රටේ ව්‍යාකූල තත්ත්වයක් නිර්මාණය වීමට මූලික වුණා | දිනමිණ

රටේ ව්‍යාකූල තත්ත්වයක් නිර්මාණය වීමට මූලික වුණා

චන්ද්‍රිකා පෙරේරා
ජනතා සේවක පක්ෂයේ ප්‍රධාන ලේකම් ජයන්ත විජේසිංහ

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා රාජ්‍ය ආයතන විකුණා දැමීමට කටයුතු කිරීමත් උතුරේ විවිධ නීති විරෝධී කල්ලිවලට හිස එසවීමට ඉඩදීමත් රටේ ව්‍යාකූල තත්ත්වයක් නිර්මාණය වීමට මූලික වූ බව ජනතා සේවක පක්ෂයේ ප්‍රධාන ලේකම් ජයන්ත විජේසිංහ මහතා පැවසීය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාව ජනතාව විසින් ආරක්ෂා කළ යුතු බවද හෙතෙම පෙන්වා දුන්නේය.

රටේ ගැටලු රැසක් නිර්මාණය කරමින් මිල සූත්‍රයක් ගෙනැවිත් සෑම මසකම දහවැනිදා බඩු මිල වැඩි කිරීමට කටයුතු කළ හිටපු අගමැතිවරයාගේ තක්කඩි, හතුරු දේශපාලනයට විරුද්ධව පක්ෂය නොව තම දරුවන්ගේ අනාගතය පිළිබඳ සිතා සියලු ජනතාව නැඟී සිටිය යුතු බවද හෙතෙම අවධාරණය කළේය.

වර්තමාන දේශපාලන අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් මරදාන සාමය හා සාමයික කේන්ද්‍රයේ දී ඊයේ (13) ජනතා සේවක පක්ෂය පැවැත් වූ මාධ්‍ය හමුවේදී ජනතා සේවක පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා එම අදහස් පළ කළේය.

එහිදී ජයන්ත විජේසිංහ මහතා මෙසේ ද කීය.

වර්ෂ 2015දී ජනතාව මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ගෙදර යවා යහපාලන ආණ්ඩුව පත්කර ගත්තේ රටේ නිර්මාණය වී තිබුණු ගැටලු රැසක් හේතුවෙන්. නමුත් එම ආණ්ඩුව එම පෙබරවාරි 27 වන විට මහ බැංකුව කොල්ලකෑවා, රනිල් වික්‍රමසිංහ මහතා එදා ආණ්ඩුව තම බූදලය ලෙස සලකා කටයුතු කළේ. වර්තමානයේ රටේ පවතින අර්බුදකාරී තත්ත්වය නිර්මාණය වී තිබෙන්නේ රනිල් මහතාගේ ක්‍රියාකලාපය නිසයි.

අධිකරණ තීන්දුව කුමක් වුවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කුමක් තිබුණත් හැමෝම මේ අවස්ථාවේ රට , රටේ අනාගතය හා තම දූ දරුවන් ගැන සිතා කටයුතු කළ යුතුව තිබෙනවා.

පැවැති ආණ්ඩුව විසුරුවා හැරියේ ඇයි, අගමැතිවරයා ඉවත්කළේ ඇයි? යන්න අද ඉතා වැදගත් වන අතර ඊට සාධාරණ හේතු රැසක් තිබෙනවා.

2015 දි මහ බැංකුව කොල්ල කෑම, දිගටම ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය උල්ලංඝනය කරමින් මැතිවරණ කල් දැමීම, ජනාධිපතිවරයාට තර්ජනය කරමින් හම්බන්තොට වරාය කුණු කොල්ලයට විකුණා දැමීම, කන්කසන්තුරේ , ත්‍රිකුණාමලය හා වරාය,මත්තල ගුවන්තොටුපොළ, පළාලි ගුවන්තොටුපොළ ආදිය විකුණා දැමීමට උත්සාහ කිරීම මීට හේතු වූ ප්‍රධාන හේතු වෙනවා. ඒ අනුව ඒවා වැරදි බව ජනතාව අවසන් මැතිවරණයේ දී පෙන්වා දුන්නත් යහපාලන ආණ්ඩුව එය පිළිගත්තේ නැහැ.

වර්තමාන දේශපාලන ව්‍යාකූලත්වයට හේතුව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ක්‍රියාකළාපය නොවේ .ඊට හේතුව හිටපු අගමැතිවරයායි. හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා රාජ්‍ය ආයතන විකුණා දැමීමට කටයුතු කිරීම මෙන්ම උතුරේ විවිධ නීති විරෝධී කල්ලිවලට හිස එසවීමට ඉඩදීම රටේ ව්‍යාකූල තත්ත්වයක් නිර්මාණය වීමට මූලිකම හේතු වශයෙන් පෙන්වා දිය යුතුයි.

