සිත නිවන සිත්ත­මක අසි­රිය | දිනමිණ

සිත නිවන සිත්ත­මක අසි­රිය

නිතර ම, ඇතැම්විට දිනපතා ගමන් කරන පාරේ වුවත් නිල්ලෙන් ගහණ කඳුවැටියක් වැනි සුන්දර තැනක් දකින විට රිය කවුළුවෙන් නෙත් යොමා එදෙස බලා සිටින්නට මම පුරුදුව සිටිමි. මා අපේ ගමට ආසන්න සුන්දර කඳුවැටියක් දෙස මෙසේ බලා සිටිනු දුටු බසයේ මා අසල වාඩි වී සිටි දන්නා කියන තැනැත්තෙක් මගෙන් මෙසේ විමසී ය.

“හැමදාම යන පාරේ මොනවද ඔයහැටි බලන්න තියෙන්නෙ?”

මම සිනහවක් පා නිහඬ වීමි. මට නම් නිරන්තරයෙන් දකින සුන්දර දසුනක් දෙස වුව ද යළි යළිත් බලන්නට සිතෙයි. හැමදාම දකින සුන්දරත්වයේ වුව ද වෙනදා නොදුටු අමුත්තක් යළි යළි බලන විට දක්නට ලැබෙයි. අප අවට පරිසරයේ දිනෙන් දින වෙනස්කම් කෙතරම් සිදු වේ ද? පෙර දින පිපී නොතිබුණු මල් පිපී තිබෙයි. පිපිණු මල්වලින් පරිසරයේ සිතුවම සම්පූර්ණයෙන් ම වෙනස් වෙයි. වැස්ස, අව්ව ආදී පරිසර සාධක ද ඈතින් දකින පරිසර සිත්තම දිනෙන් දින වෙනස් කරයි. ඉතින් මෙකියන පරිසර විචිත්‍රත්වය විඳින්නට සිතට බල කෙරෙයි.

ටික කලකට පෙර මම දුරබැහැර මළ ගෙදරකට සහභාගී වූයෙමි. දොළොස්බාගේ සිට යායුතු වූයේ මහා කන්දකට ය. මාර්ගයේ තාර හා කොන්ක්‍රීට් දමා තිබුණ ද එය සැබවින් ම දුර්ග මාර්ගයක් විය. අප ගමන් කළ වෑන්රියට සෙනඟ පටවා ගෙන ඇතැම් තැන්වල ගමන් කළ නොහැකි විය. ඉතින් සිදුවූයේ රථයෙන් බැස අසීරු දුර්ගය පයින් යන්නට ය. අසල කැළෑවල රුවට රුවේ පිපී තිබුණු සෞම්‍ය කලාපීය මල් විඩාබරව කඳු අඳින නෙතට ඉමහත් සැනසීමක් විය. බෙහෙවින් ම දුෂ්කර ග්‍රාම්‍ය පෙදෙසක පිහිටි මළ ගෙදරට ගිය පසු මම එම පරිසරයෙන් මඳකට මිදී එපිටින් කපොල්ලක් වැනි තැනක පිහිටි දර්ශනාවලියට නෙත් යොමු කළෙමි. ඈතින් පිහිටි තේ වතු ලඳු කැලෑවලට මීදුම බා තිබිණි. දර්ශනය අතිශයින් සුන්දර ය.

