රනිල් කැබිනට් එකෙත් කනෙන් රිංගුවා | දිනමිණ

රනිල් කැබිනට් එකෙත් කනෙන් රිංගුවා

ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ලෙස්ලි දේවේන්ද්‍ර

නව අගමැතිවරයකු පත් කිරීමට සහ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනපති ගත් තීරණය සම්බන්ධව ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය දරන අදහස පැහැදිලි කරමින් එම සංගමයේ ලේකම් ලෙස්ලි දේවේන්ද්‍ර එහා ඉවුරට එක් වේ. අලුත් වෙනසට සහය දෙන බවත් ශ්‍රීලනිපයට එජාපයට එකම මඟක දේශපාලන ගමනක් යා නොහැකි බවත් ඔහු පැහැදිලි කරයි.

බණ්ඩාරනායක මහත්තයා ආරම්භ කළ ශ්‍රීලනිපයට සම්බන්ධ පංචමහා බලවේගයේ එක් කොටසක් විදිහට තිබුණු ශ්‍රී.ල.නි සේවක සංගමය දැන් කටයුතු කරන්නේ අත සමඟ ද පොහොට්ටුව සමඟ ද නැත්නම් ස්වාධීනව ද?

1956 බණ්ඩාරනායක රජයේ එක් කොටසක් විදිහට, ශ්‍රී ලංකා නිදහස් සේවක සංගම් වෘත්තීය සමිතිය 1958දී ලියාපදිංචි කළා. සමගි පෙරමුණු ආණ්ඩුව තුළත්, එජාප ආණ්ඩු කාලයෙත් අපි වෘත්තීය සමිතියක් විදිහට කටයුතු කළා. එදා ඉඳලා අපේ සංගමය කටයුතු කළේ වාමාංශික ව්‍යාපාරයක් විදිහටයි. ජේ. ආර්, ප්‍රේමදාස ආණ්ඩුවලින් නොසෑහෙන්න බැට කාපු අපේ වෘත්තීය සමිතිය කිසිම අවස්ථාවක පස්සට ගියේ නෑ.

2015 වෙනකල්ම අපේ ස්ථාවරය වෙනස් කළේ නෑ. 2015න් පස්සේ, එජාපය හා සම්බන්ධ හවුල් ආණ්ඩුවත් එක්ක වැඩ කරන්න අපිට සිදුවුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අනුබද්ධ වෘත්තීය සමිතියක් විදිහට අපි ආණ්ඩුව ඇතුළේ විශාල අරගලයක් කළා. එජාපයත් එක්ක ශ්‍රීලනිපයට එකට ගමනක් යන්න බෑ කියලා අපි හැමදාම කිව්වා. ඒ නිසා අපි විපක්ෂයට ගියත් කමක් නෑ, ආණ්ඩුවෙන් ඉවත් විය යුතුය කියන තර්කය ගෙනාවා. ඒත්, ඊට ඉඩක් ලැබුණේ නෑ. හවුල් ආණ්ඩුවත් එක්ක තවදුරටත් යන්න බැරි නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වෙලා ස්වාධීන වෘත්තීය සමිතියක් විදිහට කටයුතු කරන්න අපි තීරණය කළා.

වෘත්තීය සමිතිය ස්වාධීන වුණේ, හවුල් ආණ්ඩුවෙන් ඉවත් විය යුතුයි කියන කොන්දේසිය මත නම්, අද ඒ ඉල්ලීම ඉටුවෙලා තියෙනවා ද?

පැවැති ආණ්ඩුවෙන් මන්ත්‍රීවරු, ඇමැතිවරු ඉවත් වෙන්න කලින් අපි වෘත්තීය සමිතියක් විදිහට රජයට අනතුරු ඇඟවීමක් කළා. එජාපයත් එක්ක තවදුරටත් ඉදිරි ගමනක් යන්න බැරි බව අපි කිව්වා. එජාපය කරන වැඩවල කුණු අපේ කරමත පැටවෙන්න කලින් අපි ආණ්ඩුවෙන් ඉවත් වෙන්න ඕන කියන මතය අපිට තිබුණා. අද මහින්ද රාජපක්ෂ මහත්තයා අගමැතිවරයා වෙලා ඉන්නවා. එජාපයේ ප්‍රතිපත්ති රටට ගැලපෙන්නෙ නැති නිසා එතුමා ආයෙත් රට හදන්න ආවා. අද පැවැති ආණ්ඩුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය ඉවත් වෙලා තියෙනවා. ඒ නිසා අපිට පවතින ආණ්ඩුවත් එක්ක එකට වැඩ කරන්න කිසිම බාධාවක් නෑ.

