පල­ස්තීන කවි පලස | දිනමිණ

පල­ස්තීන කවි පලස

මෑතකදී අමෙරිකානු ජනාධිපති ඊශ්‍රායලයේ අගනුවර ජෙරුසලම ලෙස පිළිගන්නා බව ප්‍රකාශ කිරීමත් සමඟම මුස්ලිම් රටවලින් ඊට එරෙහිව නොයෙක් විරෝධතා පැවැත්වුණි. එසේම මේ සිද්ධි‍යත් සමඟම පලස්තීනයේ ජාතික කවියා ලෙස සැලකෙන මොහොමඩ් ඩාවිෂ් (Mahmoud Darwish) ගේ ජෙරුසලමේදී නමැති කවි පෙල සමාජ ජාලා ඔස්සේ නැවැතත් පැතිරෙන්නට විය. කොහොමටත් ඩාවිෂ්ගේ කවි පලස්තීන ජනයා තුළ පමණක් නොව යුදෙව්වන් අතර පවා ජනප්‍රියය.

ගැලීලියේ කුඩා ගමක උපන් ඩාවිෂ්ගේ පියා ඉඩම් හිමි වැවිලිකරුවෙකි. මව මළ පොතේ අකුරක් නොදත්තියකි. එහෙත් ඩාවිෂ්ගේ මිත්තණිය ඔහුට ලිවීම, කියවීම කියා දුන්නාය. ඔහු විසූ ගම ඊශායල හමුදා විසින් විනාශ කෙරුණි. ඉන්පසු ඩාවිෂ්ගේ පවුලේ අයට ජීවත්වීමට සිදුවූයේ ලෙබනනය තුළ දෙවැනි පෙල පුරවැසියන් ලෙසිනි. එහෙත් පසු කලෙක ඩාවිෂ් මෙසේ ප්‍රකාශ කරන්නට යෙදුනි. “මම ඊශ්‍රායලයට ප්‍රේම නොකරමි.” එහෙත් යුදෙව්වන්ට වෛර නොකරමි.”

‍මොහොමඩ් ඩාවිෂ් පලස්තීනයට සීමා නොවී ජනප්‍රියත්වයක් ලබන්නේ ඔහු තුළ වූ ජාත්‍යන්තරවාදි, මානවවාදි දැක්ම නිසාය.

ඩාවිෂ් වයස 19දී සිය ප්‍රථම කවි එකතුව Wingless Birds (පියාපත් සිඳුණු කුරුල්ලෝ) නමින් පළ කළේය. එකල ඊශ්‍රායලයේ කොමියුනිස්ට් පක්ෂයේ පුවත්පතෙහි ඩාවිෂ්ගේ කවි නිතර පළ විය. පසුව ඔහු එම පුවත්පතේ කතුවරයා බවට ද පත්විය. ඩාවිෂ් පසු කලෙක ඊශ්‍රායල කම්කරු පක්ෂයේ සාහිත්‍ය සඟරාවේද කතුකම් දැරුවේය.

1970දී සෝවියට් දේශයට යන ඩාවිෂ් එහි ලොමොනොසොව් රාජ්‍ය විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනය ලබයි. පලස්තීන විමුක්ති සංවිධානයට සම්බන්ධ වීමෙන් පසු ඔහුට යළි ඊශ්‍රායලයට ඇතුළු වීමට ඉඩ නොලැබේ.

පළමුව ගත් කතුවරියක සමඟද දෙවනුව ඊජිප්තු ජාතික පරිවර්තිකාවක සමඟද විවාහ වූ ඩාවිෂ් ලියා ඇති පෙම් කවිද තරුණ තරුණියන් අතර ජනප්‍රිය ය. “රීටා සහ රයිෆලය” යනු එබඳු කවකි. පහත දැක්වෙන්නේ එහි සරල පරිවර්තනයකි.

