සීයට සීයේ ප්‍රති­ඵල සෙල්ලම | දිනමිණ

සීයට සීයේ ප්‍රති­ඵල සෙල්ලම

ටොම්සන් මහත්තයාත්, ඇම්බන් මහත්තයාත්, උන්නැහේත් හැටන් පැත්තේ ගියේ මේ දවස්වල පාරවල් නාය යෑම ගැන තොරතුරු ටිකක් සොයන්නටය. ඒ අතර ඔවුන් දුටුවේ බස්නැවතුම් පොළේ සිටින පාසල් ළමයින් රංචුවක් දෙසය. ඔවුන්ගේ මුහුණු මැළවිලාය. මොකක්දෝ ශෝකයකින් ඔවුන් කම්පනයට පත් ව සිටින බව ඔවුන්ට වැටහුණි.

‘ඇයි මොකද මේ ළමයි ටික බොහොම දුකින් වගේ...?‘ කියා ඇසුවේ ටොම්සන් මහත්තයාය.

ළමයි රංචුව කට හඬ ඇසුණු පැත්ත දෙස හැරි බැලූහ.

‘ඔව්... බොහොම දුකින් තමයි...‘ කියා එක් දැරියක් කීවාය.

‘ඒ මොකද කියලා කියන්න පුළුවන්ද?‘ කියා ඇසුවේ ඇම්බන් මහත්තයාය.

‘මේකනේ මාමා... අපිට ඉගෙන ගන්න බෑ කියලා... මේ සැරේ සාමාන්‍ය පෙළ විභාගයට අපේ ඉල්ලුම් පත්‍ර දැම්මේ නෑ නේ... ඉතින් අපි මේ කතා කර කර හිටියේ ඒ ගැනයි..‘ කියා තවත් දැරියක් කීවාය.

‘මොකක්ද කිව්වේ... සාමාන්‍ය පෙළට ඉල්ලුම් පත්‍ර දැම්මේ නෑ... ඒ මොකද? මට නම් තේරෙන්නේ නෑ... දැන් මේ ළමයි 11 වෙනි ශ්‍රේණියේ නෙවෙයිද ඉන්නේ..?‘

‘ඔව්... එහෙම තමයි.. ඒ වුණාට අපිට ඔය ඉස්කෝලේ තියෙන විෂය නිර්දේශ ඉගෙන ගන්න අමාරුයි... අපට ඉගෙන ගන්න පුළුවන් දේවල් ඉස්කෝලේ උගන්නන්නේ නෑ.. ඉතින් ඔය විෂයයන්ට අපි විභාගේ ලිව්වොත් ෆේල්ම තමයි... එතකොට ඉස්කෝලෙට සීයට සීයක් ප්‍රතිඵල පෙන්නන්න බෑ නේ.. ඒ හින්දා විදුහල්පතිතුමා කිව්වා අපට විභාගෙට ඉල්ලුම් පත්‍ර දාන්න එපා කියලා...‘

‘ඒක නම් මහ පුදුම කතාවක්... එතකොට මේ ළමයි 11ට එනකම් ඒ ඉස්කෝලවල උගන්නලා තියෙන්නේ මොනවාද?‘ කියා ඇම්බන් මහත්තයා පුදුමයෙන් ඇසුවේය.

‘ඒකටත් වඩා ඇම්බන් මහත්තයා... විභාගෙට ලියන එක ළමයින්ගේ අයිතියක් නේ... ඒක කොහොමද මේ විදුහල්පතිවරු උදුරා ගන්නේ... අනික මේ විදුහල්පතිවරුම නේද ඔය ළමා අයිතිවාසිකම් ගැන ළමයින්ට උගන්නන්නේ... එතකොට විදුහල්පතිවරුන්ටම පුළුවන්ද මේ විදිහට ළමයින්ගේ අයිතිවාසිකම් උදුරා ගන්න...‘ කියා උන්නැහේ ඇසුවේය.