වත්මන් අගමැතිවරයාට සහය පළ කරන්න වෘත්තීය සංගම් සහ දේශපාලන පක්ෂ කොළඹට කැඳවීම ගැන මොකද කියන්නේ?

අනිවාර්යයෙන්ම වත්මන් අගමැතිවරයාට විතරක් නෙවෙයි, ජනාධිපතිවරයාටත් ඔවුන්ගේ දේශපාලන දැක්මටත් අපේ සහයෝගය දෙනවා. ශ්‍රීලනිපය හා පොදුජන පෙරමුණ එකතු වෙලා අනෙකුත් වාමාංශික පක්ෂ ටිකත් එකතු කරගෙනයි අපි රජයට සහය පළ කරන්නේ. ලංකාවේ තියෙන ප්‍රධානම වෘත්තීය සමිති බලවේගය විදිහට ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය මෙතැනදී මූලිකත්වය ගත්තා වගේ, ඉදිරියේ දී නායක දෙපළගේ ගමන් මඟට අවශ්‍ය ඕනෑම වෙලාවක සහය දෙනවා.

ශ්‍රී.ල.නි.ප වෘත්තීය සමිතියත් පොදුජන පෙරමුණු වෘත්තීය සමිතියත් කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේම සාමාජිකත්වයෙන් ගොඩනැඟුණු වෘත්තීය සමිති දෙකක්. ඉදිරියේ දී මේ කණ්ඩායම් දෙක එකම මාර්ගයක යයි ද?

අද අපිට කිසිම ප්‍රශ්නයක් නෑ, පොදුජන පෙරමුණ කියන්නෙත් අපේම පක්ෂයේ සාමාජික පිරිසක්. අපි හැමෝම එකට හිටපු සාමාජිකයෝ. මහින්ද රාජපක්ෂ මහත්තයා එක්ක පිරිසක් හිටගත්තා. තවත් පිරිසක් මෛත්‍රී මහත්තයා එක්ක හිටගත්තා. මහින්ද මහත්තයාටයි, මෛත්‍රී මහත්තයාටයි එකට හිටගන්න පුළුවන් නම්, කම්කරු පන්තිය විදිහට අපිට එකට හිට ගන්න බැරිකමක් නෑ. ජනාධිපතිතුමාටත්, අගමැතිතුමාටත් වඩා අපිට එකට ඉන්න පුළුවන්. අපි එකම පන්තියේ මිනිස්සු, එකම වැඩපළේ එකට වැඩ කරන මිනිස්සු. පන්තිමය වශයෙන් අපේ බේද නෑ. රටේ තිබුණු දේශපාලන තත්ත්වය නිසා වෘත්තීය සමිති බෙදෙන එක සාධාරණයි. ඒත් දැන් අපිට එකට ගමනක් යන්න පුළුවන්. අපි එකට වැඩ කළ යුතුයි කියලා පොදුජන පෙරමුණට විවෘත ආරාධනයක් කරනවා. වෙන් වෙන්ව හිටියත් ක්‍රියාකාරකම්වලදී අපි එකට වැඩ කරනවා.

හිටපු අගමැතිවරයා අරලියගහ මන්දිරයට සියලුම වෘත්තීය සමිති නායකයෝ ගෙන්වලා සහය ඉල්ලුවා. ජනපතිවරයාට හෝ අගමැතිවරයාට එවැනි වුවමනාවක් නැද්ද?