රීටා සහ මගේ දෑස් අතර

රයිෆලයකි

කවුරුත් දනිති ඇය

දණින් වැටී

දෙවියන් යදින්නියක බව

ඇගේ තුරුණු වියේදී

මම ඈ සිපගෙන ඇත්තෙමි

මතකයට නැගෙයි

ඈ මා වෙත පැමිණියුරු

ඇගේ වරලසෙහි

මගේ දෑත්

සැඟවුනු සැටි

ගේ කුරුල්ලකු

ගමන් මඟ

මතක තබා ගන්නා සේම

මට ද ඒ සැම මතකය

අහා ! රීටා

සහස් ගණන්

ගේ කුරුල්ලන්

එසේම

ඒ අතර

දහස් ගණන්

වෙඩි වරුසා

රීටා යන නම මගේ මුවෙහි

සතුට දනවන

උළෙලක් බඳු විය

ඇගේ සිරුර

මට මංගල්‍යයක් විය

දෙවසරක් පුරා

මගේ දෑතෙහි

සැතපුණු ඇය

දෙවසරක්ම අහිමිව ගොසිනි

මිදි බඳුන්

රැ‍ඳෙන විට අප දෙතොල

කළ බොහෝ පොරොන්දු

දුරුව ගොසිනි

ඔබේ පැණි පැහැති දෑස

යළිදු හමු නොවන සේය

එකමත් එක කලෙක

හිමිදිරි උදෑසන නිහැඬියාවේ

මගේ සඳ බොහෝදුර

සැඟව ගොසිනි

රීටා සහ මගේ දෑස අතර

රයිෆලයකි

යුදෙව් තරුණියක සමඟ ඩාවිෂ් ඇති කරගත් පෙම් සබඳතාවක් පිළිබඳ ලියැවුණු මෙම කව පසුව ජනප්‍රිය ගීතයක් බවටද පත්විය. එසේම මෙම පෙම් සබඳතාව තේමා කර ගනිමින් සිනමාකරු ඉබ්ටිසාම් මෙනුහිම් විසින් “Write Down I am an Arab” නමින් චිත්‍රපටයක්ද නිපදවීය. මුස්ලිම් හා යුදෙව් ප්‍රේම සබඳතා දැන් ඉතා විරලය. එහෙත් කලකට ඉහත එකම අරමුණක් සඳහා සටන් වැදුණු යුදෙව් මුස්ලිම් කොමියුනිස්ට්වාදීන් අතර එබඳු සබඳතා ගොඩනැගුණි.

ඩාවිෂ් අවසන් වරට ඊශ්‍රායලයට ගියේ 2007 වසරේදී එහි පැවැති කවි කියවීමේ උළෙලකට සහභාගි වීමටය. එහිදී ඔහු ෆාට සහ හමාස් යන සන්නද්ධ කණ්ඩායම් දෙකේම ක්‍රියා කලාපය විවේචනය ක‍ළේය.

ඩාවිෂ් තම ජීවිත කාලය තුළ කාව්‍ය ග්‍රන්ථ 30ක් ද වෙනත් කෘතීන් 8ක් ද ප්‍රකාශයට පත් කර ඇත. ඔහුගේ කෘතීන් භාෂා 20කට පමණ පරිවර්තනය වී ඇත. ඔහුගේ කවි ඇසුරින් ගීත මෙන්ම වෙනත් සංගීත නිර්මාණයන්ද බිහිවී ඇත. හෘද රෝගයකින් පීඩා විඳි මෙම විශිෂ්ට කවියා 2008 අගෝස්තු 9 වැනිදා අමෙරිකාවේ ටෙක්සාස් නුවර රෝහ‍ලකදී මිය ගියේය. ඊට දිනකට පසු ඔහුගේ අවසන් කටයුතු ජෝර්දානයේදී සිදු කෙරිණි. මෑතකදී යළි අවධානයට ලක්වූ ජෙරුසලමේදී නමැති කව් පෙල විවිධ ආගමික මතවාද දරන කණ්ඩායම් ඉලක්ක කරගත් යටි අරුත් සහිත නිර්මාණයකි. එය වඩාත් දැනෙනු ඇත්තේ පලස්තීන, ඊශ්‍රායල ගැටුමට මැදිවූ ජෙරුසලම නමැති ඓතිහාසික පුරවරය පිළිබඳ දැනුමක් ඇත්තන්ටය.

ජෙරුසලමේ

ඉපැරණි බිත්ති අත

මම ඇවිද යමි

මතකයේ

මඟ පෙන්වීමකින් තොරවම

යුගයෙන් යුගයට

ඉහළ අහසේ සිට

ශාස්තෲවරු බලා සිටිති

ශුද්ධ වූ ඉතිහාසය

බෙදාහදා ගනිමින්

ප්‍රේමයේ සහ සාමයේ

ශුද්ධත්වය

මම නින්දෙන් ඇවිද යමි

හැරී බලමි

කිසිවකු නැත මා පසුපස

ඉතිහාසයේ වාර්තාකරුවන්

පැවසු දෙය

ආලෝකය ගැන

නොතකමින් කිම

යුද ගිනි අවුළු වන්නේ

මේ සියලු ආලෝකයන්

මා වෙනුවෙනි

ඉදින් මම ඇවිද යමි

සැහැල්ලු බවට පත් වෙවි

ඉගිල යමි

රූපාන්තරණය වෙමි

වෙනකෙකු බවට

පණිවිඩකරුවකුගේ

හඬ මට ඇසේ

‘විශ්වාසය නැති තැන

ඔබට ආරක්ෂාව නැත’

ඉදින් මම අනෙකකු සේ

ඇවිද යමි

මගේ දෑත් කුරුසය මත ඇති

පරෙවියන් දෙදෙනකු සේ

ඉගිල යයි

ඔසවා ගැනුමට ලොව

තැනක් නැත

කාලයක් නැත

කවරෙකුද මා

මම සිතමි මා ගැන

ඇසෙයි මට මහම්මත් තුමාගේ

ඉපැරණි අරාබි වදන්

‘මෙයින් පසු කුමක්ද?’

