පාර්ලිමේන්තුව විසුරුවාලීම ජනපති තීන්දුව නිවැරැදියි | දිනමිණ

පාර්ලිමේන්තුව විසුරුවාලීම ජනපති තීන්දුව නිවැරැදියි

සමන්මලී ප්‍රියශාන්ති

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගත් තීන්දුව අභියෝගයට ලක්කරමින් දේශපාලන පක්ෂ සහ පුද්ගලයන් පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ඊයේ (12) ගියහ. ජනපතිවරයාගේ මේ තීන්දුව ව්‍යවස්ථානු කූල බව පිළිගන්නා නව ආණ්ඩුව නියෝජනය කරන දේශපාලන පක්ෂ නියෝජිතයෝ තමන් ද එම තීරණය නිවැරැදි බව තහවුරු කිරීමට සූදානම් බව පවසති. ඒ සම්බන්ධයෙන් එම දේශපාලන පක්ෂ නියෝජිතයන් දැක්වූ අදහස් මෙසේය.

ව්‍යවස්ථානුකූල තීරණයක්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් නීතිඥ සාගර කාරියවසම්

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගත් තීන්දුව සියයට සියයක්ම ව්‍යවස්ථානුකූල තීරණයක් ලෙසයි අප පක්ෂයක් ලෙස දකින්නේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ජනාධිපතිවරයාට පැවරී තිබෙන ප්‍රතිපාදන මතයි ජනාධිපතිවරයා මෙම තීන්දුව අරගෙන තිබෙන්නේ. ජනාධිපතිවරයා ගත් තීන්දුව සම්බන්ධයෙන් කාටහරි ගැටලුවක් තිබෙනවා නම් ඒක විසදා ගන්න තිබෙන හොදම තැන තමයි ශ්‍රේෂ්ඨාධිකරණය. ඒක සෑමඅයකුටම හිමි ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්. කවුරු හරි ඒ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය භාවිතා කිරීම සම්බන්ධයෙන් අපට ගැටලුවක් නැහැ. නමුත් පක්ෂයක් විදියට අපි සිටින්නේ ජනාධිපතිවරයා ගත් තීන්දුව ව්‍යවස්ථානුකූල තීන්දුවක් යන මතයේ.

මහජන ඡන්දයක් එපා කියන එකම විපක්ෂය අපේ රටේ
නිවාස හා සමාජ සුබසාධන ඇමැති විමල් වීරවංශ

ජනතා පරමාධිපත්‍ය බලය උරගා බැලීමට මහජන ඡන්දයකට ප්‍රවිශ්ඨවීම එපා කියමින් අධිකරණයට වෙත යන එකම විපක්ෂය සිටින්නේ අපේ රටේ. මේ රටේ පොදු මහ ජනතාව බැංකු හොරුන් පළවා හරින්න. රණවිරුවන් දංගෙඩියට ගෙන යන එක වළක්වන්න. සෑම මසකම 10 වැනිදා ඉන්ධන මිල ඉහළදාපු හොර නඩය පළවා හරින්න මහ මැතිවරණයක් ඉල්ලා සිටින විට ඒක එපා කියන එකම විපක්ෂය අපේ රටේ විපක්ෂය බවට පත්ව තිබෙනවා.

ශ්‍රේෂ්ඨාධිකරණයට යාම හොඳ පියවරක්
ලංකා සමසමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ

ජනාධිපතිවරයා ගනු ලැබූ තීරණයේ අඩු පාඩු තිබෙනවාද, ගැටලු තිබෙනවාද කියා සොයා බැලීමට මෙවර තානාපති කාර්යාලවල සහය පතන්නේ නැතිව එක්සත් ජාතික පක්ෂය ශ්‍රේෂ්ඨාධිකරණයට යාම ගැන සතුටු වෙනවා. අපේ රටේ අභ්‍යන්තර ගැටලුවලට විසඳුම් අපට සොයා ගත හැකියි. ඊට අනිසි අතපෙවීම් අවශ්‍ය කරන්නේ නැහැ. ඒ නිසා ජනාධිපතවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ගත් තීන්දුව ගැන අහන්න ශ්‍රේෂ්ඨාධිකරණයට යාමට කටයුතු කිරීම හොඳයි.

