ගිය ආණ්ඩුව සංහිඳියාව වචනය ඉදිරියට දමමින් රට විනාශ කිරීමේ කුමන්ත්‍රණයක නිරතවූවා | දිනමිණ

ගිය ආණ්ඩුව සංහිඳියාව වචනය ඉදිරියට දමමින් රට විනාශ කිරීමේ කුමන්ත්‍රණයක නිරතවූවා

උපාලි කරුණාරත්න

සංහිඳියාව වචනය ඉදිරියට දමමින් පසුගිය පාලනය රට විනාශ කිරීමේ කුමන්ත්‍රණයක නිරත වූ බව මේජර් ජෙනරාල්(විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා පැවසීය.

පසුගිය පාලන කාලයේ රණවිරු දඩයම දේශීයව මෙන්ම අන්තර්ජාතික වශයෙන් ක්‍රියාත්මක වූ බවද පැවසු මේජර් ජනරාල්වරයා පලාලි ගුවන් තොටුපොළ, කන්කසන්තුරේ වරායේ ආරක්ෂාව පිළිබඳව දැඩි අවධානය යොමු කළ යුතු යයිද කීය.

කමල් ගුණරත්න මහතා මේ අදහස් පළ කළේ ඊයේ (12) කොළඹ, පුස්තකාල හා ප්‍රලේඛණ මණ්ඩල ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිණි. එළිය සංවිධානය විසින් මෙය සංවිධානය කර තිබිණ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කමල් ගුණරත්න මහතා,

පසුගිය කාලයේ සංහිඳියාව කියන වචනය වැඩි වැඩියෙන් භාවිත වුණා. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් ආදී සියලුම ජන කොටස්වලට කිසිදු ගැටලුවක් නොමැතිව ජිවත් වීමට හැකි පරිසරයක් සංහිඳියාව තුළින් ඇතිවෙනවා. නමුත් සංහිඳියාව වචනය භාවිත කරමින් පසුගිය කාලයේ කරන ලද කාර්ය භාරය ඉතාම කනගාටුදායකයි. සංහිඳියාව යන වචනය භාවිත කරමින් සිදුකර තිබෙන්නේ අපේ රට සිරකිරීමට කටයුතු කර අන්තර්ජාතික ප්‍රජාවේ කොටසකුත් වෙනම ඊළාම් රාජ්‍යයක් සඳහා උත්සාහ කරන දෙමළ ප්‍රජාවේ යම් කිසි කොටසකගේ අවශ්‍යතාවන් සපුරාලීමයි. මෙරට ඒකීය නිවහල් රාජ්‍යයක් ලෙස පැවතිය යුතුයි කියන මතයේ සිටින අන්තර්ජාතික දෙමළ ප්‍රජාවේ, ඩයස් පෝරාවේ විශාල ප්‍රමාණයක් සිටිනවා. ශ්‍රී ලංකාව තුළ දෙකඩ කළ යුතුයි කියන මතයේ මොවුන් අතර යම් ප්‍රමාණයක් සිටිනවා. පසුගිය කාලයේ එල්.ටී.ටී.ඊ සංවිධානයට උණ්ඩයෙන් ගැනීමට නොහැකි වූ දේ මොවුන් කපටි උපක්‍රමවලින් ලබා ගැනීමට උත්සාහ කරනවා.

අපේ රටේ අතීතයේ සිට සිදුවූ පාවාදීම් පිළිබඳව අප දන්නවා. මෑත කාලයේ එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී ඇමරිකාව සහ එක්සත් රාජධානිය සමඟ එකතුවී අපගේ ආරක්ෂක හමුදාවන්ට එරෙහිව හිටපු විදේශ ඇමැතිවරයකු ක්‍රියා කිරීම මෑත කාලයේ සිදුවූ විශාලතම පාවාදීම වශයෙන් හැදින්විය හැකියි. අපට එරෙහිව ඉදිරිපත් වූ ප්‍රඥප්තියකට සහයෝගීතාව ලබා දුන්නා. මේ පිළිබඳව රුසියාව, චිනය වැනි රටවල් මවිත වු බව වාර්තා වෙනවා. මේක ඉතාම පහත් ක්‍රියාවක් ලෙස හැදින්විය හැකියි. මේක අප රණවිරු දඩයම වශයෙන් හැදින්වූවා. ඇත්ත වශයෙන්ම එය රණවිරු දඩයමක්. ‍පසුගිය රජය කාලයේ මේ රණවිරු දඩයම දේශීය වශයෙන් මෙන්ම අන්තර්ජාතික වශයෙන් ක්‍රියාත්මක වුණා. මේවායේ පසු පියවර වශයෙන් දේශීය වශයෙන් යාන්ත්‍රණයක්ද ඇති කළා. අතුරුදන් වූවන් පිළිබඳව කාර්යාල පිහිටුවීමේ පනත ,බලහත්කාරයෙන් අතුරුදන් කිරීම පිළිබඳ පනත ඉදිරිපත් කළා. බ්‍රසීලයේ තානාපති වී සිටි හිටපු හමුදාපතිවරයකු වු ජගත් ජයසූරිය මහතාට එරෙහිව බ්‍රසීලයේදී පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම අපට මතකයි. සාපදරාධී කරුණුවලදී අනෝන්‍ය සහයෝගය දැක්වීමේ පනතද ගෙන ආවා. මේ නිසා භයානක තත්ත්වයක් ඇතිවුණා. වන්දි ගෙවීමේ පනතක්ද ගෙනාවා. සංහිදියාව නාමයෙන් රටට විශාල විනාශයක් සිදුවූ අන්දම අපට මේ අනුව පෙනෙනවා.

