විනාශ කළ ආර්ථිකය ගොඩගැනීමට හැකි අය-වැයක් හදන්න ඕනෑ | දිනමිණ

විනාශ කළ ආර්ථිකය ගොඩගැනීමට හැකි අය-වැයක් හදන්න ඕනෑ

මුදල් ඇමැතිවරයාට අය-වැය හදන්න කල් ඕනෙ. ඔවුන් කළා වගේ ආවට ගියාට ඉලක්කම් එහාට මෙහාට කරන්න බෑ. විනාශ කළ ආර්ථිකය ගොඩගැනීමට හැකි අය-වැයක් හදන්න ඕනෙ. යැයි ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය.

ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ තමා පිළිගැනීමට කොස්ගම බොරළුගොඩ පැවති උත්සවයකදීය.

එහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් ඇමැතිවරයා මෙසේ ද කීය.

තමාට විරුද්ධව දෝෂාභියෝගයක් භාර දුන් අවස්ථාවේ එයට මුහුණදීමට බිය වූ ප්‍රේමදාස ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව කල් දමා ගැටලුව නිරාකරණය කරගෙන නැවත පාර්ලිමේන්තුව පටන් ගත්තා. ඒ වගේම ලංකා ඉතිහාසයේ සෑම අගමැතිවරයෙක්ම පාර්ලිමේන්තුව කල් දමා තිබෙනවා. වර්තමාන කථානායකවරයා වැඩි කාලයක් පාර්ලිමේන්තුව නියෝජනය නොකළ කෙනෙක් නිසා ඒ පිළිබඳ අනවබෝධයෙන් නීති රීති නොදන්නවා විය හැකියි.

බුලත් කොළයේ මන්ත්‍රීවරුන් ආණ්ඩුවෙන් ඉවත් වු වෙලාවේ සිට යහපාලන ආණ්ඩුව ගිවිසුමට අනුව අවසන් වුණා. එවිට ජනාධිපතිවරයා නව අගමැතිවරයෙක් හා ආණ්ඩුවක් පත් කළ යුතුයි. ඒ ක්‍රියාව මේ සිද්ධ කර තිබෙන්නේ. ආණ්ඩුව කරන්න මහින්ද මහත්තයාට පුළුවන් නිසා ඒ මහතා භාර ගත්තා. මුල දී මහින්ද මහත්තයා අගමැති හැටියට පිළිගන්නවා කිව්ව කථානායක පසුව කියනවා වැඩි බලයක් තිබෙන කෙනා එයා පිළිගන්නේ කියලා. එයාට එහෙම කියන්න බලයක් නෑ. කථානායකවරයාට බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවේ පමණයි.

නොවැම්බර් 05 වෙනි දා යහපාලන නඩේ පාර්ලිමේන්තුවට එනවා කිව්වා. නමුත් ඔවුන් ආවේ නෑ. ඔබයි අපියි පමණයි පාර්ලිමේන්තුව ළඟටවත් ගියේ. ඒකාබද්ධ විපක්ෂයට විශාල ජයග්‍රහණයක් පළාත් පාලන ඡන්දෙ දී ඔබ ලබා දී යහපාලන රජය ගෙදර යවන්න මුල්ම පණිවිඩය දුන්නා. පසුගිය රජය ජනතාවගේ ප්‍රශ්න විසඳන්න වුවමනාවක් දැක්වුවේ නෑ. රටේ සියලුම සම්පත් විකුණාගෙන කමින් ජාතික නිෂ්පාදන විනාශ කරන පිටරටින් බඩු ගෙන්වීමේ න්‍යාය පත්‍රයකට අනුව කටයුතු සිදු කළා. මේ සියල්ලටම ජනාධිපතිවරයා විරුද්ධ වුණත් ඔහුු කියන දේ ඇහුවේ නෑ. ඔහුට ඉවසාගෙන සිටීමට බැරිම තැන කෙටි කාලීනව යහපාලන රජය අවසන් කළා.

පිලිප් ගුණවර්ධන පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමෙන් පසු ආරම්භ කෙරුණු මේ අවස්ථාවට හිටපු නියෝජ්‍ය කථානායක ගීතාංජන ගුණවර්ධන මහතා ඇතුළු ප්‍රදේශවාසීහු සහභාගී වී සිටියහ.

අවිස්සාවේල්ල විශේෂ
එස්. පද්මපේරුම

ඡායාරූපය - අවිස්සාවේල්ල විශේෂ


නව අදහස දක්වන්න