‘බෑ තමයි.. ඒ වුණාට මෙහෙම නේ වෙන්නේ... මේ ළමයි අහිංසක මවුපියන්ගේ අහිංසක ළමයි... විදුහල්පති කිව්වාම ඉතින් ඒකට උඩින් කට ගහගෙන යන්නේ නෑ නේ... එතකොට විදුහල්පතිවරු කටයුතු කරන්නේ එක විදිහක චන්ඩි වගේ... ටොම්සන් මහත්තයට මතකද ගිය අවුරුද්දේ ඔය මාවනැල්ල පැත්තේ ඉස්කෝලෙක පළමු වසරේ ඉඳලා ඉගෙන ගත්ත ළමයින්ව ඒ ඉස්කෝලේ උසස් පෙළ පන්තියට ගත්තේ නැති සිද්ධිය. ඒකෙදි වුණෙත් ඔහොමම දෙයක් නේ.. ඉහළින්ම විභාගය සමත් අයව ගන්නවා. එතකොට ප්‍රතිඵල හොඳයි.. තමන්ගේ පාසලින්ම විභාගය සමත් වුණු අඩු සාමාර්ථයක් තියෙන ළමයින්ව ගන්නේ නෑ... මේ ඔක්කොම ප්‍රතිඵල පෙන්නන්න කරන වැඩ.. එක අතකට මේකට වග කියන්න ඕනෑ මේ වගේ පාසල්වල සාධන මට්ටම තක්සේරු කරන මෝඩ නිලධාරීන්. ඔය ලොකු කන්තෝරුවෙත්, කලාප කාර්යාලවලත් ඉන්න මෝඩ නිලධාරීන් පාසල්වල සාධනය තක්සේරු කරන්නේ, ඒ විතරක් නෙවෙයි. ගුරුවරුන් තක්සේරු කරන්නෙත් ඔය ක්‍රමයට නේ.. එතකොට පාසල්වල ඔය වගේ වැරදි වැඩ කරනවා.

මේ මාමලා දන්නවාද තවත් වැඩක්... අපි තුන් දෙනාට විභාගයට ඉල්ලුම් පත්‍ර දාන්න දුන්නේ නෑ... මේ දෙන්නා ඉල්ලුම් පත්‍ර දැම්මා... එතකොට වාරාවසාන විභාගේ තිබුණේ එහෙම ඉල්ලුම් පත්‍ර දැම්මාට පස්සේ නේ.. ඒකෙන් මේ දෙන්නාට ලකුණු අඩුයි... ඒ සැරේ විදුහල්පතිතුමා කිව්වා. ඉල්ලුම් පත්‍ර දැම්මට කමක් නෑ... විභාගෙට යන්න එපා..කියලා... අපි මේ කතා කළේ අපට ඉල්ලුම් පත්‍ර දාන්න දුන්නේ නැති එකටත් වඩා මේ ඉල්ලුම් පත්‍ර දාපු දෙන්නට විභාගෙට යන්න එපා කියපු එක ගැනයි... ‘ කියා එක් දැරියක් කීවාය.

එහෙමත් එකක්ද? මේක නම් මරේ මරු පාසල් පරිපාලනයක්... එතකොට මේ රටේ අධ්‍යාපන නීතිය කියන්නේ මේකද ටොම්සන් මහත්තයා...? කියා උන්නැහේ ඇසුවේ කෝපයෙනි.

‘එහෙම තමයි... නීතිය ක්‍රියාත්මක කරන්න ඉන්න අයම ඒවා මේ විදිහට උල්ලංඝනය කරන කොට අපි කාටද කියන්නේ... අපි ගුරු සංගමේකට කතා කරලා බලමුද මේ ගැන මොකද කරන්නේ කියලා...“ කියා ටොම්සන් මහත්තයා දුරකථනය ඇමතුමක් ගත්තේය.

