කොළපාට ප්‍රජාතන්ත්‍රවාදය! | දිනමිණ

කොළපාට ප්‍රජාතන්ත්‍රවාදය!

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ විශේෂ ප්‍රකාශය කියවාගෙන යන අපට දවල් තරු පෙනෙන්නට පටන් ගත්තේ ය. එම ප්‍රකාශය කියවන කෙනකු ක්ලාන්ත වී බිම පතිත වන්නටත් පුළුවන. ප්‍රකාශයේ සඳහන් දේවල් ඒ තරමටම විස්මයකට හේතු වෙයි. හෘද රෝග ඇති අය එම ප්‍රකාශය නොකියවා සිටීම වඩා වැදගත් ය. වික්‍රමසිංහ මහතාගේ අදහසට අනුව ඔහු ජීවිත පරිත්‍යාගයෙන් දේශය බේරාගෙන තිබේ. එලෙස ම ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර තිබේ. ඒ හැරෙන්නට මව්බිමේ අනාගතයට සිදු වන්නේ කුමක්දැ’යි වික්‍රමසිංහ මහතා ප්‍රශ්නකර සිටී. එය නම් පුදුම දේශප්‍රේමයකි! පුදුම ජාත්‍යාලයකි!

හිටපු අගමැතිවරයාගේ මතයට අනුව; ජීවිත පරිත්‍යාගයෙන් රට බේරාගෙන ඇත්තේ රණවිරුවන් නො ව; වික්‍රමසිංහ මහතා ය. එතුමාගේ ප්‍රකාශවලට අනුව කල්පනා කර බලන විට මහ දවල් මහ බැංකුව කොල්ල කා ඇත්තේ විදේශිකයන් ය. වික්‍රමසිංහ මහතා ඊට සම්බන්ධ නැත. රටේ සම්පත්වලින් භාගයක් විදේශිකයන්ට විකුණා ඇත්තේ ද ආණ්ඩුවේ හිටපු වෙනත් කව්රුන් හෝ කෙනෙකි. වික්‍රමසිංහ මහතා ඊට සම්බන්ධ නැත. මේ හැරෙන්නට දේශීය සම්පත් විකිණීමෙන් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගත හැකිය. අරලියගහ මන්දිරයේ බලහත්කාරයෙන් රැඳී සිටින වික්‍රමසිංහ මහතාගේ හැසිරීම කුමක්දැයි කෙනකු සිතන්නට පුළුවන.

වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් පැවැති ආණ්ඩුව පිළිබඳ මහා සංඝරත්නයේ මතය වූයේ කුමක් ද? එය රටේ සදාචාරය,සාරධර්ම හා සංස්කෘතිය විනාශ කරන බලවේගයක් ලෙස උන්වහන්සේ හැඳින්වූහ. සමලිංගිකත්වය නීතියෙන් අනුමත කිරීම සඳහා පනතක් ද ඒ ආණ්ඩුව ගෙන ආවේ ය. එය නවතා දමන්නට සිදු වූයේ ජනාධිපතිවරයාගේ මැදිහත්වීම නිසා ය. රට හා රටේ ආර්ථිකය ඉතා ශීඝ්‍රයෙන් විජාතිකකරණයට යටත් වෙමින් පැවැතිණි. සිංගප්පූරු - ශ්‍රී ලංකා වෙළෙඳ ගිවිසුමට රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය දැඩි ලෙස විරුද්ධ වන්නේ ඉනික්බිතිවය.

වික්‍රමසිංහ මහතා කියා සිටින්නේ දේශපාලන සදාචාරය පිරිහී ඇති බවය. මුදලට මහජන නියෝජිතයන් අලෙවි වන බවය. අපගේ වැටහීමට අනුව එම තත්ත්වය උදා කළේ ද වික්‍රමසිංහ මහතාගේ පාර්ශ්වය මිස අන් කිසිවෙක් නොවේ. ජනාධිපතිවරයා පාර්ලිමේන්තු‍ව විසිරුවා හැරීමට පියවර නොගත්තේ නම්; මේ වෙන්දේසිය ඉතා සරුවට සිදුවනු ඇත. ඒ සඳහා විදේශ මුදල් ද යෙදවෙනු ඇත. පාර්ලිමේන්තුව කැඳවා ගැටුමක් ඇති වූයේ නම් වික්‍රමසිංහ පාර්ශ්වය ඒ ගැන සතුටු වන බවක් පෙනෙයි. ලේ හලන විප්ලවයක් ගැනද ජීවිත පරිත්‍යාගයක් ගැන ද ඔවුන් සඳහන් කරනුයේ හේතු ඇති ව බව පෙනෙයි.

