ලංගමට දේශපාලනය එපා | දිනමිණ

ලංගමට දේශපාලනය එපා

පසුගිය වසර තුනක කාලයක දී මුල්‍ය වර්ධනයක් ඇති කළ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට නැවත දේශපාලනය සම්බන්ධ කරගෙන අගාධයක් කරාගෙන නොයන ලෙසට තමා සියලු ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකයන්ගෙන් ඉල්ලා සිටින බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

ඇමැතිවරයා මේ බව පැවැසුවේ වසර 06කට පසුව වැටුප් වැඩි කිරීමකින් අනතුරුව එම වැඩි වැටුප් සංකේතාත්මකව සේවකයන්ට ලබාදීමට පසුගිය 10 වැනි දා බත්තරමුල්ල, සෙත්සිරිපාය ශ්‍රවණානාගාරයේ දී පැවති උත්සවයකදීය.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේ ද කීය.

සෑම සේවකයකුටම තමාගේ දේශපාලන මතය දැරීමට අයිතියක් තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ඔවුන් තමන් වෙත නතු කරගැනීමට අයිතියක් තිබෙනවා. කිසිම පොදු දේපළක් දේශපාලන කටයුතුවලට යොදා නොගන්නා ලෙසට මම සියලුම දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටිනවා. ඒ වගේම ලංගම බස් රථ ද කිසිම අයුරකින් නොමිලේ දේශපාලන කටයුතුවලට ලබා නොදෙන ලෙසට ලංගම සභාපතිවරයාටත්, අමාත්‍යාංශ ලේකම්වරයාටත් මම උපදෙස් ලබා දී තිබෙනවා. නමුත් ඕනෑම අයකුට, ඕනෑම පක්ෂයකට බස් රථ ලබාගැනීම අවශ්‍ය වුවහොත් නියමිත මුදල් ගෙවා ලබාගැනීමට හැකියාව තිබෙනවා. එයින් ලංගමයේ ආදායම් වැඩි කරගැනීමට අප බලාපොරොත්තු වෙනවා.

වසර 6කට පසුව එනම් 2012 වසරෙන් පසුව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකයන්ට වැටුප් වැඩි කිරීමට හැකිවීම පිළිබඳව මා ඇමැතිවරයා වශයෙන් සතුටට පත් වෙනවා. මුදල් අමාත්‍යාංශය විසින් ද අඩු වැටුප් ලබන ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකයන්ගේ වැටුප් වැඩි කරන ලෙසට චක්‍ර ලේඛනවලින් දන්වනු ලැබුවත් පසුගිය කාල පරිච්ජේදයේ මණ්ඩලයේ තිබු මුල්‍ය දුෂ්කරතා නිසා වැටුප් වැඩි කිරීමට බාධාවක් වී තිබුණා. නමුත් පසුගිය වසර එකහමාරක් වැනි කාලයක දී ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ක්‍රියාත්මක කරන ලද නිසි මුල්‍ය පරිපාලන ක්‍රියාවලිය සහ අවම සේවක සංඛ්‍යාවවෙන් වැඩි සේවාවක් සපයා වැඩි ආදායම් ලබාගැනීම හේතුවෙන් මේ නව වැටුප් ගෙවීමට හැකියාව ලැබුණා. ඒ අනුව රියැදුරු, කොන්දොස්තර, කාර්මික, කම්කරු හා ආරක්ෂක ආදී බිම්ගත ශ්‍රේණිවල සේවයේ නියුතු සේවකයන්ගේ මුලික වැටුප රු. 14,250 සිට රු. 25,550 දක්වා වැඩි වී තිබෙනවා. මෙහි දෙවන අදියර යටතේ විධායක ශ්‍රේණිවල නිලධාරීන්ගේ මුලික වැටුප ද මේ හා සංසන්දනාත්මකව වැඩි කිරීමට ඉදිරියේ දී කටයුතු කරනවා.

ඒ නිසා අද ලංගම සේවකයෙක් ලෙස අභිමානයෙන් යුතුව පෞද්ගලික අංශයේ සේවකයන් හා නිලධාරීන් ලබා ගන්නා වැටුපට සමාන වැටුපක් ලබාගැනීමට අද හැකියාව ලැබී තිබෙනවා. ඒ නිසා මේ ලබා ගත් මූල්‍ය ජයග්‍රහණය තවදුරටත් පවත්වා ගැනීමට සියලු සේවකයන් එක්ව කටයුතු කරන ලෙස මා මේ අවස්ථාවේ දී ඉල්ලා සිටිනවා. දේශපාලනඥයන් වශයෙන් අපි එනවා. යනවා. නමුත් කුමන දේශපාලනඥයෙක් මේ ආයතන භාර ගත්ත ද මේවා විනාශ නොකොට මහජන සේවාවක් ලබාදීමට කටයුතු කරන ලෙසට මා අවසාන වශයෙන් ඉල්ලා සිටිනවා.

අමාත්‍යාංශයේ ලේකම් ජී. එස්. විතානගේ, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමල් සිරිවර්ධන මහත්වරු ද, නිලධාරිහු ද, වෘත්තීය සමිති නායකයෝ ද මේ අවස්ථාවට සහභාගී වුහ.

 


නව අදහස දක්වන්න