අගමැති මහින්ද සිටින රජයක් යටතේ මේ රටට කිසිදු විදෙස් අතපෙවීමක් නෑ | දිනමිණ

අගමැති මහින්ද සිටින රජයක් යටතේ මේ රටට කිසිදු විදෙස් අතපෙවීමක් නෑ

අගමැති මහින්ද රාජපක්ෂ මහතා සිටින රජයක් යටතේ මෙරටට කිසිඳු විදේශීය අතපෙවීමක් සිදු නොවන බවට ජනතාව තුළ දැඩි විශ්වාසයක් පවතින බව පැවිදි හඬ සංවිධානය පවසයි.

නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේදී ඊයේ (13) පැවැති මාධ්‍ය හමුවකදී පැවිදි හඬ සංවිධානයේ ජාතික සංවිධායක ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියෝ මේ බව පැවසූහ.

එම මාධ්‍ය හමුවේදී උන්වහන්සේ මෙසේ ද පැවසූහ.

පසුගිය මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව යටතේ භික්ෂූන් වහන්සේලාට සහ සංස්කෘතියට යුද හමුදාවට එරෙහිව වන හානි කිසිවක් සිදු වෙන්න ඉඩ දුන්නේ නැහැ.

මේ අවුරුදු තුනහාමාර තුළ සිරිසේන ජනාධිපති එතුමාගේ කැමැත්තෙන් අකමැත්තෙන් හෝ දැන හෝ නොදැන හෝ එතුමාගේ යටතේ සිටි රනිල් වික්‍රමසිංහ නමැති විදේශ දරුවා විසින් මේ රට විනාශ විනාශ කිරීමේ කටයුත්තකට යොමු කර තිබුණා.

අපි දන්නවා මංගල සමරවීර මහතා මේ රටේ සභ්‍යත්වයට එරෙහිව සංස්කෘතිය , සදාචාරය විනාශ කිරීමේ දැඩි කුමන්ත්‍රණයක නියැළී සිටියා. හාමුදුරවරුන්ට චීවරධාරීන්යැයි පවසමින් බැන්නා. ඒ වගේම චම්පික , රාජිත , රන්ජන් රාමනායක සියලු දෙනා මේ රටේ සංස්කෘතියට පහර දුන් අයයි.

මේ පුද්ගලයන්ට තමන්ගේ සිතුම් පැතුම් ඩොලර් අරගෙන යුතුකම ඉටු කරන්න බැරි වුණා. ඒ ගත් ඩොලර්වල ණය නැවත අපිට ගෙවන්න සිදු වෙලා තිබෙනවා.

මොවුන්ට එරෙහිව ජනබලය තියෙනවා.ජනතාවගේ නැඟී සිටීමක් තියෙනවා , ඒ නිසා තීන්දු මොනවා වුණත් අපිට කමක් නැහැ . මොන තීන්දු දුන්නත් අපි නීතියට ගරු කරනවා. නමුත් කිසිදු හේතුවක් මත ජන බලය පාවා දෙන්නේ නැහැ.

රට ආරක්ෂා කරන ජනතාව වැඩියි. අගමැතිතුමාට කියනවා පොහොට්ටුවට තිබෙන තැන නිසයි මෙතැන්ට ආවේ. සිරිසේන ජනාධිපතිට කියනවා ඔබතුමාට දේශීයත්වය තිබෙනවා නම් මේ සංයෝගය එකට ගැළපෙනවා නම් එය සවිමත් කරගන්න . රනිල් වික්‍රමසිංහ මහතා යළි බලයට යනවාට වඩා හොඳයි රට අපා ගත වෙන එක. ජනාධිපති සහ අගමැතිට කියනවා ගත් පියවර නැවත පිටුපසට ගන්න එපා කියලා. රට දියුණු කරන , රටට ආදරේ , රට ආරක්ෂා කරන නායකයෙක් අපිට ඕනෑ. ඒ අය වෙනුවෙන් ඡන්දය භාවිතා කරන්න .

එහිදී අදහස් දැක්වූ පැවිදි හඬ සංවිධානයේ ලේකම් ගොම්බද්දල දමිත හිමි-

අපට ගහන්නත් පුළුවන් ,මරන්නත් පුළුවන්, එසේ කරලත් පුරුදුයි කියා, මේ රටේ ප්‍රධාන දේශපාලන භුමිකාවක නිරත වෙන දේශපාලන නායකයෙක් කියනවා.ඒ කියන්නේ ඕනෑම දෙයක් සිදු කිරීම සඳහා පිඹුරුපත් හදලා සුදානම් කියලයි.හැත්තෑව අසූඅට අසූනවය වර්ෂවල ඇති වු අවාසනාන්ත තත්ත්වය උදා කරන්න.ඒ නිසා විශේෂයෙන් මහින්ද රාජපක්ෂ පාර්ශ්වයේ පාක්ෂිකයන්ට කියනවා ප්‍රශ්න ඇති කර ගන්න එපා කියලා.ජනතා දේපළ මහජන ජීවිත ආරක්ෂා කරන, ආරක්ෂා වන විදිහට , මැතිවරණ නීති වලට අනුකූල වන විදිහට මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවන්න කියලා.

දැන් පවතින භාරකාර රජයේ ඇමැති මණ්ඩලයේ අමාත්‍යංශවල ඇති දේපළ , මහජන දේපළ පෞද්ගලික මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට භාවිතා කරන්න එපා කියා ඇමැතිවරුන්ට කියනවා.