මෙරටට ගෙන ඒමට උත්සාහ කළ ඩෙටනේටර් 5000ක් දකුණු ඉන්දියාවෙන් අත්අඩංගුවට ගත්තා. නමුත් ඒ සම්බන්ධයෙන් හිටපු අගමැති කිසිදු ක්‍රියාමාර්ගයකට යොමු වුණේ නැහැ. උතුරේ ගැටලු නැවත එකේ සිට පටන්ගන්න රනිල් මහතා ඉඩ දුන්නා. එවැනි තත්ත්වයක උතුරේ හමුදා ආඥාපතිවරයා දින තුනක කාලයක් ඉල්ලා සිටියා .ජනතාවට හිරිහැර වන මේ ගැටලු අවසන් කරන්න.

යහපාලන ආණ්ඩුව ආරම්භයේ සිටම මුල් පෙළේ හමුදා නිලධාරීන් එෆ්සීඅයිඩී යටත් අධිකරණයටත් රැගෙන එමින් රට වෙනුවෙන් කටයුතු කළ රණවිරුවන් තුට්ටු දෙකට දැම්මා. එමෙන්ම ජාතික අභිමානය බින්දුවට දමමින් පරදේශක්කාරයන්ට රට පාවාදීමට කටයුතු කළා.

එජාප අභ්‍යන්තර, නියෝජ්‍ය නායකයෝ කාලයක සිට ගැටලුවක් තිබෙන බව දැන සිටියා. නමුත් වර්තමානයේ ගැටලුවක් ඇති බවට පෙන්වීමට උත්සාහ කරන්නේ රනිල් මහතාගේ කල්ලියක්.

රනිල් මහතා ප්‍රමුඛ ආණ්ඩුව මෙරට රාජ්‍ය සේවකයන් දහතුන් ලක්ෂයකගේ විශ්‍රාම වැටුප් නැති කළා. ඔහුගේ අවසන් තුරුම්පුව ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්වරු ඝාතනය කර බලය ගන්න උත්සාහ කළේ.

මේ අනුව හිටපු අගමැතිවරයාගේ ඉතිහාසය පිළිබඳ සොයා බැලීමේදී ජනාධිපතිවරයාට තර්ජනය කර විදේශිකයකු සමඟ එක්ව මහ බැංකුව කොල්ලකෑමත් , එහි අවසානය ලෙස ඝාතන සැලසුමත් ආදියත් දැකිය හැකි විශේෂ කරුණු. එවැනි ඉතිහාසයක් ඇති අයෙකු පහකර නව අගමැති ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත් කළේ.

මේ පත්කිරීමත් රනිල් මහතා ගෙදර යැවීමත් කුමන්ත්‍රණයක් කියා සමහරු කියන්නේ කොහොමද? මේ පත් කිරීමට පෙර ජනාධිපතිවරයා සජිත් ප්‍රේමදාස මහතාට හා කතානායක කරු ජයසූරිය මහත්වරුන්ට අගමැතිකම බාරගන්න කියා කතාකර තිබෙනවා. ඒ අය බැහැ කියා තිබෙනවා. මේ අනුව රනිල් අගමැතිකමෙන් පහ කරන බව මේ අය දැන සිටියා. ඒ අනුව වර්තමාන පත්කිරීම් කුමන්ත්‍රණයක් නොවන බව එජාපය ඉහළ පෙළ දැන සිටි අතර රනිල් මහතා නායකත්වයෙන් ඉවත් කරන්න උත්සාහ කරනවා.

කෙසේ වුවත් රටට හතුරු වූ අගමැති ඉවත් කිරීම සාධාරණ වන අතර නව අගමැතිවරයකු පත්කිරීම ද වඩාත් සාධාරණයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථවේ පිටු පෙරළමින් ගත් තීරණයේ සාධාරණ අසාධාරණ තත්ත්වය සොයා බැලීම පසෙක ලා ජනතා ක්‍රියාමාර්ග වලින් ඒ අය ගෙදර යැවීමට පියවර ගත යුතුයි. මෙරට නිදහස හා ස්වාධීනත්වය වෙනුවෙන් අප අරගල කළේ ඒ නිසයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාව ජනතාව විසින් ආරක්ෂා කළ යුතුයි. හිටපු මහ බැංකු අධිපතිවරයා අධිකරණය හමුවට ගෙන ඒම කඩිනම් කළ යුතු අතර එවිට රනිල් වික්‍රමසිංහ මහතාට අත්වන ඉරණම දැක ගත හැකියි.

මේ තත්ත්වය තුළ දී ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ක්‍රියාකලාපය අනුව රනිල් වික්‍රමසිංහ මහතා ආරක්ෂා කිරීමේ පිළිවෙතක් අනුගමනය කරන බව දැකිය හැකියි. සෝමවංශ අමරසිංහ මහතා නායකත්වයේ සිටියදී පැවසුවා. මේ කණ්ඩායම ජනතා විමුක්ති පෙරමුණ එක්සත් ජාතික පක්ෂයේ ශාඛාවක් කරන්න යන බව. ඒ වන විට පක්ෂ මධ්‍යම කාරක සභාවේ සිටි අනුර ඇතුළු පිරිසගේ ක්‍රියාකලාපය නිසයි අමරසිංහ මහතා සමඟ අපත් පක්ෂයෙන් ඉවත් වුණේ. සෝමවංශ අමරසිංහ සහෝදරයා ලියූ පොතේ සඳහන් වන ආකාරයට ජවිපෙ පක්ෂ පූජනීයත්වය නායකයකුට ආරූඩ කළ යුතු නැහැ. ඒ අනුව නායකයන් පූජනීයත්වයට පත් නොකර ජවිපෙ සාමාජිකයන් වර්තමාන පක්ෂ නායකයන්ගේ ක්‍රියාකලාපය හඳුනාගෙන ජනතාවට සේවය කරන නිසි නායකත්වයක් සකසා ගැනීමට තීරණය කළ යුතුව තිබෙනවා.