ජාතික ආරක්ෂාව සඳහා වැදගත් දේ පිළිබඳව දැඩි අවධානය යොමු කළ යුතුයි. පලාලි ගුවන් තොටුපොළත්, කන්කසන්තුරේ වරායත් අපට ඉතා වැදගත් වෙනවා. මේවායේ ආරක්ෂාවට තර්ජනයන් වන තීරණයන් නොගත යුතුයි. මේවා වටේ තිබෙන ඉඩ කඩම් කාගේ පරම්පරාවට අයිති වූවත් ඒවා අත්‍යවශ්‍යයි. උතුරේ ජනතාව ත්‍රස්තවාදයෙන් බේරා ගත්තේ අපේ හමුදාව. වර්තමානයේ උතුරේ වෛරය වපුරන ක්‍රෝධය වපුරන එක දේශපාලනඥයෙක් වතුර බෝතලයක් තුවාල වූ රෝගීන්ට එක ලේ පොදක් උතුරේ දමිළ ජනතාවට එදා ලබා දුන්නේ නැහැ. ශ්‍රී ලංකා රජයයි උතුරේ දමිළ ජනතාවගේ ජිවන තත්ත්වය උසස් කිරීමට කටයුතු කළේ. කිසිම සෙවිල්ලකින් තොරව පසුගිය රජය උතුරේ ඉඩම් නිදහස් කළා. වික්ටෝරියා ජලාශය හදන අවස්ථාවේ තෙල්දෙණිය නගරයට යට වුණා. රජ කාලේ සිට භුක්ති විඳි ඉඩම් ජනතාවට අහිමි වුණා. ඒ පිළිබඳව කිසිවෙකු එදා කතා කළේ නැහැ. රටේ සංවර්ධනය අවශ්‍ය බව ජනතාව තේරුම් ගත්තා.

19 වැනි ව්‍යවස්ථාවම දේශපාලන පළිගැනීමක් වශයෙන් හඳුන්වන්න පුළුවන්. එක් එක් පුද්ගලයන් මෙමගින් ඉලක්ක කළා. 20 වැනි ව්‍යවස්ථාව ගෙන ආවානම් තවත් විශාල විනාශයක් සිදුවනවා. ද්විත්ව පුරවැසියන්ටද රටේ අයිතිවාසිකම් තිබිය යුතුයි. හමුදාවන්හි සේවය කර විශ්‍රාම ගිය සෙබලුන්ට යම් මුදලක් උපයාගත හැකිවන ලෙස රක්නා ලංකා ආයතනය ගෝඨාභය රාජපක්ෂ මහතා ආරම්භ කළා. මේ ආයතනය සහ ඇවන්ගාඩ් ආයතනය එකතුවී ආරක්ෂක සේවයක් ක්‍රියාත්මක කළා. මෙමගින් රටට විශාල ආදායමක් පැමිණියා. පසුගිය කාලයේ දේශපාලන පළිගැනීමක් ලෙස එය විනාශකර දැම්මා. විශේෂ මහාධිකරණයන්ට පළමුව ගෙන යා යුත්තේ ඩී. ඒ රාජපක්ෂ කෞතුකාගාරය පිළිබඳව සිද්ධියද, මහා බැංකු බැදුම්කර සිද්ධියද.

ආරක්ෂක හමුදා උතුරු නැගෙනහිර ප්‍රදේශවලින් ඉවත්කර ගැනීමට අන්තර්ජාතික ඇතැම් කොට්ඨාස උත්සාහ කරනවා. හමුදාව අඩු කිරීමද ඔවුන්ගේ උත්සාහයක්. හිටපු ඇමැතිවරයෙකු සහ මාගේ හිටපු හමුදාපතිවරයා වූ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා සාකච්ඡාවකදී ප්‍රකාශ කළා, යුද හමුදාවේ බල ඇනි තිස්තුනක් වහන්න යන බව. යුද්ධය අවසන් වූ පසු එල්.ටී.ටී.ඊ තරුණ තරුණියන් විශාල පිරිසක් පුනරුත්ථාපනය කළා. පසුගිය රජය හම්බන්තොට වරාය චීනයට දීමට කටයුතු කළා. මොනවද අන්තිමට අපට ඉතිරි වන්නේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ මුස්ලිම් කටයුතු පිළිබඳ ජාතික සම්බන්ධීකාරක ශිරාජ් යූනුෂ් මහතා -

