ඕස්ට්‍රේලියා ෆෙඩරල් පොලිසියෙන් එල්ලවූ සියලු චෝදනාවලින් නිදහස් | දිනමිණ

ඕස්ට්‍රේලියා ෆෙඩරල් පොලිසියෙන් එල්ලවූ සියලු චෝදනාවලින් නිදහස්

උදුලා පීරිස්

මට හොඳ පවුලක් තිබුණා ඒ අයට හඩක් නැගීමට හැකියාව තිබුණා එසේම හැම දේකටම මුදල් තිබුණා ඒ නිසා අද මට ඕස්ට්‍රේලියා ෆෙඩරල් පොලිසියෙන් එල්ලවී තිබූ සියලු චෝදනා වලින් නිදහස්ව ශ්‍රී ලංකාවට පැමිණිය බව කමර් නිසාම්ඩීන් මහතා පැවසීය.

සැප්තැම්බර් මස 28 දින තමාට ඇප ප්‍රදානය කළ බව කී ඒ මහතා සටහන් පොතේ තිබූ අත් අකුරු තමාගේ නොවන බව ඔප්පුවූ නිසා තමාට එරෙහිව තිබූ සියලු චෝදනා ඔක්තෝම්බර් 19 දින ඉවත් කර ඕස්ට්‍රේලියාවේ ස්ථිරව පදිංචිවීමේ අවසරය ප්‍රදානය කළ බවත් හෙතෙම අවධාරනය කෙළේය.

ඒ මහතා මේ බව පැවසූවේ තමා වෙනුවෙන් පෙනී සිටිය සැමට ස්තුති කිරීමට පසුගියදා ෂැංහිලා හෝටලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

ඕස්ට්‍රේලියාවේ ත්‍රස්ත කුමන්ත්‍රණයකට චෝදනා ලැබ සිටි කමර් නිසාම්ඩීන් මහතා මීට වසර කිහිපයකට පෙර උපාධියක් අපේක්ෂාවෙන් ඕස්ට්‍රේලියාවේ නිව්සවුත්වේල්ස්හි විශ්ව විද්‍යාලයකට ඇතුළත්වී ඇත. ඔහුගේ සටහන් පොත නැතිවී මාසයක් ගතවීමෙන් පසු එම පොතේ ත්‍රස්ත ක්‍රියා කිහිපයක් වන මැල්කම් ටර්න්පූල් සහ ජූලි බිෂොප් ඝාතනය කිරීමටත් සිඩ්නි වරාය සහ ඔපෙරා මන්දිරය බෝම්බ දමා පුපුරුවා හැරීමටත් එල්ල කරන ලද බරපතල බිය උපදවන ත්‍රාසජනක ස්වභාවයේ සටහනක් තබා තිබී ඇත.තවද තම විශ්ව විද්‍යාලයේ සියලුම ශිෂ්‍යයින්ගේ ජීවිත වලට විශාල අනතුරක් සහ තර්ජනයක් තවමත් පවතින බවත් තහවුරු කරන ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් වල බොහෝ සවිස්තරාත්මක කරුණුද එම සටහන්වලට ඇතුළත්ව තිබී ඇත.

කමර් නිසාම්ඩීන් මහතා මෙසේද කීය.

අදාළ චෝදනා වෙනුවෙන් බන්ධනාගාරගත කළ මගේ එකම සැනසිල්ල වූයේ මාගේ නිර්දෝෂීභාවය හඳුනා ගනිමින් නිවරදි දෙය කිරීමෙහිලා ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලීසිය, ඕස්ට්‍රේලියානු අධිකරණ පද්ධතිය කෙරෙහි විශ්වාසය තැබීමයි.

විශාල බලාපොරොත්තුවක් තබා ඕස්ට්‍රේලියාවට ගිය මට සිදුවූ මෙවැනි චෝදනාවක් කිසිත් කරගත නොහැකි අයෙකුට වුණානම් වෙන විපත කුමක්ද යන්න කියමින් මෙවැනි සාවද්‍ය චෝදනාවකදී එය නිවරදි කිරීමට හඩක් ලබාදිය යුතුව ඇතැයිද කමර් කියා සිටියේය. එසේම තමා වෙනුවෙන් හඩක් නැගීමට කටයුතු කළ මගේ ආදරණීය දෙමවුපියන්ට, මගේ නිර්දෝෂී භාවය මාධ්‍යට කියා පෑමෙන් විශාල භූමිකාවක් කළ මගේ සොහොයුරු කාලික් නිසාම්ඩීන් ඇතුළු සමස්ත මාධ්‍ය ආයතන වලටත් ශාන්ත තෝමස් මූලික පාසලේ දුශාන්ත රොඩ්රිගෝ පූජකතුමාට සහ ආසියානු ජාත්‍යන්තර පාසලේ ගුල්බායී ගුණසේකර මහත්මියට,ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ,මහින්ද රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ,ඕස්ට්‍රේලියාවේ මහ කොමසාරිස් සෝමසුන්දරම් ස්කන්දකුමාර, සිඩ්නිහි කොන්සාල් ජනරාල් ලාල් වික්‍රමතුංග සහ උපතානාපති ප්‍රමුදිතා මුණසිංහ, ගංගාරාම විහාරාධිපති ගලබොඩ ඥානිස්සර සහ මහා සංඝයා වහන්සේලාටද මාගේ නීතිඥ මොස්ටාෆා කෙයිර් සහ බර්ච්ග්‍රෝව් ලීගල් හි ඔහුගේ කණ්ඩායමට ඇතුළු අනේක විද උදව් උපකාර කළ සැමට ස්තුති ප්‍රශංසා කරනවා යැයිද කමර් වැඩිදුරටත් කියා සිටියේය.

ඡයාරුපය.- චමින්ද නිරෝෂණ

නව අදහස දක්වන්න