ක්‍රිකට් තරග පාවාදීමේ චෝදනාවලට ශ්‍රී ලංකා පෝලිම දිගු වෙයි | දිනමිණ

ක්‍රිකට් තරග පාවාදීමේ චෝදනාවලට ශ්‍රී ලංකා පෝලිම දිගු වෙයි

දිල්හාර ලොකුහෙට්ටි⁣ගේ අලුත්ම බිල්ලයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක දිල්හාර ලොකුහෙට්ටිගේට එරෙහිව ක්‍රිකට් තරග පාවාදීමේ චෝදනා ගොනු වෙයි.

ඒ අනුව සති දෙකක් තුළ ක්‍රිකට් තරග පාවාදීමේ චෝදනා ගොනුවූ තෙවැනි ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයා බවට දිල්හාර පත්වේ.

මෙයට පෙර හිටපු තේරීම් කමිටු සභාපති හා හිටපු ටෙස්ට් නායක සනත් ජයසූරිය මහතාට හා හිටපු වේග පන්දු යවන ක්‍රීඩක නුවන් සොයිසාට ක්‍රිකට් තරග පාවාදීම පිළිබඳ චෝදනා එල්ල විය .

දිල්හාර ලොකුහෙට්ටිගේට වහාම ක්‍රියාත්මක වන පරිදි ජගත් ක්‍රිකට් තහනමක් පැනවීමට පියවර ගෙන ඇති අතර ක්‍රිකට් තරග පාවාදීම ඇතුළු ප්‍රධාන චෝදනා තුනක් ඔහුට එරෙහිව ගොනුකිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන ඇත.

චෝදනාවලට පිළිතුරු දීම පිණිස දිල්හාර ලොකුහෙට්ටිගේට සති දෙකක කාලයක් ජාත්‍යන්තර ක්‍රිකට් පාලක කවුන්සිලය ලබාදී ඇත.

පසුගිය වසරේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැති T10 Cricket League තරගාවලියේ දී දිල්හාර තරග පාවාදීමට සම්බන්ධ බව ජගත් ක්‍රිකට් කවුන්සිලය අනාවරණය කොට ඇත.

මුදලට තරග පාවාදීමට උත්සාහ කිරීම යන වගන්තිය උල්ලංඝනය කිරීම හා එම වගන්තිය උල්ලංඝනය කිරීම සඳහා වෙනත් ක්‍රීඩකයෙකුට අනුබල දීම, එවැනි දූෂිත ක්‍රියාදාමයකට කවරෙකු හෝ කළ ආරාධනාවක් දූෂණ විරෝධී නිලධාරියා දැනුම්වත් නොකිරීම යන චෝදනා තුන ඔහුට එරෙහිව එල්ලවී තිබේ.

ප්‍රින්ස් ගුණසේකර

නව අදහස දක්වන්න