පෙත්සම් විභාගය ඇරැඹේ, නීතිපති කල් ඉල්ලයි | දිනමිණ

පෙත්සම් විභාගය ඇරැඹේ, නීතිපති කල් ඉල්ලයි

නෙල්කා මැදගෙදර

අටවැනි පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන සහ පුද්ගලයන් කිහිපදෙනකු ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 13ක් සම්බන්ධ කරුණු සලකා බැලීම ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (12) ආරම්භ කෙළේය. මේ පෙත්සම් මගින් ජනාධිපතිවරයාගේ ක්‍රියාවක් අභියෝගයට ලක් කර ඇති බැවින් ඒ සම්බන්ධ උපදෙස් ලබා ගැනීමට ප්‍රමාණවත් කල් ලබාදෙන ලෙස නීතිපති ජයන්ත ජයසූරිය මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේය. එහෙත් පෙත්සම් සම්බන්ධ කරුණු සලකා බැලීමට තීරණය කළ අධිකරණය නීතිපතිවරයාට කල් ලබා දුන්නේය. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉකුත් 09 වැනිදා ගත් තීරණය අභියෝගයට ලක් කරමින් මූලික අයිතිවාසිකම් පෙත්සම් 13ක් දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන විසින් ගොනුකර තිබිණි.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ඇතුළු එම පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 6 දෙනා විසින් එක් පෙත්සමක් ද දෙමළ ජාතික සන්ධානයේ නායක සහ හිටපු විපක්ෂ නායක ආර්. සම්පන්දන්, එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් කබීර් හෂීම්, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ එහි අධ්‍යක්ෂ පාක්‍යසෝති සරවණමුත්තු, සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ ලාල් විජේනායක, නීතිඥ ජී. සී. ජේ. පෙරේරා, නීතිඥ අරුණ ලක්සිරි එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයේ මනෝ ගනේෂන්, සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ රිෂාඩ් බදුර්දීන්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම්, මැතිවරණ කොමිසමේ සාමාජික මහාචාර්ය රත්නජීව හූල්, නීතිඥ ඉන්දික ගාල්‍ලගේ, නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු විසින් මෙම පෙත්සම් 13 ගොනුකර තිබුණි.

මෙම පෙත්සම්වලට මැදිහත්වී කරුණු දැක්වීමට අවසර ඉල්ලා රජරට විශ්වවිද්‍යාලයේ මහාචාර්ය චන්න ජයසුමන විසින් අතරමැදි පාර්ශ්ව පෙත්සමක් ගොනු කර තිබුණි.

මෙම පෙත්සම් කිහිපයක් ඊයේ (12) පෙරවරුවේ අගවිනිසුරු නලීන් පෙරේරා, ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවෙහි කැඳවන ලදී.

එහිදී දෙමළ ජාතික සන්ධානයෙහි නායක සහ හිටපු විපක්ෂ නායක ආර්. සම්පන්දන් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කේ. කනග්ඊශ්වරන් මහතා කරුණු ඉදිරිපත් කිරීමට සූදානම් වූ අවස්ථාවේදී නීතිපතිවරයාගේ පෙනීසිටීම සම්බන්ධයෙන් විනිසුරු මඬුල්ලෙහි අවධානය යොමු විය. එහිදී මෙම පෙත්සම් සම්බන්ධව නීතිපතිවරයාට නොතිසි ලැබුණු බවට තමන් නොදන්නා බව එම අවස්ථාවේදී අධිකරණයෙහි පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් සංජේ රාජරත්නම් මහතා සඳහන් කළේය. එලෙස නොතිසි ලැබී ඇත්නම් ඒ පිළිබඳව දැනුම් දුන් පසුව අධිකරණය හමුවෙහි කරුණු ඉදිරිපත් කළ හැකි බව ඒ මහතා කීය. ඒ අනුව පෙත්සම් නැවත කැඳවීම ඊයේ (12) පස්වරු 2.00 තෙක් කල් තබන ලදී.

ඒ අනුව එම පෙත්සම් පස්වරු දෙකට කැඳවන ලදී.

