විසා­කාවෙ දොර­ටුව මට අහි­මිය... | දිනමිණ

විසා­කාවෙ දොර­ටුව මට අහි­මිය...

විද්‍යෝදය හා විද්‍යලංකාර විශ්වවිද්‍යාල ආරම්භ වූ මුල් කාලයේ ඉගෙනුම ලැබූයේ පිරිමි ශිෂ්‍යයන් හා භික්ෂූන් වහන්සේලා පමණි. මේ සරසවි සඳහා ශිෂ්‍ය මාණවිකාවන්ට දොරටු හැරෙන්නේ 1966/67 අධ්‍යයන වර්ෂයේ සිටය. නුගේගොඩ මෙන්ම කැලණියේ ද කාන්තාර සේ දිස් වූ සරසවි බිම්හි මල් පිපී මල් උයන් සිරි ගත්තේ ගැහැනු ළමයින් ගේ සිනා පිරි මුහුණු මේ සරසවි බිම්හි දක්නට ලැබුණු පසුව බවයි ඇතැමුන් එදවස පැවසූයේ. සරසවිය සඟරාව, විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ මහ ශිෂ්‍ය සංගමය විසින් වාර්ෂිකව පළ කරනු ලබන සඟරාවයි. ඊට ආරාධිතයන්ගේ ශාස්ත්‍රීය ලිපි මෙන්ම සරසවි උපාධි අපේක්ෂකයන්ගේ ලිපි හා නිර්මාණ ද ඇතුළත් වේ.

සරසවියට ශිෂ්‍යාවන් පිවිසෙන්නට පෙර වසරේ, එනම්, 1965/66 සරසවිය සඟරාවෙහි පළ වූ අපූරු කවියක මතකය අදත් මසිත රැඳී සිට එහි චමත්කාරය, මිහිර මතකයට නංවන්නාක් සේ දැනේ. මේ කවිය රචනා කොට ඇත්තේ අවසාන වසරේ උපාධි අපේක්ෂකයකුව සිටි සිරිපාල දොඩාවත්තයි. කවිය ඔහු නම් කොට ඇත්තේ විදුදය ආමි යනුවෙනි. ඔහු අද කොහි වේ දැයි මම නොදනිමි. එහෙත් මගේ පළමු වසරේ දී මා ඔහු හඳුනාගන්නේ ඔහුගේ නිර්මාණවලට මා තුළ වූ කැමත්ත නිසාය.

ඔහු මෘදු හඬින් කතා කරන්නෙකි. උස් සිරුරක් ඇත්තෙකි. අද දවසේ ඔහු ගේ රූපකාය හා කටහඬ මට සිහිපත් කරන්නේ මගේ සන්මිත්‍ර කවීන්ද්‍ර පරාක්‍රම කොඩිතුවක්කුය. දොඩාවත්තගේ කවිය අද යළි කියවන කල්හි 70 දශකයේ කවියේ පුරෝගාමියා වන පරාක්‍රමගේ කවිය තුළ දොඩාවත්තගේ කවියෙහි සේයාවක් දකින්නට ලැබෙනවා නොවෙද කියාත් සිතේ. අත්දැකීම, භාෂාව මෙන්ම ආකෘතිය ද එසේ සිතන්නට මා පොලඹවයි. හැටේ දශකයේ මුල් වරට පළ වූ විදුදය ආමි දීර්ඝ රචනාව 2012 දෙසැම්බරයේ දී ලංකා කව් මුතු මිණි පිටුවෙහි පළ වන්නේ හදවත ඇඳි කවිය විශේෂාංගය යටතේය. මාණවිකාවන්ගෙන් තොර වූ විදු බිමක සිප් හදාරන තරුණයකුගේ දුක්ඛ දෝමනස්සයන් මෙන්ම ඔහුගේ ජීවිතයට රිදී ඉරක් සේ එළිය දී මැකී ගිය ප්‍රේමයක චරිතයක් ද හමු වන ප්‍රේම වෘතාන්තයක අතීතාවර්ජනයක් විදුදය ආමි කවියෙන් අප හදට ළං වේ. කවියා විසින් උපයුක්ත භාෂාව, අත්දැකීමෙහි අපූර්වත්වය, මේ කවියෙහි කලාත්මක ගුණය ලෙස දකිමි.