කොළඹ මහනගර සභාවේ නාගරික මන්ත්‍රී ගලගම ධම්මරන්සි හිමි-

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට විරුද්ධව මේ රටේ පරමාධිපත්‍යයට අභියෝග කළ පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගිහින් තිබෙනවා.

උසාවි ගිහින් කිබෙන්නේ යහපාලන නඩය පත් කර ගැනීමට වැඩ කළ අයයි. ත්‍රස්තවාදයෙන් ඉවර වූ අපේ රට දමිළ ඩයස්පෝරාවට අවශ්‍ය ආකාරයේ ව්‍යවස්ථාවක් හරහා යුද්ධයෙන් කරගන්න බැරි වූ දේ පෑනකින් , ලියවිල්ලකින් ඒ අයට ලබාදෙයි කියා ඒ අය බලාපොරොත්තු වුණා.

ශ්‍රේෂ්ඨාධිකරණය ව්‍යවස්ථාවට අනුව තීරණය දෙයි.

ඉදිරියේදී පොහොට්ටුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකතුවීමක් පවතිනවා. එයට කිසිදු චෝදනාවක් කරන් නේ නැහැ.මහින්ද රාජපක්ෂ මහතා පොහොට්ටුවේ සාමාජිකත්වය ගත්තා. ශ්‍රීලනිප කැමති ප්‍රතිපත්ති අගයන බහුතරයක් මෙහිද සිටිනවා. එකමුතුව , සමඟිව කටයුතු කරන්න කියා ඒ අයට කියනවා. නම , සලකුණ කුමක් වුවත් පරගැති හොර නඩය පලවා හරින්න කටයුතු කරමු.ආගම , සාදාචාරයට , සංස්කෘතියට ආදරේ කරන , මුදල්වලට නොවිකිණෙන මන්ත්‍රීවරු පිරිසක් පත් කරමු.

ඇමැති ලේකම්වරුන්ගේ සංගමයේ සම සභාපති කීර්ති ශ්‍රී වීරසිංහ මහතා-

අනාදිමත් කාලයක සිට මේ රටේ සිංහල , බෞද්ධ , හින්දු , මුස්ලිම් සියලු දෙනා වෙනුවෙන් රට පාලනය කරන්න අවවාද අනුශාසනා දුන්නා . 2015 ජනවාරි 08 බලයට ගත් පිරිස රටේ මහජනතාවට රටේ සංවර්ධනය 300% කින් වේගය වැඩි කරනවා කියලා කියා සිටියා . මේ වන විට තිබුණු සංවර්ධන යෝජනා ක්‍රම ඇණ හිට තිබෙනවා.යහපාලන ආණ්ඩුවේ එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම මුලදී එකට වැඩ කරනවා කියා විශ්වාසය පළ කළත් පසුව ඒ අයට අවශ්‍ය ලෙස පෞද්ගලික අරමුණක් කරා රටේ සංවර්ධනය පහළට ඇඳ දැම්මා.

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එතුමා යටතේ තිබූ මහ බැංකුවේ අධිපති ලෙස සිංගප්පූරු ජාතික විශාල දූෂණ චෝදනා තිබෙන කෙනෙක් පත් කළා. එහි පරීක්ෂණ එවකට නීතිය බාරව සිටි අමාත්‍යවරයා විසින් යට ගැසුවා. ජනාධිපතිතුමා විසින් යම්තාක් දුරකට හෝ එම පරීක්ෂණ සිදු කර රට දැනුවත් කිරීම සිදු කළා . මුදල් ගත්තා කියා අධිකරණයෙන් පැහැදිලිවම ඔප්පු වුණා. මේවා රටේ ජනතාවගේ මුදල්. මේ මුදල් තමයි මිලියන 100 - මිලියන 500 ලෙස ලබාදීම සිදු කෙරෙන්නේ.

වහාම ක්‍රියාත්මක වන පිරිදි අල්ලස් කොමිසමට පැමිණිලි කරන්න කියා අපි පොලිස්පතිගෙන් ඉල්ලනවා.අල්ලස් ගත්, අල්ලස් දුන් අය අධිකරණයට ඉදිරිපත් කර දඬුවම් පැනවිය යුතුයි.

කරූ ජයසූරිය මහතා අවිනීත ලෙස කටයුතු කළා. තවම මේ රටේ අගමැති රනිල් මහතා කියා අන්තර්ජාතික වශයෙන් කිව්වා. ශ්‍රි ලංකාවේ ආණ්ඩු දෙකක් තියේ කියලා කිව්වා.

අගමැති පත් කළේ ව්‍යවස්ථාවට අනුකූලවයි. එසේ නොමැති නම් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් කරුණු විමසන්න තිබුණා . ඒත් ඒ අය එසේ ගියේත් නැහැ.

හැම මාසයකම බණ පැවැත්වූ අරලිය ගහ මන්දිරය මේ වන විට බජව් සාද දාන , ආප්ප කඩ දාන , අවිචාර කටයුතු සිදු වන තැනක් බවට පත් වෙලා. මේවා රජයේ මුදල් , පොදු දේපළ අවභාවිතා කිරීම ඇප නොදිය හැකි වරදක්. රාජ්‍ය නීතියට අනුව වැඩ කරන්න කියා රනිල් මහතා ඇතුළු කණ්ඩායමට කියනවා .

චන්දිමා කරුණාරත්න, අමෝදා ජයමහ


නව අදහස දක්වන්න