පෙත්සම! | දිනමිණ

පෙත්සම!

ජින්‍ පෝල් සාත්‍රේ වරක් මෙසේ කියා තිබේ. පුද්ගලයකුගේ වටිනාකම තීන්දු කළ හැක්කේ ඔහුගේ සාක්කුවේ ඇති මුදලට අනුව නොවේ. පුද්ගලයාගේ මුළු වටිනාකම තීන්දු කළ හැක්කේ ඔහුට අනාගතයේ ලැබීමට නියමිත මුදලේ එකතුවක් ද සමඟ ය. විවිධ නායකයන්, චරිත, පදවි, තනතුරු සතු වටිනාකම හා බලය තීන්දු කළ හැක්කේ බුද්ධිමය හා තර්කානුකූල ක්‍රමවේදයක් ඔස්සේ බව සාත්‍රේගේ කියමනෙන් පැහැදිලි වෙයි. එහෙත් සාමාන්‍ය පරිදි සිතන - මතන තර්කයෙන් බැහැර සමාජ කණ්ඩායම්වලට මේ තත්ත්වය වටහාගත නො හැකිය. ඒ අනුව ඔව්හු බාල හා මෝඩ ක්‍රියා පිළිවෙත් අනුගමනය කරති.

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා සතු බලතල හා ඔහුගේ තීන්දු අභියෝගයට ලක්කිරීම ද අඥාන පිළිවෙතකි යන්න අපගේ වැටහීම ය. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ එන වගන්ති හා උප වගන්ති පරීක්ෂාවෙන් කියවන සරල මනුෂ්‍යයකුට වුව එය වැටහී යනු ඇත. ඒ හැරත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිළිබඳ විශේෂඥයන් සේ ම නීති විශාරදයන් ද ජනාධිපතිවරයා සතු නෛතික ප්‍රතිපාදන පෙන්වා දී තිබිණි. මේවා සැලකිල්ලට නොගෙන පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට එරෙහිව මූලික අයිතිවාසිකම් පිළිබඳ පෙත්සම් දහතුනක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වී ඇත.

පෙත්සම්කරුවන්ගේ අභිප්‍රාය මැතිවරණය අවලංගු කරගැනීම හෝ එය කල්දැමීම හෝ විය හැකි ය. නැතහොත් ජනාධිපතිවරයාගේ තීන්දු දෝෂයට ලක්කොට; නැවත පාර්ලිමේන්තුව කැඳවීමේ අවස්ථාවක් ලබාගැනීම හෝ විය හැකි ය. මෙයින් පෙනී යන්නේ ඇතැම් දේශපාලන පක්ෂ මහජනයා හමුවට යෑමට බියක් දක්වන බව ය. එක්සත් ජාතික පක්ෂය තුළ මේ වන විටත් ආරවුලක් හටගෙන තිබේ. ඒ නායකත්වය සඳහා ය. රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වයෙන් නෙරපිය යුතු බව ද, ඒ වෙනුවට සජිත් ප්‍රේමදාස මහතා නායකත්වයට කැඳවිය යුතු යැයි ද පිරිසක් කියා සිටිති. එහෙත් රනිල් වික්‍රමසිංහ කණ්ඩායම ඊට එරෙහිව ක්‍රියාකරමින් සිටිති. ගැටුම උග්‍රවන්නට පටන්ගෙන තිබේ.

පවතින දේශපාලන අවුල ඇතිවීමට බලපෑ පුද්ගල චරිත දෙකක් තිබේ. එක චරිතයක් වන්නේ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ය. අනෙක් චරිතය වන්නේ කතානායක කරු ජයසූරිය මහතා ය. දෙදෙනා ම එජාපයේ හණමිටිය රැගෙන යන අය යැයි කිව හැකි ය. වික්‍රමසිංහ මහතා ර‍ටේ සම්පත් වෙන්දේසියේ දැමූ අතර කතානායකවරයා ජනාධිපති බලතල සියතට ගන්නට වෑයම් කළේය. අද වන විට එම ප්‍රයත්න දෙක ම රටට දායාද කර ඇති අවුල බලවත් ය. ජනාධිපති බලතල අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යෑම කාලය කා දැමීමක් ලෙස සමහරු පෙන්වා දෙති. ඇතැම් විට එහි පාඩුව ද වඩාත් තදබල ලෙස දැනෙන්නේ එක්සත් ජාතික පක්ෂයට යැයි කිව හැකිය. ශ්‍රීලනිපය ප්‍රමුඛ සන්ධානය මේ වන විටත් මැතිවරණයට සූදානමින් සිටිති.