මැතිවරණයක් කියන්නේ ජනතාවගේ පරමාධිපත්‍ය බලය පෙන්වන ප්‍රධානම සාධකයක්. පරමාධිපත්‍ය බලය තිබෙන්නේ ජනතාව අතේයි. තමන්ගේ කැමැත්ත අනුව ජනතාව නියෝජිතවරු පත් කර ගන්නේ තමන්ගේ මතය පාර්ලිමේන්තුව තුළ ක්‍රියා කරවීම සඳහායි. 2015 දී පැවැති මැතිවරණයේදී මේ රටේ ජනතාවගේ නියම පරමාධිපත්‍ය බලය අපි දැක්කා. එම මැතිවරණය ජනමත විචාරණයක් බවට පත් වුණා. එහිදී ලැබුණු ජනතා ප්‍රතිචාරය වගේම ජනාධිපතිවරයා මෙතෙක් ගත් තීන්දු තීරණවලදී ලැබුණු ජනතා ප්‍රතිචාරය අනුව මේ රටේ ජනතාවගේ මතය අපට පැහැදිලිව දැක ගන්න පුළුවන් වුණා. ජනාධිපතිවරයා මෙතෙක් ගනු ලැබූ සියලු තීන්දු තීරණ ගත්තේ ව්‍යවස්ථානුකූලව හා නීත්‍යානුකූලවයි. පාර්ලිමේන්තුව කල් තැබීමට, නැවත කැඳවීමට මෙන්ම විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට ඇති බලතල අනුව තමයි එතුමා මෙතෙක් කටයුතු කළේ. මේ නිසා ශ්‍රේෂ්ඨාධිකරණය මේ ගැන යම් තීන්දුවක් ලබා දෙයි.

ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවක්
ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර

ප්‍රජාතන්ත්‍රවාදය උපදින්නේ ජනතාව තුළිනුයි. ජනාධිපතිවරයා කළේ ප්‍රජාතන්ත්‍රවාදය උපදින තැනටම නව ආණ්ඩුවක් පිහිටුවීමට බලය පැවරීමට කටයුතු කිරීමයි. එක්සත් ජනතා නිදහස් සන්ධානය ජාතික ආණ්ඩුවෙන් ඉවත් වීමත් සමඟ ජාතික ආණ්ඩුව බිඳ වැටුණා. ඒ නිසා ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ වැඩිම විශ්වාසයක් පවතින මන්ත්‍රීවරයා අගමැතිවරයා වශයෙන් පත් කලා. ඒ සඳහා ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට බලය ලැබී තිබෙනවා. ව්‍යවස්ථා ප්‍රකාර බලතල අනුව ජනාධිපතිතුමා ගනු ලැබූ එම තීන්දු තීරණ ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී ක්‍රියාවලියක් කරා ගෙන ගියේ කතානායකවරයායි. මේ ගැටලුව ව්‍යවස්ථානු අර්බුදයක් දක්වා ගෙන යාමට කතානායකවරයාගේ ක්‍රියාකලාපය ඉවහල් වු අතරම මේ තත්ත්වය තව දුරදිග ගියා නම් ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම පවා සිදු විය හැකිව තිබුණා. පාර්ලමේන්තුවේ වියරු සහගත තත්ත්වයක් නිර්මාණය වීමට මෙන්ම ලේ වැගිරීමක් පවා සිදු වන්නට ඉඩ තිබුණා. එය වැළැක්වීමට ගත හැකි හොඳම තීන්දුව ජනාධිපතිවරයා විසින් අරගෙන පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කටයුතු කළා. ඒ අනුව මැතිවරණයක් පැවැත්වීමෙන් ජනාධිපතිවරයාගේ තීන්දුව සම්බන්ධයෙන් ජනතාවගේ පිළි ගැනීම දැන ගැනීමට මෙන්ම නව රජයක් පිහිටුවා ගැනීමට ජනතාවට ඉඩ කඩ ලැබෙනවා. ජනාධිපතිවරයා මේ ගනු ලැබූ තීන්දු ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක් ලෙස සෘජු ව ගනු ලැබූ තීන්දු බව කිව යුතුයි. අපි මැතිවරණ අවශ්‍ය බව කියද්දි මැතිවරණ එපා කියලා කියන එකම පක්ෂය එක්සත් ජාතික පක්ෂය පමණයි.