‘ඉන්ද්‍රා...

බිඳී රඟනා

ජල තරඟ පෙළ

වීණාවේ මන්ද්‍ර තත හා ගැටී.....

ඔබ ගයත් වෙණ නද නොවෙත් දෙතොලෙහි වදනක්

රසක් වෙණ නද පිරී ඉතිරී -ලැගුම් ගති මා අඳුරු ලෙහී

**************

ඝොර දුකින් පිරි භව කතරේ

සොර සපුන් පිරි භව කතරේ

ඔබයි එකම මගේ නැළවිලි ගීතය

ඔබයි මගේ දමයන්ත ප්‍රදීපය

*************

මහද නිල් ගුවනත දිලි එක් මැ සඳවත ඔබ ළය සෙවණ දුටත්

ඔබ ළය සිහිල ලදුත්

වැරෙන් ළංවෙත් මා වැරෙන් විසිවෙයි

හැපී බිඳෙන වීණාවේ සුරලක් මෙන්

*******

නිල් කට් රොල් මලෙක ඇවුණු වැට්කොල් මල් සෙයි

නොවෙත් ඔබ

බුදුන් පා මුල බැතින් පිපෙන්නට

ගොහොරු විලෙන් නැගි

සිඟිති පියුම ඔබ

( පදුමා වතා යෙන අලිම්ප මානො )

ඇයිද? නොජනිම් මම් - ඔබ රුව මහද කෙටුනේ

ජල තරඟ පෙල හා - ගැටෙයි තාමත් මන්ද්‍ර තත්

*******

විදුදය ආමි

මියුලැසි දෙනෙත් නුදුටිමි

මරු කතරට වැදුනෙමි

********

නේරංජනාවේ ජීවන දැක්මයි

රොකට් චන්ද්‍රිකා භ්‍රමන තරගයයි

ශිෂ්ටාචාරයෙ සැමරුම් ගොඩලයි

බුද්ධියෙ ඉර හඳ දැල්වෙයි - දිලිහෙයි

********

ඒ හැම මට ඇත

එහෙත් ඔබ නැත

ඔබ නැති තැන මට

ඒ කිසිවක් නැත

*****

පන්ති කාමරේ කළු ලෑල්ල

පිරෙන තුරු ඇඳි ඔබෙ සීගිරි සිතුවම්...

***

‘විදුදය ආමි සිහිලක් නොලද්දෙමි

මෙගෙත්තම් හැඳ තුටුවැ

සැනහී ගියෙමි... ‘

අපොයි උන් ඇවිත්

සේරම මැකුවා

ඊළඟ පාඩම

******

Z2 + Y 2

 

Z2 + 470.05

*******

චන්ද්‍රා

කල්ප ගණනකට පසු

යකඩ ටැඹ පුපුරගෙන

පිපුණු

රතු නෙලුම ඔබ

**********

සැමදා මා නැගි බස් රියෙ ඔබ නගිත් නගිත්

රන්වනක් රන් අතින් ගත් මල් පත් සෙය්

දෑතෙහි පොත් පත් ළමැද තරව

සිනා වුවන බිම යොමා

අසුන හිඳ යළි - සිනා පා ඉඟි මරා

කවුලුව දෙස ඔබ බලා ඉඳිද්දී

ප්‍රබෝධයෙන් පිරි අලෝකය

විනිවිද යත් මැ මස් නහර ඇට

දිවියෙහි අරුත් ඇතැ'යි පළවෙයි

*******

අඩ අඳුරේ

සිහින ලොවට

එයි ඔබ....

********

‘පීන පයෝධර හාරා ලලිත රචිත තනු මාධ්‍යා

නීලෙන්ද්‍ර වර නයනා කෙයං මනෝ රමා රමා ‘

ආදරයේ ඉහිල් වසන් ගිලිහී යත් යත්

ඔබ රන් බඳ, පා නිතඹ දකුත් දකුත්

මා මන ජැල්වෙයි

( දිවියෙහි අරුත් ඇතැ'යි පළවෙයි )

******

පෙමට බරව දඟ කරන කියඹු වැල

හේම වරුණ වර්ණවූ පයෝධර

ඉන්ද්‍ර නීල මිණි කැල්ම දෙනෙත් තුළ

පොපියන දෙතොල'ග නිමැවී ගොළුවුණ

කියාගන්න බැරි

නවකතාවෙ මුල.......