දින කීපයකට කලින් ජනාධිපතිතුමා අපේ සියලුම වෘත්තීය සමිති කැඳෙව්වා. එතුමාට අපි සියලු දෙනාම සහය දෙනවා කියලා, එතුමා ඉල්ලන්නත් කලින් අපි කිව්වා. මේ වෙලාවේ සාමය රකින්න කියලා එතුමා අපිට කිව්වා. මේ ලැබුණ ජයග්‍රහණය සාමයෙන් සමඟියෙන් සමරන්න කියලත් එතුමා අපිට කිව්වා. කලබල නොකර, කම්කරු පන්තිය සන්සුන් කරගෙන විදෙස් රටවලට යන වැරැදි පණිවුඩ ගැන අවබෝධයෙන් ඉන්න කියලත් එතුමා කිව්වා. වමත් එක්ක එකතුවෙන එක අපේ යුතුකම. ඒක අපෙන් කවුරුත් ඉල්ලන්න අවශ්‍ය නෑ. අපේ දේශපාලන දර්ශනය වාමාංශික ව්‍යාපාරයට ශක්තියක් වෙන එක. ඒක අපේ යුතුකමක්. පසුගිය සඳුදා අපි හැමෝම පාරට බැහැලා වාමාංශික ව්‍යාපාරයේ ශක්තිය එජාපයට පෙන්නුවා. දැන්, මේ රටේ ශක්තිමත් දේශපාලන ව්‍යාපාරය මොකක් ද කියලා ඒ අයට පේනවා ඇති.

පක්ෂයේ ප්‍රතිපත්ති අනුව නොයන නායකයෝ ඉන්නෙ එජාපයේ විතර ද?

එදා ජේ. ආර් ගේ ප්‍රතිපත්තියට එහා ගමනක් රනිල් වික්‍රමසිංහ මහත්තයා ගියා. ජේ. ආර් ජයවර්ධන මැතිතුමා විවෘත ආර්ථිකය ගෙනාවට, රටේ කෑලි විකුණුවේ නෑ. එතුමා වමට, ඔළුව උස්සන්න දෙන්නෙ නැතිව, දැඩි පාලනයක් අරගෙන ගිහින් බොරු චෝදනා දාලා මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කළා. ඒකාධිපතියෙක් විදිහට වැඩ කළා. ඒත් රට විකුණන ප්‍රතිපත්තියක් තිබුණේ නෑ. රනිල් වික්‍රමසිංහ මහත්තයා කරන දේවල් කැබිනට් මණ්ඩලය දන්නෙත් නෑ, ආණ්ඩුව දන්නෙත් නෑ. එක එක රටවලට ගිහිල්ලා මොනවා හරි විකුණලා එනවා. කොළඹ වරායේ නැඟෙනහිර පර්යන්තය ඉන්දියාවට දෙන්න ගියා.

ඒවා එතුමගෙ පක්ෂයේ අය දන්නෙත් නෑ. මැතිනියගේ ප්‍රතිපත්තිය ගත්තොත්, එතුමිය තමයි මේ රටට ශක්තිමත් රාජ්‍ය අංශයක් බිහි කළේ. ඇය තමයි මේ රට ඉදිරියට ගෙනියන්න අවශ්‍ය පසුබිම හැදුවේ. එතුමියම ගෙනාපු අණ පනත්වලින් එතුමියගේම ඉඩකඩම් පවා රජයට පවරා දුන්නා. එහෙම නායකයෝ හිටපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අද ඉන්නෙත් රට බේරාගන්න, රට ආරක්ෂා කරන නායකයෝ. දේශීය කෘෂිකර්මාන්තය ගොඩනඟන, දේශීය ආර්ථිකයක් ගොඩනඟන වැඩපිළිවෙළේ ශ්‍රීලනිපය එදා ඉඳලා තියෙනවා. නමුත්, එජාපය ඊට හාත්පසින් වෙනස් ගමන් යනවා. ඒ නිසා තමයි අපි 2015 හවුල් ආණ්ඩුව සාර්ථක වෙන්නෙ නෑ කිව්වේ. අද අපි එජාපය අතැරලා අපේ පක්ෂ එකතුකරගෙන ආයෙත් එකට ගමනක් යනවා.