අපේ රටේ ජීවත්වන මිනිස්සු සිය ඒකාකාරී රාජකාරියෙන් මෙන් ම එදිනෙදා ඒකාකාරී දිවි සැරියෙන් හෙම්බත් වෙති. ආර්ථිකය, දේශපාලනය, ඉගෙනීම මෙන් ම දරුවන්ට ඉගැන්වීමේ තරගකාරිත්වය ද අතිශයින් මිනිසුන්, ගැහැනුන්, දරුවන් විඩාපත් කරයි. ඉතින් විවේකයක් ලද සැණින් පවුලේ අය හෝ පවුල් කීපයක් එක්වී හෝ දුර බැහැරකට යාම අපේ සාමාජිකයන් හුරුපුරුදු කරගත් රටාවක් බවට පත්ව ඇත්තේ ය. වෙහෙසකර රාජකාරිය නිමවී ලැබෙන නිවාඩු දිනය කොහේ හෝ සුන්දර තැනකට ගොස් සංචාරය කොට (අඩු තරමින් මසකට වරක්වත්) එන්නට පුරුදු පුහුණු වූ පවුල් බරින් තොර තරුණයෝ අපේ රටේ සිටිත්. ස්මාට් ෆෝනය, කැමරාව, උකුළු පරිගණකය යන අංගෝපාංග සහිතව මෙසේ යනෙන තරුණයන් මට හමු වී ඇත. (උකුළු පරිගණකය යන වචනය මා ලබාගත්තේ ‘විජයානි නාලිකා කරුණාතිලක’ මුහුණු පොතේ සටහන් කළ කව්පෙළකින් බව ස්තුති පූර්වකව සටහන් කළ යුතු ය. එම වචනයේ නිර්මාතෘවරිය විජයානි ද නැත්නම් වෙනත් අයෙකු නිර්මාණය කළ වදනක් විජයානි යෙදුවා ද යන්න මම හරිහැටි නොදනිමි. කෙසේ වෙතත් ඉංගිරිසි බසේ වචනවලට අලුතින් තද්භව වදන් යෙදීම ගැන උනන්දු සිත් ඇති මට එය අපූරු යෙදුමකි.)

පොළොන්නරු චාරිකාවක දී තෝපා වැව් කණ්ඩියේ ඇති තානායම අසලට යන්නට බොහෝ දෙනෙක් කැමති වෙත්. තානායම අසල පිහිටි ඉපැරණි රළපනාව දැක ගත හැක්කේ මෙතැන දී ය. හිරු කිරණ වැටුණු සුන්දර උදෑසනක දී රංචු පිටින් වැවට බැස එක පෙළට වැව මත පාවෙන දිය කාවන්ගේ දසුන ඉතා සුන්දර දසුනකි. ඒ දියකාවන් අපට සුන්දරත්වය ගෙන ඒම සඳහා කරන සෙල්ලමක් නම් නො වේ. ඔවුන් එක පෙළට ගමන් කරමින් කරන්නේ වැවේ මාළු රංචු වටකිරීමකි. දියකාවුන් මාළු වටකරමින් කරන සෙල්ලම දෙස පසෙක සිට පිලිකන් කුරුල්ලෝ බලා සිටිත්. (පැස්තුඩුවා) උහු හෙමි හෙමින් දියකාවුන් විසින් වටලනු ලබන මාළු ගිල දමත්. දියකාවුන් එක පෙළකට පියාඹා එන හා යන ආකාරය ද ඔවුන් වැව් දිය මත පාවෙන ආකාරය ද අපේ නෙතට සිතට දනවන්නේ සොබා දහමේ අපූරු විචිත්‍රත්වයයි.

මේ විචිත්‍රත්වය අතීතයේ සිට විවිධ ලේඛකයන්ගේ වර්ණනාවට බඳුන් වූවකි. 1928 දී ලංකාවට පැමිණ දිගු කලක් ගල්කිස්සේ ශාන්ත තෝමස් විද්‍යාලයේ ගුරුවරයෙකු සේ සේවය කළ සුදු ජාතිකයකු වන ‘ඩබ්ලිව්. ටී. කීබල්’ ද පොළොන්නරුවේ තානායම අසල දී තමන් විසින් විඳින ලද සුන්දරත්වය ඔහුගේ CEYLON BEATEN TRACK නම් කෘතියේ (පුරුදු පාර - පරි: ප්‍රේමචන්ද්‍ර අල්විස් - සූරිය ප්‍රකාශන) මෙසේ විස්තර කරයි.

