හදුනා නොගත් පුද්ගලයන් 1000ක් එච්.අයි.වී. ශරීරගතව ජීවත් වෙනවා | දිනමිණ

හදුනා නොගත් පුද්ගලයන් 1000ක් එච්.අයි.වී. ශරීරගතව ජීවත් වෙනවා

සන්ධ්‍යා කරුණාරත්න

එච්.අයි.වී. ඒඩ්ස් වෛරසය ආසාදිත වූ පුද්ගලයන් 4200 ක් පමණ වාර්තා විය යුතු බවට ඇස්තමේන්තු කර තිබුණත් මෙතෙක් හඳුනාගෙන ඇත්තේ 3117 ක් බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන පවසයි.

ඒ අනුව පුද්ගලයන් 1000 ක් පමණ එච්.අයි.වී. වෛරසය ශරීරගතව සමාජය තුළ වාසය කරන බවත් තමන්ට වෛරසය ආසාදිත වී ඇති බවට ඔවුන් නොදන්නා බවත් එම වැඩසටහන ප්‍රකාශ කරයි.

සෑම සතියකදීම අලුතින් රෝගීන් 5 ක් 6 ක් හඳුනා ගන්නා බවත් ඔවුන්ගෙන් වැඩි පිරිසක් වයස අවුරුදු 15 ත් 49 ත් අතර පුද්ගලයන් බවත් ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ විශේෂඥ වෛද්‍ය කේ.ඒ.එම්. ආරියරත්න මහතා පැවැසුවේය.

මෙතෙක් ඉතිහාසයේ වාර්තා වූ වැඩිම එච්.අයි.වී. රෝගීන් සංඛ්‍යාව වන 285 ක් 2017 වසරේදි වාර්තා වූ බවත් 1987 වසරේ සිට මේ දක්වා දැනට වාර්තා වී ඇති රෝගීන් 3117 දෙනාගෙන් පුද්ගලයන් 475 ක් මරණයට පත්ව ඇති බවත් ඔහු පැවැසීය.

ලෝක ඒඩ්ස් දිනය දෙසැම්බර් 01 වැනිදාට යෙදී ඇත. ඒ නිමිත්තෙන් මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ මාධ්‍ය සම්මන්ත්‍රණයට සහභාගි වෙමින් ඒ මහතා මේ බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදි ඊයේ (13) ප්‍රකාශ කළේය. වසර 1987 දි පළමු එච්.අයි.වී. වෛරසය ආසාදිත පුද්ගලයා වාර්තා වූ බවත් එතැන් සිට රෝගය සම්බන්ධයෙන් සමාජය දැනුවත් වීමත් සමඟ රෝගීන් වාර්තා වූ බවත් ඒ මහතා කීය.

වසර 2025 දි ඒඩ්ස් රෝගය මෙරටින් තුරන් කිරීමට ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන බලාපොරොත්තු වන්නේ යැයි ද, එසේ කිරීම සඳහා පුළුල් ලෙස එච්.අයි.වී. රුධිර පරීක්ෂණ සිදු කර එච්.අයි.වී. රෝගීන් හඳුනාගෙන ප්‍රතිකාර ලබා දිය යුතු යැයි ද ඒ මහතා පැවැසීය. ලිංගාශ්‍රිත රෝග සහ ඒවා නිවාරණය පිළිබඳව එළිපිට කතා නොකිරීම නිසා ඒ සම්බන්ධයෙන් ඇති අඩු දැනුම හා මිථ්‍යා මත නිසා රෝග ව්‍යාප්තිය සිදු වන අතර එච්.අයි.වී. රෝගීන් පහත් කර සැලකීම සහ කොන් කිරීම නිසා මෑත කාලයේ සමාජයේ නොයෙක් ගැටලු පැන නැඟී ඇතැයි ද ඒ මහතා අවධාරණය කළේය.

එම ගැටලු රෝගීන් හඳුනාගෙන ප්‍රතිකාර කිරීමේ ක්‍රියාවලියට බාධා පමුණු වන්නේ යැයි ද ඔහු පැවැසීය.

අනාරක්ෂිත ලිංගික ක්‍රියාකාරකම්වලින් වැළැකී සිටීමෙන් වෛරසය ආසාදිත වීම වළක්වා ගත හැකි බවත් වෛරසය ශරීරගත වී ඇති බවට සැකයක් පවතින්නේ නම් ප්‍රතිකාර සදහා යොමු වීමෙන් රෝගය පාලනය කර ගත හැකි බවත් ඔහු කීය.

ඡායාරූපය - සිරිපාල හල්වල

නව අදහස දක්වන්න