ඇතැමුන් යම් යම් ප්‍රචාර ගෙන යනවා මුස්ලිම් සමාජය සහ අනෙකුත් කණ්ඩායම් අතර අසමගිකම් තිබෙන බව පෙන්වා දීමට. සමාජ මාධ්‍ය ජාලාවලින් රටට අහිතකර විවිධ දේ ප්‍රචාරය වනවා. ඒවා අප ප්‍රතික්ෂේප කරනවා. මේවා සමගිය නැති කරන්න කරන දේ වශයෙන් හැදින්විය හැකියි. මේවාට රැවටෙන්න එපා කියා මුස්ලිම් ජනතාවගෙන් අප ඉල්ලා සිටිනවා. 2015දී මහින්ද මැතිතුමා පරාජය කිරීමටත් එවැනි අසත්‍ය උපක්‍රම භාවිත කළා. පසුගිය කාලයේ එක්තරා තානාපති කාර්යාලයක පැවැත්වූ උත්සවයකට මා සහභාගි වුණා. එහි සිටි විදෙස් අයට රටේ පවතින ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව සත්‍ය තත්ත්වය පහදා දුන්නා. දිගන සිද්ධිය ඇතිවන විට හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ක්‍රියා කලාපය පැහැදිලි කළා. දිගන ඇතිවූ විනාශයට පල්ලිවලට පැවැති රජය දුන්නේ මොනවාද. සුලු ජාතික පක්ෂයන්හි පිරිස් මේ දිනවල මක්කම වන්දනාවේ ගොස් ඉදිරියේදී කරන කුමන්ත්‍රණ සහ අසමගිය ඇතිකරන දේ කිරීම සාදාචාර නැහැ. ඔවුන් සැමදාම සිදුකළේ ඩීල් සිදුකිරීමයි.තමන්ට මෙච්චර ආසන ප්‍රමාණයක් තිබෙනවා, මෙච්චර ඡන්ද ප්‍රමාණයක් තිබෙන බව ඔවුන් ප්‍රකාශ කරනවා. ඒ නිසා ‍අහවල් ඇමැතිකම අවශ්‍ය බව ප්‍රකාශ කරනවා. ‍මුස්ලිම් සමාජය මෙරට නිදහසට සහ ත්‍රස්තවාදය අවසන් කිරීමට දායක වුණා. ඇතැම් මුස්ලිම් පක්ෂවල නායකයන් සමස්ත මුස්ලිම් සමාජය නියෝජනය කරන්නෙ නැහැ. මහින්ද රාජපක්ෂ අගමැතිතුමා සමඟ එකතු වන ලෙස මුස්ලිම් සමාජයෙන් මා ඉල්ලා සිටිනවා. අනෙකුත් ශ්‍රී ලාංකික සමාජය සමඟ සහජිවනයෙන් සිටියොත් රටේ අනාගතයට යහපත්. තුනෙන් දෙකක බලයක් තිබෙන රජයක් අපි ජනවාරි 05 දින නිර්මාණය කරමු. මහින්ද රාජපක්ෂ අගමැතිතුමා මෙවර මැතිවරණයේ දී අති විහිෂ්ට ජයග්‍රහණයක් ලබා ගන්නවා. නැගෙනහිර සහ රටේ විවිද ප්‍රදේශවල මුස්ලිම් ජනතාව අගමැතිතුමා සමඟ එකතුවීම සඳහා මා සමඟ කතා කරනවා. සුලු ජාතික පක්ෂවල කැරට් අල කන්න එපා කියා මුස්ලිම් ජනතාවට මා ප්‍රකාශ කරනවා. ඔවුන් යහපාලන රජය තමන් රැවටූ බව දැන් ප්‍රකාශ කරනවා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා රට පිළිබඳව දූරදර්ශීව ගත් තීරණය පිළිබඳව අප සතුටු වනවා. පසුගිය පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල අනුව ජනතාවගේ මතය අප දුටුවා.

නීතිඥ කල්‍යානන්ද මහතා-

අග්‍රාමාත්‍ය තනතුරට මහින්ද රාජපක්ෂ මහතා පත් කිරීම සම්බන්ධයෙන් ගැටලු පවතිනවා නම් අධිකරණයෙන් ඒ පිළිබඳව කරුණු විමසිය හැකියි. එක්සත් ජාතික පක්ෂය දන්නවා මන්ත්‍රීවරුන් මිලට ගත්තාට ශ්‍රේෂ්ඨාධිකරණය මිලදී ගත නොහැකි බව. ඒ වගේම පසුගිය පළාත් පාලන මැතිවරණයේදී මේ රටේ ජනතාව පෙන්නවා දුන්නා පැවැති රජයේ ප්‍රතිපත්ති අනුගමනය නොකරණ බව. ජනාධිපතිතුමා ජනතා මතයට සවන් දිය යුතුයි.

නව අදහස දක්වන්න