“තානායමේ ඉදිරි ආලින්දය අබියස ගන වන කවයක් මැද පිහිටි තෝපා වැවේ නිසල ජලතලය සුදුවන් වලාකුළුවල ප්‍රතිබිම්බය රැගෙන කැටපතක් සේ දිලිසුණේ ය. සිය හොට පසු පෙදෙසේ පෙඳ අතර සඟවාගෙන දිගු සිතිවිල්ලක ගැලුණු පෙලිකන්නු දෙදෙනෙක් වැව් දිය මත පාවෙමින් සිටියහ. ක්ෂණිකව ඉන් එකෙක්, එකක් දිගින් අඩි තුනක් පමණ වූ දෙපියාපත් දෙපසට විහිදුවා, හිස පසුපසට තෙරපා, දෙපය ද එකතු කොට පස්සට විහිදා වේගයෙන් පියා සලා ජල තලයෙන් මඳක් උඩට නැගී ඊට සමීපයෙන් ම පියාඹා ගොස් වැව් දියේ වෙනත් තැනකට පාත් වූයේ ය. එකෙණෙහි ම උගේ දිගු ගෙළ දිය යට කිමිදිණි. ක්ෂණිකව යළි දියෙන් උඩට ආයේ ය. හොට අහසට යොමු විය. උගේ දිගු ගෙළෙහි රැලි කීපයක් නැගිණි. පෙර සේ ම සිය දිගු හොට පපුවේ පෙඳ අතර සඟවා ගත් පෙලිකනයා යළි දිගු සිතිවිල්ලකට වැටුණාක් මෙන් නිශ්ශබ්ද විය. පෙලිකනයා අසලින් ම ක්ෂණිකව මතු වුණු දියකාවෙක් ඒ විශාල කුරුල්ලා දැක, යළිත් ජලතලය තුළ කිමිද නොපෙනී ගියේ ය. වැවේ ඈත කෙළවරකින් නාද නංවමින් ගුවන් ගත වුණු සේරු රෑනක් වඩාත් හුදකලා තැනක් සෙවීමට දෝ වනපෙතට ඉහළින් ඉගිල ගියහ. තෝපා වැව හැමවිට ම නෙත්කලු ය. සිත්කලු ය. එහි දිදුලන දිය තලාව අද්දර සක්මනෙහි යෙදෙන්නෙකුගේ දෑස පිනවන කිසියම් දසුනක් දක්නට නොලැබෙතොත් ඒ ඉතා කලාතුරකින් පමණි.”

පොළොන්නරුවේ පැරණි නටබුන් නුවර නරඹන අතර ම, මින්නේරිය ආදී වනෝද්‍යාන නරඹන්නට යන්නෝ ද බොහෝ ය. වරක් මා පරාක්‍රම සමුද්‍රයේ වෑ කන්ද දිගේ අංගංමැඬිල්ල බලා යන අතර දුටුවේ සමුද්‍රයේ දිය නාන, එහි වැව් පිටිවල ක්‍රිකට් ක්‍රීඩා කරන සති අන්ත විනෝදකාමී පිරිස් ය.

පොළොන්නරුව මතු නො වේ. ත්‍රිකුණාමලය ද විඩාබර සිතක නෙතක විඩාව මඟ හැරලන සංචාරය උදෙසා කදිම තැනකි. මාබල් බීච්, නිලාවේලී වැනි සුන්දර මුහුදු තෙරක දිය නාන්නට නැත්නම් කන්නියාවේ උණු දිය උල්පත්වලින් දිය නා විනෝද වන්නට ප්‍රිය කරන්නෝ බොහෝ ය. නගරයේ ඇවිද යන විට සිතාගන්නටත් අසීරු ආකාරයට තැනින් තැන මුහුදු කඩ මතුවන විවිධ කළපුවලින් සුසැදි කොඩ්ඩියාර් බොක්කේ එක් කෙළවරක තුඩුව කේන්ද්‍ර කරගත් ත්‍රිකුණාමල නගරය සැබවින් ම සාගර නගරයක් සේ ය.

