෙන්නේ කියල ගමේ කතාවක් තිබෙනවා. අපි ඒ වෙනුවෙන් යමක් කළා. ඒ සියල්ලටම අපි එඩිතර වූයේ මහින්ද රාජපක්ෂ මහතා නිසයි. ඒ අතරේ අපගේ සහයට සෑමවිටම සෙන්පතියෙකු සිටියා. ඒ ගෝඨාභය රාජපක්ෂ මහතායි.

මහාචාර්ය චන්න ජයසුමන මහතා -

රටට එරෙහිව ගෙන ඒමට උත්සහ කළ ව්‍යවස්ථා ක්‍රියාවලිය මේ වෙනසත් සමඟ නතර වුණා.

එදා සිංගප්පූරුවේදී යෝජනා 10ක් ඉදිරිපත් වුණා. එහි ක්‍රියාවලියේ හැටියට 2015 දී දේශපාලන වෙනස සිදුවුණා. ව්‍යවස්ථා සම්පාදන කමිටුවේ මෙහෙයුම් කමිටුවේ නායකයා වූයේ රනිල්, සම සභාපතිවරුන් වූයේ සුමන්තිරන් සහ ජයන්ත වික්‍රමරත්නයි.

ලාල් විජේනායක මහතාගේ ප්‍රධානත්වයෙන් 19 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් මහජන අදහස් විමසුවා. විද්වතුන් යැයි කියාගන්නා අය මෙහෙමත් වැඩ කරනවාදැයි අපට සිතාගන්නටවත් බැරි වුණා. බුද්ධාගමට ප්‍රමුඛස්ථානය නොදීම ජාතික ගීය හා ජාතික කොඩිය වෙනස් කිරීම ආදී වශයෙන් මේ අය නිර්දේශ කර තිබුණා.

ජිනීවා මානවහිමිකම් කවුන්සිලයට විදේශ ඇමැති ලෙස ගිය මංගල සමරවීර මහතා රටට අහිතකර යෝජනාවලට එකඟ වුණා. රටේ ඒකීයභාවය වෙනස් කිරීමට මොවුන් උත්සහ කරනවා.

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මාධවී හේරත් මිය -

අපේ පාලකයන් ජනතාවගේ හැඟීම් හා ආදරය විශ්වාස නොකළත් ජාත්‍යන්තරය විශ්වාස කළා. ජනතාවගේ ආර්ථික අමාරුකම් ගැන පසුගිය රජය මොනවද හිතුවේ? මා දන්නා ආර්ථික විද්‍යාව අනුව කිසිම් න්‍යායකට මිල සූත්‍රය හසුවන්නේ නැහැ. ජනතාවගේ සාක්කු හිස්වී තිබුණා.

මේ රටේ වැඩිම ආර්ථික වර්ධනය වාර්තා වූයේ 2012 දීයි. ඉතිහාසය පුරාවට එහෙම අගයක් තිබුණේ නැහැ. පසුගිය වසර කිහිපය තුළ එය කඩාවැටුණා. වංචා දූෂණ හෙළි කරනවා කියා බලයට ආ රජය මහා මංකොල්ලයක් සිදුකළා. ඉන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩාවැටුණා. පොලී අනුපාත ඉහළ ගියා. හැම භාණ්ඩයකටම බදු ගැහුවා. විදේශීය ආයෝජකයන් රටින් ගියා.

වසර 3 ½ ක් තුළ ආර්ථික ප්‍රතිපත්ති 9 ක් ඉදිරිපත් කළා. 3.1 දක්වා රටේ ආර්ථික වර්ධනය බැස්සා. රට නිෂ්පාදන ආර්ථිකයකින් බැහැරව ආනයන ආර්ථිකයක් බවට පත්වී තිබෙනවා.

මේජර් ‍ෙජනරාල් කමල් ගුණරත්න මහතා -

අනාගත පරපුර සතු රටේ දේපළ ජාත්‍යන්තරයට විකුණා බාල් නටන අය ඉවත් කර ජනතාවට ආදරය කරන අය පත්කර ගැනීමේ කාලය උදාවී තිබෙනවා.

ප්‍රභාකරන් මරා දැමුවාට පසුව එක ත්‍රස්තවාදී ක්‍රියාවක්වත් ර‍ෙට් ඇතිවෙලා නැහැ. වසර 30 ක් තුළ රටේ හැමදෙනාම මැරි මැරි ඉපදුණා. අපට යටත්වූ මරාගෙන මැරෙන කොටි ඇතුළු කොටි සාමාජිකයන් 12242 ක් අපි පුනරුත්ථාපනය කර සමාජයට මුදාහැර තිබෙනවා. ඒ කරන විදිය අපට කියාදෙන්න කවුරුවත් ආවේ නැහැ. අපට අපේ වැඩ කරගන්න පුළුවන්. අප රටේ අර්බුදයක් තියෙනවා නම් ඒක අපි අපිම විසඳාගත යුතුයි. ඒකට සුද්දෙකුගේ උපදෙස් ගන්න අවශ්‍ය නැහැ. රට බාල්දු කරමින් පිටරට තානාපතිවරුන්ට යාචකයින් ව‍ෙග් ආයාචනා කරන ටයි කෝට් දාගත් අයගේ තත්ත්වය අපට හිතාගන්න පුළුවන්.

ජාතික ආරක්ෂාව පිළිබඳ වැදගත් වන්නා වූ ගුවන්තොටුපොළවල් හා වරායන් යුද සමයේ අපට ජීවනාලිය වූ පලාලි ගවුන්තොටුපොළ හා කන්කසන්තුරයේ වරාය විදේශයනට විකුණා දැමීමට මේ අය සැලසුම් කළා. එදා ඉන්දියාවෙන් ඇවිත් උතුරට පරිප්පු හෙලනවිට මහා සෙන්පති ඩෙන්සිල් කොබ්බෑකඩුව හා විජය විමලරත්න යන මහත්වරු කර කියා ගත ‍හැක්කක් නැතිව බලා හිටියා. ක්‍රියාන්විතය නතර කළා. බටහිර ජාතින් අපව විශාල පීඩනයන්ට පත්කළා. රටට ආදරය කරන අය පත්කරගත යුතුයි.

මේ විද්වත් හමුව අමතා විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ හා නීතිඥ රුෂ්ඩි හබීබි යන මහත්ම මහත්මීන්ද කතා කළහ.

කළුතර දිස්ත්‍රික් හිටපු මන්ත්‍රී පියල් නිශාන්ත, බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරුන් වන නිමල් චන්ද්‍රරත්න හා ලලිත් එල්ලාවල, හිටපු පළාත් සභා මන්ත්‍රී විකුම් ගුණසේකර යන මහත්වරුන්ද කලාකරුවන්ද ඇතුළු විශාල පිරිසක් මීට එක්ව සිටියහ.

මහා සංඝරත්නය ඇතුළු සෙසු ආගමික පූජකවරුන්ද මේ අවස්ථාවට සහභාගි වූහ.

කළුතර මධ්‍යම සමූහ

නව අදහස දක්වන්න