********

විසාකාවෙ දොරටුව මට අහිමිය

විජේරාම හන්දියෙන් බැසිය යුතු

කිසියම් දිනක දි විසාකාව තෙක්

මා පැමිණිය හොත් එළිය සොයාගෙන

යකඩ ගේට්ටුවෙ

එහා පැත්තෙ සිට

ඔබ මට කියාවි

ඔහුට වගේ........

‘ මම ඔබ නොහඳුනමි

මට ඔබ මතක නැත ‘

දශක හයකටත් වඩා දිගු කාලයකට පසුව වුව එදවස සොඳුරුතම කවියක මිහිරට එක්වන්නට ලැබුණේ අහම්බයකින් මෙන් වුවත් එය වර්තමාන කවි රසික පරපුර සමග එක්ව බෙදා ගන්නට ලැබීම පිළිබඳ සියුම් සතුටක් දැනෙන බව සටහන් කළ යුතුය. සිරිපාල දොඩාවත්ත කවියා ගේ ප්‍රේම වෘතාන්තයේ හමුවන ඉන්ද්‍රා හා චන්ද්‍රා ගේ චරිත ඔහු විනිවිද දකින'යුරු හා ඒ චරිත ද්වය සමග නිරූපිත සොඳුරු, අඳුරු මතක අප හමුවට ගෙන ඒමට ඔහු විසින් භාවිත භාෂාව ( සීගිරි කවියක බස ද සමගින් ), උපමා හා රූපක කාව්‍යොක්ති මතු නොව මවන ප්‍රබල සංකල්ප රූප කවියාගේ ජීවිතයේ පමණක් නොව අපගේ ජීවිතයේ ද සහානුභූතියක් බවට පත්කිරීමට සමත්ව තිබෙනු දැනේ. පළමු පෙම්වතිය චන්ද්‍රා මෙන්ම සරසවි මාණවකයකුව සිටි සමයේ ඔහුගේ ෆැන්ටසිමය ආදරය වූ විසාකාව ද අතීත මතක ගොන්නට එක්ව හමාරය. එහෙත් ඔහුට ඒ අතීත මතකවලින් මිදෙන්නට නොහැකිය. කවියා ඉතා ප්‍රශස්ථ ලෙස පැරැණි භාෂාව මෙන්ම නවීන භාෂාවේ යෙදුම් ද සම්මිශ්‍රණය කොට ගෙන ඇත්තේ අනුභූතිය අර්ථපූර්ණව නිර්මාණය කරමිනි.

‘ඒ හැම මට ඇත

එහෙත් ඔබ නැත

ඔබ නැති තැන මට

ඒ කිසිවක් නැත '

‘හේම වරුණ වර්ණවූ පයෝධර

ඉන්ද්‍ර නීල මිණි කැල්ම දෙනෙත් තුළ

පොපියන දෙතොල'ග නිමැවී ගොළුවුණ

කියාගන්න බැරි නවකතාවෙ මුල... ‘

කවියා තම පරිකල්පනය මගින් නිර්මිත අපූරු අවස්ථා දෙකක් සඳහා උපුටා දැක්විය හැකි නිදසුන් දෙකක් පමණි ඉහත දක්වා ඇත්තේ. නවීන කවියකුට දොඩාවත්ත කවියාගේ නිර්මාණයෙන් උගත හැකි පාඩම් බොහෝ වෙතැයි සිතමි. එදවස මෙන්ම මෙදවස ද සොඳුරු ලොවකට රැගෙන යන ප්‍රේමය පිළිබඳ ලියැවුණු රමණීය ප්‍රේම කාව්‍යයක් නොවේද විදුදය ආමි ඉහත පද්‍ය කාව්‍යය? එහෙත් එවන් රමණීය කවියක් අපට දායාද කළ කවියා හමු නොවීම නම් දුක්බර අත්දැකීමකි.

බුද්ධදාස ගලප්පත්ති


නව අදහස දක්වන්න