හොඳම දේ අධිකරණමය තීන්දුවක්
ජ්‍යෙෂ්ඨ නීතිඥ ගෝමින් දයස් ශ්‍රී

ජනාධිපතිවරයා සිය අභිමතය පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබෙන නිසා දැන් කළ යුතු හොඳම කාර්යය වන්නේ සියලුදෙනාටම පිළිගත හැකි අධිකරණමය තීන්දුවක් ලබාදීමයි. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ව්‍යවස්ථාපිත බලය කෙසේ වෙතත් සියලු දෙනාගෙම අපේක්ෂාව වී ඇත්තේ ජනතා මතය විමසීමයි. මහජනතාව මේ අවස්ථාවේදී මහ මැතිවරණයක් බලාපොරොත්තුවෙන් සිටිනවා. එම නිසා මමත් මේ ශ්‍රේෂ්ඨාධිකරණ ක්‍රියාවලියට මැදිහත් පෙත්සම්කරුවකු සේ ඉදිරිපත් වී දෙපාර්ශ්වයටම පිළිගත හැකි ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් ඉල්ලා සිටින්නට තීන්දු කළා.

රටේ ජනතාවට තීන්දුවක් ගන්න අවස්ථාවක්
පිවිතුරු හෙළ උරුමයේ නායක ඇමැති උදය ගම්මන්පිල

එක්සත් ජාතික පක්ෂයට ජනතා භීතිකාව නැමැති භයානක රෝගයක් වැළැඳී තිබෙනවා. ඒ නිසා මේ අය බලයේ සිටි වසර 4 කට ආසන්න කාලය පුරාම මැතිවරණ කල් තබමින් ජනතාව ඉදිරියට යාමේ අවස්ථාව මඟහරිමින් කටයුතු කළා. නමුත් මහින්ද රාජපක්ෂ මහතා අගමැති වූ විගස ජනාධිපතිවරයා මේ රටේ ජනතාව අනාගතය තීන්දු කිරීමේ අවස්ථාව ලබා දුන්නා. මේ රටේ සැබෑ පාලන බලය තිබෙන්නේ මන්ත්‍රීවරුන්ටවත් ජනාධිපතිටවත් නොවේ රටේ පොදු ජනතාවටයි. ඒ බලය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් භාවිත කරන්නේ ජනතාව වෙනුවෙන් ජනතා නියෝජිතයා ලෙසයි. ඒ නිසා මැතිවරණයක් තරම් ප්‍රජාතන්ත්‍රවාදී දෙයක් මේ ලෝකේ කොහෙවත් නැහැ. මැතිවරණවලට තිබෙන බය, ජනතාව ඉදිරියට යාමට ඇති අකමැත්ත නිසා පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීම ව්‍යවස්ථා විරෝධී කියලා අද ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කර තිබෙනවා. මැතිවරණයක් එපා කියලා දේශපාලන පක්ෂ විසින් ලෝක ඉතිහාසයේ ප්‍රථම වරට තමයි මේ අධිකරණයට ගිහින් තිබෙන්නේ. මේ නිසා එක් පැත්තකින් අපිට එක්සත් ජාතික පක්ෂය ගැන ලැජ්ජා හිතෙනවා. අනිත් පැත්තෙන් සතුටු වෙනවා.

අර්බුදකාරී වාතාවරණයට විකල්ප ක්‍රියාමාර්ගයක්
ශ්‍රීලනිපයේ ප්‍රධාන ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස

රටේ කිසියම් අර්බුදකාරී වාතාවරණයක් ඇති වන්නේ නම් ජනාධිපතිවරයාට ගත හැකි එක් විකල්ප ක්‍රියාමාර්ගයක් වන්නේ ජනතා පරමාධිපත්‍යය නැවත විමසා සිටීමයි. ජනතා පරමාධිපත්‍ය විමසන එක් ක්‍රමයක් වන්නේ මැතිවරණයකට යොමු වීමයි. ජනාධිපතිවරයා අද ඒ තීරණයට යොමු වී තිබෙනවා. ජනාධිපතිවරයාගේ මේ තීරණය ව්‍යවස්ථා විරෝධී කියා සිතනවා නම් අධිකරණය යාම වඩාත් හොඳයි. එහිදි අධිකරණය ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාරයක් දක්වයි. කෙසේ වෙතත් බරපතල දේශපාලනමය ගැටලුවක් හමුවේ ජනාධිපතිවරයා ගත් මේ තීන්දුවට කිසිවෙකු හෝ එරෙහි වනවා නම් ලේ හලාගෙන, කෑ කෝ ගහලා ප්‍රතිචාර දක්වනවාට වඩා අධිකරණයේ මතය විමසීම හොඳ බව මගේ හැඟීමයි. ඒ කටයුතු දැන් සිදු වෙමින් තිබෙනවා. වඩාත් වැදගත් වන්නේ පරමාධිපත්‍යය සමාජයේ හා පාර්ලිමේන්තුවේ ස්ථාපිත වීමයි.

 

නව අදහස දක්වන්න