මහින්ද රාජපක්ෂ මහත්තයා පරාජය කළ පිරිසම යළි එතුමා බලයට ගෙනාවා. ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර යළි අර්බුද ඇති වීමේ ඉඩක් තියෙන්න පුළුවන් ද?

කිසිසේත් එවැනි අර්බුදයක් යළි ගොඩනැඟෙන්නෙ නෑ. රටට අවශ්‍ය පාලනය කුමක් ද කියලා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා දන්නවා. එතුමාගේ අවබෝධය නිසා තමයි ත්‍රස්ත කල්ලියක් මුලිනුපුටා දැමූ ලෝකයේ එකම නායකයා තමන්ගේ අගමැතිවරයා විදිහට පත් කළේ. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ දැක්ම ගැන මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරයා හොඳින් දන්නවා. එතුමාට මේ රට සංවර්ධනය කරන්න රනිල් වික්‍රමසිංහ මහත්තයාට වඩා සිය දහස් ගුණයකින් පුළුවන් කියලා කවුරුත් දන්නවා. ඒ නිසා කවුරු කවුරුත් කළ කී දේවලින් අත්දැකීම් ලබලා තියෙනවා. ඉදිරියේ දී යහපත් රාජ්‍ය පාලනයක් වගේම, රටේ සංවර්ධනය වේගවත් වෙයි කියලා අපිට සියයට දෙසීයක විශ්වාසයකින් කියන්න පුළුවන්.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ව්‍යවස්ථා විරෝධී යැයි විරුද්ධ දේශපාලන මතධාරීන් පෙන්වා දෙනවා?

මම නීති විශාරදයෙක් නම් නෙවෙයි. නමුත්, ඒ ගැන ප්‍රශ්නයක් තියෙනවා නම් ශ්‍රේෂ්ඨාධිකරණය විසඳලා දෙයි. ව්‍යවස්ථාවේ 70 වගන්තියේ තියෙනවා වසර හතර හමාරක් යනතුරු පාර්ලිමේන්තුව විසුරුවන්න බෑ කියලා කොන්දේසියක්. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීමට විසුරුවන්න පුළුවන් කියලත් තියෙනවා. 19 ව්‍යවස්ථාවේ 33 (2) වගන්තියේ තියෙනවා ජනපති බලතල යටතේ පාර්ලිමේන්තුව කල්තැබීමේ, විසුරුවා හැරීම, කැඳවීම බලය ගැන. මේ අය තර්ක කරන්නේ ඒ ගැන.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා අධිකරණයට යන්නේ යැයි එජාපය කියනවා?

මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට තියෙන රාජකාරිය අනුව, ජනාධිපතිවරයා මැතිවරණය කැඳවීම අනුව මැතිවරණයට සූදානම් වෙන්න ඕන. මැතිවරණය ගැන නීති ප්‍රශ්නයක් තියෙනවා නම්, ඕනෑම කෙනකුට අධිකරණයට යන්න පුළුවන්. කොතැන හරි නීති ප්‍රශ්නයක් තියෙනවා නම් අධිකරණය, එවැනි දෝෂ අර්ථකථනය කරනවා. අද කවුරු මොනවා කිව්වත්, මේ රටේ මහජනතාවට ස්ථාවර ආණ්ඩුවක අවශ්‍යතාව තියෙනවා. පාර්ලිමේන්තුවට ගිය කිහිප දෙනකුට ව්‍යවස්ථාවක් හදාගන්න පුළුවන්. ඒ ව්‍යවස්ථාව ජනමත විචාරයකින් හදාගත්තු එකක් නෙවෙයි. තිබුණ ආණ්ඩුව එපා කියලා ජනතාව කියනවා නම් ඔවුන්ම අලුත් ආණ්ඩුවක් ඕන කියනවා නම්, පාර්ලිමේන්තුවටත් ඒ ප්‍රශ්නය විසඳන්න බැරි නම්, මැතිවරණයට ගිහින් ජනවරම උරගා බැලීම තමයි කරන්න තියෙන්නෙ. වෙනත් කරන්න දෙයක් ජනාධිපතිවරයාට නෑ.

දුමින්ද අලුත්ගෙදර
ඡායාරූප - සරත් පීරිස්.

නව අදහස දක්වන්න