ආ.. මේ ස්ටාලින් මහත්තයා නේ.. දැන් ස්ටාලින් මහත්තයා... ළමයින්ට මේ විදිහට විභාගෙට ඉන්න දෙන්නේ නැති අසාධාරණේට විරුද්ධව මොකක්ද කරන්න පුළුවන්?‘ කියා ටොම්සන් මහත්තයා ඇසුවේය.

‘මේකනේ... මේ රටේ සාක්ෂරතාව බොහොම ඉහළයි කියලා නේ කියන්නේ... ඒ කියන්නේ ඔය අකුරු කියවන්න, ලියන්න තියෙන හැකියාව නේ.. ඒ වුණාට ඒ සාක්ෂරතාවෙන් වැඩක් නෑ... මේ රටේ අසාධාරණයට ලක් වෙච්චි මේ වගේ අහිංසක පුරවැසියන්ට නැත්තේ නීතිමය සාක්ෂරතාව. එහෙමත් නැතිනම් පරිපාලන සාක්ෂරතාව. ඒ කියන්නේ මේ පුරවැසියන්ට මේ නීති ගැන කියලා දෙන්න ඕනැ... ඒක කරන කිසිම වැඩ සටහනක් නැති නිසා ඒකේ ප්‍රයෝජනය ගන්නේ මේ වගේ දුෂ්ට විදුහල්පතිවරු. මේ දවස්වල ඔය ගැන මානව හිමිකම් කොමිසමේ පරීක්ෂණයක් පැවැත්වෙනවා.‘ කියා ස්ටාලින් මහත්තයා කීවේය.

‘පරීක්ෂණයක් කරලා විතරක් මදි ස්ටාලින් මහත්තයා... හරි නම් මේ වගේ විදුහල්පතිවරු විතරක් නෙවෙයි... ඒ අයට උඩ ගෙඩි දෙන අනෙක් නිලධාරිනුත් ඒ තනතුරුවලින් අයින් කරන්න අවශ්‍ය නීති හැදෙන්න ඕනෑ... එහෙම නැතිව මේවා නැති කරන්න බෑ... ‘ කියා ටොම්සන් මහත්තයා කීවේය.

දුරකථනය විසන්ධි කළ ටොම්සන් මහත්තයා අර ළමයින් රංචුව දෙසට හැරුණේය.

මේ ළමයි මේ විදිහට දුක් වෙවී ඉන්න එපා... වහාම මේ ගැන පැමිණිලි කරන්න අධ්‍යාපන ඇමැතිතුමාට... එතුමා මේ ගැන වගකියන්න ඕනෑ.. ඒ විතරක් නෙවෙයි ඔය විභාගෙට ඉල්ලුම් පත්‍ර දාපු ළමයි දෙන්නා බය නැතිව විභාගෙට ලියන්න... ඒ ප්‍රවේශ පත්‍ර දුන්නේ නැති නම් අධ්‍යාපන ඇමැතිතුමාට වහාම ලියලා යවන්න. කැමති නම් පොලිසියේ පැමිණිල්ලකුත් දාන්න. මේවාට නීතිමය විදිහට කටයුතු කරන හැටි ළමා කාලයේ ඉඳලම ඉගෙන ගන්න. නැතිනම් මේ වගේ අසාධාරණ ලෝකයක ජීවත් වෙන්න අමාරුයි... කියා ටොම්සන් මහත්තයා කීවේය.

මාමලාගේ උපදේශයට බොහොම ස්තුතියි... අපි මේ ගැන කාටද කියන්නේ කියලා දන්නේ නැතිවයි හිටියේ.. අහම්බෙන් හරි මාමලා මුණ ගැහුණු එක ලොකු දෙයක්... අපි මේ ගැන අප්පලත් එක්ක කතා කරනවා.. එහෙනං අපි යන්නම්. කියා කියූ ළමයි රංචුව එතැනට පැමිණි බස් රථයකට ගොඩ වුණහ.

බන්දුල පී දයාරත්න


නව අදහස දක්වන්න