රාජ්‍ය දේපොළ බාර නොදෙන මැති ඇමැතිවරුන්ට නීතිය තදින් | දිනමිණ

රාජ්‍ය දේපොළ බාර නොදෙන මැති ඇමැතිවරුන්ට නීතිය තදින්

මහින්ද අලුත්ගෙදර

හිටපු මැති ඇමැතිවරු පරිහරණය කළ වාහන සහ අනෙකුත් රාජ්‍ය දේපළ ඒ ඒ අමාත්‍යාංශ ලේකම්වරුන්ට බාරදීමට ප්‍රමාද කරීමට විරුද්ධව තරාතිරම නොබලා නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරයි.

ආණ්ඩු වෙනස් වීමක් ඇති වූ මේ අවස්ථාවේ හිටපු මැති ඇමැතිවරුන් භාරයේ තිබූ සියලුම රජයේ වාහන, සම්පත් වහාම අදාළ අමාත්‍යාංශයේ ලේකම්වරයාට භාරදෙන ලෙස ඉල්ලීමක් කරන ඒ මහතා එසේ භාරදීම ප්‍රමාද වුවහොත් පොලීසිය යොදවා නීතිය ක්‍රියාත්මක කරමින් එම වාහන ආපසු ලබා ගැනීමට සිදුවන බවද මේ හේතුවෙන් රජයේ වාහන පාවිච්චි කිරීම, රජයේ සම්පත් පොදු දේපළ පාවිච්චි කිරීම මේ අවස්ථාවේ සම්පූර්ණයෙන් ම නීතියෙන් තහනම් බවද පෙන්වා දෙයි.

විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා මේ බව සදහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දුන්නේ ඒ හේතුවෙන් මේ මැතිවරණ කටයුතු සිදුකිරීම සඳහා මැතිවරණ කොමිසමට, රාජ්‍ය නිලධාරීන්ට, පොලීසියට, ත්‍රිවිධ හමුදාවට ඇතුළු සියලු දෙනාටම අපේ සම්පූර්ණ සහයෝගය ලබාදිය යුතු බවත්, මැතිවරණ කාලසීමාවේ ගැටුම් ඇතිකර නොගනිමින් සාමකාමීව ඉතාමත් අවබෝධයෙන් කටයුතු කරමින් සාමකාමී ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයක් පැවැත්වීමේ වගකීම දේශපාලන පක්ෂ නායකයන්, මැති ඇමතිවරු, අපේක්ෂකයන්, අපේක්ෂකයන්ගේ ආධාරකරුවන් රටේ පොදු ජනතාව ආදී සෑම කෙනෙකුටම පැවරෙන්නා වූ ඉතාමත්ම පුළුල් වූ වගකීමක් බවත්ය.

මූලික වශයෙන්ම දේශපාලන පක්ෂවල මැතිවරණ ව්‍යාපාර සඳහා අපේක්ෂකයන්ගේ මැතිවරණ ව්‍යාපාර සඳහා රාජ්‍ය දේපළ අවභාවිතයෙන් සම්පූර්ණයෙන්ම ඉවත්වීම අවශ්‍ය බව පෙන්වාදුන් ජනාධිපතිවරයා රජයේ වාහන පාවිච්චි කිරීමෙන් සම්පූර්ණයෙන් ඉවත් වියයුතු බවද, පසුගිය ආණ්ඩුවේත් වර්තමාන භාරකාර ආණ්ඩුව වටත් වාහන ලබා දී තිබුණු බව සෑම කෙනෙක්ම දන්නා කරුණක් බවද පෙන්වා දුන්නේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය අනුව බලය තිබෙන්නේ භාරකාර ආණ්ඩුවක් විදියට නාම යෝජනා දීම නිවේදනය කිරීමේ සිට පාර්ලිමේන්තුව රැස්කරන කාලය දක්වා ඇමැති මණ්ඩලය සහ අගමැති ජනාධිපති කියන මේ ඇමැති මණ්ඩලයෙන් සමන්විත භාරකාර මණ්ඩලයට බව සඳහන් කළ ඒ මහතා ඒ නිසා එම ජනාධිපති, අගමැති, ඇමැති මණ්ඩලයේ සාමාජිකයන් හැර වෙනත් කිසියම්ම කෙනෙකුට හිටපු රාජ්‍ය ඇමැතිවරු, හිටපු නියෝජ්‍ය ඇමැතිවරු, හිටපු මන්ත්‍රීවරු කිසිවකුට රජයේ වාහන සහ රජයේ පොදු දේපළ භාවිත කිරීම මැතිවරණ නීතිය යටතේ සම්පූර්ණයෙන්ම තහනම් බවද පැවසීය.

අපේ උතුම් රට ඉදිරියට ගෙන යන්නට සමෘද්ධිමත් ආර්ථිකයක් මෙන්ම නවෝදයක්, ප්‍රබුද්ධ රාජ්‍යයක්, ලෝකයේ ශ්‍රේෂ්ඨ උතුම් රාජ්‍ය පාලනයක් සහිත ඉතාම සාදාචාරසම්පන්න සාමකාමී ගුණවත් සමාජයක් මෙන්ම ස්වදේශිකත්වය මුල්කරගත් වටිනාකම් ඇතිව අපේ සංස්කෘතිය අපේ දේශීයත්වය ස්වදේශිකවාදය මුල්කරගත් රාජ්‍ය පාලනයක් සඳහා සහයෝගය ලබාදෙන ලෙස ජනපතිවරයා සියලු පුරවැසියන්ගෙන් ඉල්ලීමක් කළේය.


නව අදහස දක්වන්න