එහි ඇති අතීතයේ දී (1658 සිට) පැගෝඩා හිල් (Pagoda Hill) නමින් හැඳින්වුණු 1803 දී බ්‍රිතාන්‍යයන් විසින් යොර්ක් ආදිපාදවරයාගේ නමින් ෆෙඩ්රික් කොටුව (Fort Fredrick) නමින් නම් කරන ලද බලකොටුවේ කොටු දොරටුවෙන් ඇතුළු වී ටික දුරක් ගමන් කළ විට තුඩුවේ කෙළවරට ගමන් කළ හැක. තුඩුවේ කෙළවර ‘සාමි රොක්’ නමින් හැඳින්වෙන විසල් ගල් පරයයි. හින්දු බැතිමතුන්ගේ අපමණ ගෞරවාදරයට පාත්‍ර වූ කෝනේශ්වරම් දේවස්ථානය පිහිටා ඇත්තේ මෙම ගල් පරයේ ය. දේවාලය සහිත ගල්පරය ශීඝ්‍ර බෑවුම් සදමින් තුන් පැත්තකින් මුහුදට බෑවුම් වෙයි. ගල් කුළින් එබී බැලූ විට දක්නට ලැබෙන්නේ ගණ නිල් පෑ මුහුදු ජලයයි. එතැන පහතින් ඇත්තේ කොඩ්ඩියාර් බොක්ක නො වේ. ඉන්දියන් සාගරයයි. ඍජුව ම මුහුදට බෑවුම් වන බිය දනවන සුලු තැනක් ඇත. එතැන හැඳින්වෙන්නේ ‘ලවර්ස් ලීෆ්’ නමිනි. කොටුවේ ලන්දේසි නිවස්නක විසූ ‘ෆ්‍රැන්සිනා වැන්රීඩ්’ නම් නව යෞවනිය තරුණ ලන්දේසි නිලධාරියෙකු හා පෙමින් බැඳී සිටියා ය. හදිසියේ ම සම්බන්ධය බිඳ වැටී තරුණයා ඕලන්දයට යන්නට තීරණය කිරීම ෆ්‍රැන්සිනාට දරා ගත නොහැකි විය. ඔහු පිටත් වන දිනයේ ඈ කවුළුවෙන් බලා සිටියා ය. නැවේ රුවල් දිග හැරෙනු ඇයට පෙනිණි. නැව සාමි රොක් තුඩුව අසලින් ගමන් කරන විට ඈ තුඩුව මතට දිව ආවා ය. බිහිසුණු විලාපයක් නගමින් ගල් පරයෙන් මුහුදට පැන්නා ය. අමාරුවෙන් ගොඩ ගනු ලැබුවේ තැලී පොඩිවී ගිය ඇගේ මළ සිරුරයි. අතීතයේ මෙතැන ඇගේ නමින් සිහිවටනයක් තිබුණේ ලු. අද එය නැත. අද එතැන වැටකි. තවත් බොහෝ දෙන එතැනින් ඈ ගිය මග යන්නට ගිය හෙයින් වැට බැඳිණි.

ඇයි මේ ගැන ම. කලාවැව, රූමස්සල, පිදුරංගල, බලන කපොල්ල ඔබ තව බොහෝ තැන් සිහිපත් කරනු ඇත. ඒ තැන් මතු නො වේ. මුළු මහත් ශ්‍රී ලංකාව ම සුන්දර තැන්වලින් පිරී ඇත. ඒකාකාරී රාජකාරියෙන් හෙම්බත් වූ ඔබේ සිත නිවන්නට ඒ තැන් සැදී පැහැදී සිටී.

 මහානාම දුනුමාල


නව අදහස දක්වන්න