වික්‍රමසිංහ මහතා බොහෝ ප්‍රකාශ ලබා දී තිබුණේ විදේශීය නියෝජිතයන් ඉලක්ක කරගෙන ය. මේ ප්‍රකාශයෙන් ද ඒ බව පැහැදිලි වෙයි. ජනාධිපතිවරයා ගත් හැම තීරණයක්ම ව්‍යවස්ථාවට හා පාර්ලිමේන්තු සම්ප්‍රදායට පටහැනි බව ඔහු ජාත්‍යන්තරයට කියා තිබේ. එහි එක් ඉලක්කයක් වන්නේ ජනාධිපතිවරයා දෝෂයට ලක් කිරීමය. තව ඉලක්කයක් වන්නේ ජාත්‍යන්තර බලපෑමක් ඇති කර ගැනීම ය. අමෙරිකාව, එංගලන්තය, ඕස්ට්‍රේලියාව, කැනඩාව වැනි රටවල් ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන නිවේදන නිකුත් කරන්නට පටන් ගත්තේ වික්‍රමසිංහ මහතාගේ බලපෑමට අනුවය. ඒ ගැන බරපතළ අප්‍රසාදයක් මහජනයා තුළ පවතින බව වික්‍රමසිංහ මහතා දන්නේ නැත. වික්‍රමසිංහ මහතා හා එම පාර්ශ්වය ව්‍යවස්ථාව වැරැදි ලෙස විග්‍රහ කරමින් තම මතය සනාථ කිරීමට වෙර දරති.

මේ වනවිට හන්දියක් - හන්දියක් ගණනේ නීති විශාරදයෝ සිටිති. ඒ තරමට ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිළිබඳ විශේෂඥයෝ ද සිටිති. සියල්ලෝම තම සිතැඟි පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති හා උප වගන්ති විග්‍රහ කරති. ඒ තමන්ගේ දේශපාලන ව්‍යාපාරයට හා තමන්ගේ නායකයන්ට වාසි සහගත වන අයුරින් ය. ඇතැම් කුටුම්භවල සාමාජිකයෝ ද දෙපැත්තකට බෙදී ව්‍යවස්ථාව ගැන තර්ක කරති. සමහරුන් ව්‍යවස්ථාව නම් ලියැවිල්ල ජීවිතේට කියවා නැත. තව සමහරුන් එහෙම ලියැවිල්ලක් දෑසින් දැක නැත. තවත් සමහරුන් එවැන්නක් ඇති බව දන්නේ ද ඊයේ -පෙරේදා ය. කුමක් වුව සංවාදයේ අඩුවක් නැත.

ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන මහතා ජීවත් ව සිටියේ නම්; එතුමාගේ ප්‍රීතිදායක ම කාල පරිච්ඡේදය මෙය වනු ඇත. අපට හැ‍ඟෙන පරිදි ජයවර්ධන මහතා සිටියේ නම්; ඉතාලි ජාතික උපදේශකයකු වූ මැකියාවෙලී සිහිපත් කරනු ඇත. ප්‍රංශය ගොඩනැඟූ ඩිගෝල් නම් ජනාධිපතිවරයා සිහිපත් කරනු ඇත. මේ දෙදෙනාගේම උපදේශනය වන්නේ බලය පාවිච්චි නොකොට රාජ්‍යයක් පාලනය කළ නොහැකි බවය. අවශ්‍ය තැන දී පාවිච්චි කිරීම සඳහා මිට මොලවාගත් බලයක් පාලකයකුට තිබිය යුතුය. එලෙස ම එය නිය ම තැන දී සිංහයකු මෙන් එඩිතර ව භාවිත කළ යුතු ය.

ජේ.ආර්.ජයවර්ධන මහතා රටේ විධායක ජනාධිපතිවරයා සඳහා රාශිභූත කළ බලය මේ ව්‍යවස්ථාව පුරා ම පවතී. සංශෝධනයකින්. දෙකකින් නොව; සංශෝධන දහනවයකින් ද එම බලය හීන කිරීමට හැකියාව ලැබී නැත. වික්‍රමසිංහ මහතා ජනාධිපති බලතල අභියෝගයට ලක් කරන්නේ එක්කෝ ඒ ගැන හොඳින් දැනගෙන ය. නැතහොත් වෙනත් පාර්ශ්වයක බලපෑමක් මත ය. කුමක් වුව; මෙතෙක් ජනාධිපතිවරයා ගත් කිසිදු ක්‍රියාමාර්ගයක් ව්‍යවස්ථාවට පටහැනි නැති බව නීතිපතිවරයා ප්‍රකාශ කර තිබේ. නීතිපතිවරයා මේ බව ප්‍රකාශ කරන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පෙත්සම් විභාග වන අවස්ථාවේය.


නව අදහස දක්වන්න