සැබවින් මම

මෙයින් පසු කුමක්ද?

සෙබළියක හඬ නඟයි

‘නැවතත් මේ නුඹමද?

මා නුඹ මරා දැමුවා නොවෙද’

මම මෙසේ පවසමි

‘ඔව් ඔබ මා මරා දැමුවා

එහෙත් මට අමතක විය

මිය යාමට

නුඹට මෙන්ම’

පලස්තීන චිත්‍ර ශිල්පියෙකු වූ අද්නන් අල් ෂරිෆ් එක් වරක් මෙසේ පැවසුවේය.

‘පලස්තීන චිත්‍ර ශිල්පියෙක් භූමි දර්ශනයක් සිතුවම් කළත් එහි කිසියම් තැනක ඔහුගේ වේදනාව සැඟ වී තිබෙනවා. ඒ නිසාම එය ඔහුගේ භාව ප්‍රකාශනයේ ආත්මය බවටද පත්වෙනවා‍.’

අල් ෂරිෆ්ගේ මෙම ප්‍රකාශනය සියලු පලස්තීන කවීන්ට පොදු හැඳුනුම්පතක් බඳුය. ඔවුන්ගේ සියලු නිර්මාණයන්හි පිළිබිඹු වන්නේ අසරණභාවය, අභෞමිකභාවය සහ විමුක්තිකාමීත්වයයි. පලස්තීනයේ පුරපතිවරයකුවද සිටි තවුෆික් සියාඩි (Tawfiq Ziad) ගේ ඔලිව් ගස නමැති කවද ඊට මහ නිදසුනකි. තවුෆික් කවියා ඔලිව් ගසේ කොටා තබන්නේද පලස්තීනුවන්ගේ එම සාමූහික විඥානයේම හැඩරුවයි.

‘ඔලිව් ගස’

ගෙත්තම් කරමින්

කල් ගෙවුමට

විවේක සුව නැත මට

නිතර ලුහුබඳින නිසා මා පසුපස

නිතර මා නිවස සෝදිසි කෙරෙන නිසා

කඩදාසියක්වත් නොසතු හෙයින්

ගෙඋයනේ ඔලිව් ගසෙක

කොටා තබන්නට සිතුවෙමි

මගේ සියලු රහස්, මගේ මතක

ප්‍රේමයේ හා අපේක්ෂාවේ

ජවනිකාවන්ද

මගේ ශෝකාන්තයේ

අමිහිරි පිළිඹිබුද,

සොරාගත් දොඩම් වතු හා

අහිමි වූ සොහොන් කොත් ගැනද

කොටා තබන්නට සිතුවෙමි

මතක සටහනක් සේ

මතු දවස නැගෙන තුරු ජයගොස්

උන් සොරාගත් අපේ දේපළෙහි අංකයන්

සිතියමෙහි මගේ ගම පිහිටි තැන

වනසා දැමු ගේදොර උදුරා දැමු ගහකොළ

පොඩිකර දැමු මල්ගොමු

කෙටිය යුතුමැයි ඒ සියල් තතු

වධයට ලක්වුවන්ගේද

ඔවුන් බැඳි යදම් නිපදවූවන්ගේද

රැඳ වූ සිපිරි ගෙවලද

සියලු නම් ගම් ,

රැකවලුන් කළ ශාපයන්

නැඟු දෙස් දෙවොල්,

කොටා තබන්නෙමි , එකිනෙක

අපේ පොළව රත් පැහැ කළ

සදාදරණීය යාසිම්

සදාදරණිය කාසිම්

ඔබ රැ‍ඳේ සදාකල් මතකයේ

කොටා තබනෙමි ඔබේ නාමයන්

සියල්ලටම ඉහළින්

කොටා තබන්නට සිතුවෙමි

මා දරා සිටි

නිමක් නැති දුක් වේදනාවන්

ශෝකයේ හිණිපෙතෙහි

මුදුන් පෙතටම නැඟුණු

හිරුගේ පැමිණිලි

සඳුගේ මිමිණිලි

සියොතුනගේ ගී හඬ

නැගෙන මේ පාළු බිම

සිහිගන්වන බොහෝ දේ

කෙටිය යුතුමැයි මේ

ගෙඋයනේ ඔලිව් ගස මත

දිගින් දිගටම

කපිල කුමාර කාලිංග


නව අදහස දක්වන්න