ජනාධිපතිවරයා සිය බලතල යොදාගනිමින් කැබිනට් මණ්ඩලය අහෝසි කළේ ය. නව කැබිනට් මණ්ඩලයක් පත් කළේය. රනිල් වික්‍රමසිංහ මහතා අගමැති පදවියෙන් ඉවත් කළේය. නව අගමැති ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත් කළේය. එක්සත් ජාතික පක්ෂය ඒ සම්බන්ධයෙන් අධිකරණයට ගොස් ජනාධිපතිවරයාගේ බලතල අභියෝගයට ලක්කරන බව ප්‍රකාශ කළ ද එහි ප්‍රතිඵලයක් දකින්නට නැත. පාර්ලිමේන්තුව විසිරවීම සම්බන්ධයෙන් පමණක් එක්සත් ජාතික පක්ෂයට දැඩි පීඩනයක් ඇතිකර තිබෙන බව පෙනෙයි. එජාපය වහා ක්‍රියාත්මක වන්නේ ඡන්දයකට ඇති බිය නිසා ය. ගිය ආණ්ඩුව ක්‍රියාත්මක කළ බදු ප්‍රතිපත්තිය ගැන බලන විට එජාපයේ කිසිදු මන්ත්‍රීවරයකුට මහජනයා ඉදිරියට යා හැකි තත්ත්වයක් තිබේද යනු ගැටලුවකි.

වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එජාප පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට එරෙහිව මූලික අයිතිවාසිකම් පිළිබඳ පෙත්සම ඉදිරිපත් කරන්නේ අවම ලෙස මැතිවරණය සඳහා වාරණයක් හෝ ලබාගැනීමට යැයි කිව හැකි ය. එහෙත් තව ම එවැන්නක් සිදු වී නැත. ජනාධිපතිවරයා සිය තීන්දු ක්‍රියාවට නංවා ඇත්තේ ව්‍යවස්ථාවට අනුව එහි ප්‍රතිපාදන හොඳින් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවය. මෛත්‍රීපාල සිරිසේන මහතා මේ සම්බන්ධයෙන් ගත් කිසිදු තීරණයක් වෙනස් කර නැත. ඒවා ස්ථාවර බව පෙනෙයි. එලෙසම ජනාධිපතිවරයා මෙහි නීතිමය තත්ත්වයන් විග්‍රහ කිරීමට යන්නේ ද නැත. එය නීති විශාරදයන්ගේ හෝ ශ්‍රේෂ්ඨාධිකරණයේ හෝ කාර්යයක් ලෙස සලකා නිහඬ වීම වඩා වැදගත් ය.

ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක වඩා වැදගත් වන්නේ මහජන කැමැත්ත ය. එය ජනතාවගේ අභිමතය ලෙස ද අර්ථගන්වා ඇත. මෛත්‍රීපාල සිරිසේන මහතා මීට පෙර අවස්ථා ගණනාවකදීම පෙන්වා දී ඇත්තේ තමන් මහජන අභිමතයට හිස නමන බව හා ඊට අනුව ක්‍රියා කිරීමට උත්සාහ ගන්නා බවය. ඔහු මෙතෙක් ගෙන ඇති දේශපාලන තීන්දු බහුතර ජනතාවගේ අනුමැතියට ලක් වී ඇත. අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඉන්දීය මාධ්‍යවේදිනියකගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කියා සිටියේ ප්‍රජාතන්ත්‍රවාදය යනු මහජනයාගේ කැමැත්තට ඉඩදීම යනුවෙන් ය. ඒ අනුව පාර්ලිමේන්තුව විසිරුවා ඇත්තේ ද, මැතිවරණයක් ප්‍රකාශයට පත්කර ඇත්තේ ද මහජන කැමැත්තට ඉඩදීමක් ලෙස ය. එය ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව ක්‍රියාවක් යැයි කිසිවකුටත් තර්ක කළ නො හැකිය.

‍අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව එකිනෙක පණ්ඩිතයා එකිනෙක ආකාරයට විග්‍රහ කරන බව පැහැදිලි ය. ඇතැමුන් ව්‍යවස්ථාවට අර්ථ දක්වනුයේ දේශපාලනය හා පුද්ගල චරිත කේන්ද්‍රකොටගෙනය. කෙනකුට වැඩි වාසි ද, කෙනකුට දැඩි පාඩු ද ඇතිවන ලෙස බොහෝ අය ව්‍යවස්ථාවට අර්ථ දක්වති. තව සමහරු වගන්ති හා උප වගන්ති අතහැර තමන්ගේ රුචිය ඇති කොටස පමණක් උපුටා දක්වති. මෙය අන්ධයන් අලියා ගැන කළ විස්තරයට වඩා වෙනස් නැත. ශ්‍රේෂ්ඨාධිකරණය මේ සම්බන්ධයෙන් පූර්ණ අර්ථ - නිරූපණයක් ලබාදෙන්නේ නම් වැදගත් ය. එසේ නො වන්නට ව්‍යවස්ථාව සම්බන්ධයෙන් පෙට්ටි කඩ ළඟ ද ගෝරි ඇතිවන්නට පුළුවන.

ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව කුමක් වුව රටේ බහුතර ජනතාව මෙන් ම ආගමික නායකයන් ද ජනාධිපතිවරයාගේ තීරණ අනුමත කරන බව දේශපාලන නිරීක්ෂකයන්ගේ මතය වී ඇත. එක්කෝටි පනස්ලක්ෂයක් පමණ වන මෙරට ඡන්දදායකයන් යනු රටේ ඇති ප්‍රධාන ශක්තියයි. ඉන් එහා බලයක් තවත් නැත.

 


නව අදහස දක්වන්න