බුද්ධිමතුන් ජනතාවගේ යහපතට නිවැරැදි මඟ පෙන්වීම ඉතා වැදගත් | දිනමිණ

බුද්ධිමතුන් ජනතාවගේ යහපතට නිවැරැදි මඟ පෙන්වීම ඉතා වැදගත්

අනුර ප්‍රේමලාල්
'ඕලු මල් පෙනේ' ග්‍රන්ථයේ කර්තෘ උත්පල මලවරආරච්චි මහතා විසින් ආචාර්ය ගුණදාස අමරසේකර මහතාට පොත පිළිගැන්වීමෙන් පසු....

බුද්ධිමතුන් රටේ සිදු වන සියලු දේ පිළිබඳ නිරන්තර අවධියකින් සිට රටේත් ජනතාවගේත් යහපත උදෙසා නිවැරැදි මඟ පෙන්වීම් සිදු කිරීමේ ක්‍රියාවල යෙදීම ඉතාම වැදගත් බව ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ ඉකුත් දා (22) වෛද්‍ය උත්පල මලවරආරච්චිගේ තෙවන කෘතිය වන 'ඕලු මල් පෙනේ' ග්‍රන්ථය එළි දැක්වීමේ අවස්ථාවට එක් වෙමිනි.

ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ දී මේ උත්සවය පැවැත්විණි.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීය.

මම දැන් බොහෝ විට පොත්පත් එළි දක්වන උත්සවවලට සහභාගි වෙන්නේ නෑ. ඒ කරුණු දෙකක් මතයි. එකක් මගේ වයස. තව නොබෝ දිනකින් අනුවක් වෙනවා. අනෙක එළි දක්වන බොහෝ පොත් පත් තුට්ටු දෙකක්වත් වටින්නේ නෑ. එහෙත් දොස්තර මහත්මයෙක් සිංහලෙන් පොතක් ලියන කොට ඊට ආරාධනා කළොත් මම සහභාගි වෙනවා. ඉකුත් කාලයේ දොස්තර මහත්වරුන් පොත් කිහිපයක්ම ලියා එළි දැක්වූවා. වෛද්‍යවරයෙක් කියන්නේ විශිෂ්ට බුද්ධි මහිමයක් තිබෙන අයෙක්. වෛද්‍ය විද්‍යාලයට පහසුවෙන් ඇතුළු වෙන්න බෑ. එවැනි අය සිය වෘත්තිය විතරක් කරගෙන ඉන්නේ නැතිව තවත් සමාජ මෙහෙවරවල යෙදෙනවා නම් ඉතාම හොඳයි. එවැනි කාර්යයක් ලෙස මේ නවකතා ලිවීම හඳුන්වා දෙන්න පුළුවන්. අද පාර්ලිමේන්තුවේ අ.පො.ස. සා.පෙළවත් සමත් නැති අනුවක් පමණ ඉන්නවා කියනවා. එවැනි තත්ත්වය මත වෛද්‍යවරුන් සිය කාර්යයෙන් පිටතට පැමිණ නවකතාවක් ලියනවා කියන එක ඉතා හොඳ සමාජ මෙහෙවරක්. මීට වසර හැත්තෑවකට හෝ අසූවකට පෙර වෛද්‍යවරයෙක් සිංහලෙන් පොතක් ලිව්වා කිව්වොත් එ්ක ටිකක් පුදුම දෙයක්. ඒ නිසා බුද්ධිමතුන් සිය කාර්යයෙන් පිටතට පැමිණ මෙවැනි නිර්මාණ ඔස්සේ සමාජ ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීම වැදගත්. මම 1950 දී පමණ තමයි වෛද්‍ය විද්‍යාලයේ සිටියේ. ඒ මීට වසර හැත්තෑවකට පෙර. ඒ කාලයේ වෛද්‍ය විද්‍යාල එකයි තිබුණේ. එහි වෛද්‍ය සිසුන් අසූවක් පමණ ඉගෙන ගනිමින් සිටියා. ඒ අතර සිංහල පොතක් ලියන්න හැකි දෙදෙනයි සිටියේ. ඒ මමයි මහාචාර්ය නන්දදාස කෝදාගොඩ මහතායි. අපි දෙදෙනාට පමණයි සිංහලෙන් යමක් කියවලා තේරුම් ගන්න පුළුවන්කම තිබුණේ.

සිංහලෙන් අධ්‍යාපන කටයුතු ආරම්භවීම පිළිබඳ එදා සිටි ඇතැමුන් දොස් පැවරුවත් එය හොඳ දෙයක් බව කිව යුතුයි. ඉන් වෛද්‍යවරයකුට ඉගෙන ගැනීමට කිසිම අයකුට අධ්‍යාපන කටයුතු කරගැනීමට බාධාවක් වුණේ නෑ. එහෙම සිතීම මිථ්‍යාවක්. මගේ පුතා විශේෂඥ වෛද්‍යවරයෙක්. අ.පො.ස. උසස් පෙළ විභාගය කළේ සිංහලෙන්. දැන් මට වඩා හොඳට සිංහල පුළුවන්. සිංහලේ කටයුතු කළ අපේ හිතවතුන් දැන් විදේශවල විශේෂඥ වෛද්‍ය සේවයේ නියැලී සිටිනවා. 'ඕලු මල් පෙනේ' කෘතියේ කර්තෘ කියලා තිබෙනවා එයාට සිංහල බැහැ කියලා. නමුත් පොත අපූරුවට රමණීය ලෙස ලියලා තියෙනවා. අද නම් දිනාගෙන සිටින අයගේ පොත්වලට වැඩිය හොඳට භාෂාව හසුරුවලා තිබෙනවා. මෙහි කතා දෙකක් සමාන්තරව යනවා. මෙහි දැක්වෙන සුවිශේෂී දෙය තමයි වත්මන් ගම ගැන සිදු කරන විග්‍රහය. ගමේ පිරිහීම හොඳටම පේනවා. අධම ගති ඇති දේශපාලනය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය වැනි පහත් හැසිරීම්වලින් ගම පිරිහිලා තිබෙනවා. ඒක හොඳට අපිට පේන්න තිබෙනවා. එදා පණ්ඩුකාභය රජතුමාගෙන් පසු අපේ ඇති වු ග්‍රාම රාජ්‍ය සංකල්පය බුද්ධාගම මුල් කර ගොඩනැඟුණා. ගමේ සහජීවනය, පරාර්ථය තිබුණා. එහි ධනපති කියලා කොටසක් සිටියේ නෑ කියලා පොත්පත්වල සඳහන් වෙනවා. යටත් විජිතයෙන් පසු මේ තත්ත්වය නැති වුණා. ඉන් පසුව ආත්මාර්ථකාමය, කුලල් කෑම, කේලාම් කීම, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය වැනි විනාශකාරී කටයුතු සිදු වෙන්න පටන් ගත්තා. මේ කරුණුත් ඉවහල් කරගෙන තවත් ගැඹුරු විශිෂ්ට නිර්මාණ ඉදිරිපත් කිරීමේ හැකියාව වෛද්‍ය උත්පල මලවරආරච්චි මහතාට තිබෙන නිසා එවැනි නිර්මාණ කිරීමට හැකි වේවා කියා ප්‍රාර්ථනා කරනවා.


නව අදහස දක්වන්න