ජනතා විමුක්ති පෙරමුණ කිසිදු අවස්ථාවක අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ වැරදි ක්‍රියාකලාපයට විරුද්ධ වුණේ නැති බව නිසි ලෙස හඳුනා ගත හැකියි. මහ බැංකුව කොල්ල කෑ අවස්ථාවේදීත් මැතිවරණ කල් යවමින් ජනතාවගේ ඡන්ද අයිතිය උල්ලංඝනය කරන විටත් ජවිපෙ තවදුරටත් රනිල් මහතා ඇතුළු ආණ්ඩුව ආරක්ෂා කිරීමටයි කටයුතු කළේ.

ජනතා සේවක පක්ෂයේ සභාපති නිලන්ත හේරත් මහතා-

මූලික නීතිය ව්‍යවස්ථාව වුවද රට ගැන සිතා තීරණ ගත යුතුයි. 78 ව්‍යවස්ථාවෙ ඇතුළුත් මානව හිමිකම් පරිච්ඡේදයට අනුව පුද්ගලයෙකුගේ මයිලකටවත් හානියක් කරන්න බැහැ. ව්‍යවස්ථාවේ ප්‍රබල ලෙස මානව හිමිකම් ආරක්ෂා කළ යුතු බවට ලිඛිතව තිබුණත් 88-89 කාලයේ 60000කට අධික පිරිසක් මැරුවා. සමහරුන්ගේ පණ පිටින් ඇස් ගලවා තිබුණා.

මහ බැංකුව කොල්ලකෑ දිනයේදීයි ජනාධිපතිවරයා හිටපු අගමැති ඉවත් කිරීමේ තීන්දුව ගත යුතුව තිබුණේ. ඉදිරියට වසර තිහක් අප මේ මුදල් වෙනුවෙන් ගෙවිය යුතුව තිබෙනවා.

ඉන්පසු හම්බන්තොට වරාය විකිණීම, අවසාන ජනමතයේදී 70%ක ජනතාව ආණ්ඩුව ප්‍රතික්ෂේප කිරීම යන අවස්ථා දෙකේදීද මේ තීන්දුව ගැනීමට ජනාධිපතිවරයා කටයුතු කළ යුතුව තිබුණා. කුමක් වුවත් රට සම්පූර්ණයෙන්ම විනාශවීමට පෙර හෝ මේ තීන්දුව ගැනීම වැදගත්.

පක්ෂ ලෙස නොව මෙරට අයිතිකරුවන් ලෙස ප්‍රශ්නය දෙස බලා ව්‍යවස්ථාවට එකඟද නැතිද යන්න නොසොයා ජනතාවගේ නිවැරදි තීන්දුව ලබාදීමට මෙහිදී ක්‍රියා කිරීම අපේ යුතුකමක් ලෙස සැම දෙනාම සිතිය යුතුයි.

අද බටහිර රටවල් ව්‍යවස්ථාව අනුව කටයුතු කරන්න කියමින් විවිධ බලපෑම් කිරීමට උත්සාහ කරනවා. රනිල් මහතා ඒ අයට මේ ගැන කියනවා. 2015 මහින්ද මහතා පැරදුණු අවස්ථාවේ අමෙරිකානු රාජ්‍ය ලේකම් කියනවා මේ ජයග්‍රහණයට ඒ අය කොටස්කරුවෝ කියා. ඒ අවස්ථාවේ ඡන්දය දුන් ජනතාව එහි තේරුම ගැන හිතුවේ නැහැ. මේ අවස්ථාවේ පක්ෂය ගැන සිතුවොත් අනාගත දූ දරුවෝ අපේ පරපුරම විනාශවේවි. එමෙන්ම මේ රටට වූ දැවැන්තම අපරාධය ගැන නොසලකා ව්‍යවස්ථාව ගැන පමණක් හිතන්න කියා කියන අයගෙ කීම ඇසුවොත් අපට රැකගන්න කියා රටක් ඉතිරි වන්නේ නැහැ.

ජනතා සේවක පක්ෂයේ මූල්‍ය ලේකම් එච්.ඒ උයන්ගොඩ, පක්ෂයේ සාමාජික සාමාජිකාවන් වන රම්‍යා එස්. හේවගේ, චාමිනී නිලන්තිකා හේරත්, සුමින්ද ප්‍රියංකර, විරාජ් මාකේවිට මහත්ම මහත්මීහුද මේ අවස්ථාව එක්ව සිටියහ.


නව අදහස දක්වන්න