එහිදී අධිකරණය හමුවෙහි පෙනී සිටි නීතිපති ජයන්ත ජයසූරිය මහතා කියා සිටියේ මෙම පෙත්සම් මඟින් ජනාධිපතිවරයාගේ ක්‍රියාවක් අභියෝගයට ලක්කර ඇති බැවින් ඒ සම්බන්ධව උපදෙස් ලබාගැනීම සඳහා තමන්ට ප්‍රමාණවත් කාලයක් අවශ්‍ය බව ය. මෙම පෙත්සම් සම්බන්ධ නොතීසි ‍තමන්ට මීට සුළු ‍ෙමාහොතකට පෙර ලැබුණ බවද හෙතෙම සඳහන් කළේය.

මෙහිදී විනිසුරු මඬුල්ල සඳහන් කළේ මෙම පෙත්සම් පදනම් වී ඇති කරුණෙහි වැදගත්කම සහ අවශ්‍යතාවය මත පෙත්සම්කරුවන්ට කරුණු දැක්වීමට අවස්ථාව දිය යුතු බවය. ඒ අනුව පළමුවෙන්ම පෙත්සම්කරුවන්ට කරුණු දැක්වීමට අවස්ථාව දීමට විනිසුරු මඬුල්ල තීරණය කළේය.

පෙත්සම්කාර දෙමළ ජාතික සන්ධානයේ නායක හිටපු විපක්ෂ නායක ආර්. සම්පන්දන් මහතා වෙනුවෙන් අධිකරණයෙහි පෙනී සිටි ජනාධිපති නීතිඥ කේ. කනග්ඊශ්වරන් මහතා දීර්ඝ ලෙස කරුණු ඉදිරිපත් කළේය.

08 වැනි පාර්ලිමේන්තුවේ නිල කාලය වසර 5 ක් පමණක් බවත් වසර හතරහමාරකට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හරින්නේ නම් ඒ සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් ලබාගත යුතු බවද හෙතෙම කීය. මෙහිදී එවැන්නක් සිදුව නැති බැවින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීතිවිරෝධී බවද හෙතෙම කීය.

එබැවින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළව නිකුත් කර ඇති ගැසට් නිවේදනය බල රහිත කරන නියෝගයක් සහ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස හෙතෙම අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මෙහිදී පෙත්සමෙහි වගඋත්තරකාර මැතිවරණ කොමිසමෙහි සාමාජික මහාචාර්ය රත්නජීව හූල් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා සඳහන් කළේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ තීරණය නීතිවිරෝධී බවය. සාධාරණ මැතිවරණයක් සඳහා සහතිකවීමට නම් පැවැති පාර්ලිමේන්තුවේ සම්පූර්ණ නිල කාලය පූර්ණවීමට අවස්ථාව දිය යුතු බව ද ජනතාවගේ ඡන්ද අයිතිය ආරක්ෂා කිරීම සඳහා ඡන්දයෙන් පත්වූවන් සුරක්ෂිත කළ යුතු බවද හෙතෙම කීය.

මෙහිදී නීතිපති ජයන්ත ජයසූරිය මහතා එම අදහස්වලට විරෝධය පළ කරමින් සඳහන් කළේ මැතිවරණ කොමිසමෙහි එක් සාමාජිකයකුගේ මතය මැතිවරණ කොමිසමෙහි මතය ලෙස සැලකිය නොහැකි බවය. සමස්ත මැතිවරණ කොමිසමෙහි මතය ලෙස එක් සාමාජිකයකුගේ මතය ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් තමා විරුද්ධ වන බව හෙතෙම කීය.

එක්සත් ජාතික පක්ෂ මහලේකම් කබීර් හෂීම් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ තිලක් මාරපන, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය වෙනුවෙන් නීතිඥ විරාන් කොරයා, ලාල් විජේනායක මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ ජයම්පති වික්‍රමරත්න, ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් ජේ. සී. වැලිඅමුණ යන මහත්වරුද කරුණු ඉදිරිපත් කළහ.

වැඩිදුර විභාගය හෙට

 

නව අදහස දක්වන්න