ගැටුමක් ඇතිවීම වැළැක්වීමට ජනමත විචාරණයකට යා යුතුයි | දිනමිණ

ගැටුමක් ඇතිවීම වැළැක්වීමට ජනමත විචාරණයකට යා යුතුයි

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීතිවිරෝධීයි. ශ්‍රේෂ්ඨාධිකරණය යම් හෙයකින් තීන්දුවක් ලබා දුනහොත් පාර්ලිමේන්තුව පවත්වාගෙන යා යුතුද, නැද්ද තීරණය කිරීමට මහජනතාවට බලය ලබාදීම සඳහා ජනමත විචාරණයක් පැවැත්විය යුතුයි. එසේ නොකළහොත් ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණය යන තුන අතර ගැටුම් ඇතිවී මේ රට අවුල් ජාලාවක් බවට පත්වන්නේ යයි ජාතික විද්වත් භික්ෂු සංසදයේ මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පැවසූහ.

පැපිළියාන සුනේත්‍රාදේවී පිරිවෙනේ ඊයේ (13) දා පැවැති ජාතික විද්වත් භික්ෂු සංසදයේ මාධ්‍ය සාකච්ඡාව අමතමින් එසේ පැවසූහ. මේ මාධ්‍ය සාකච්ඡාවට ආචාර්ය මාදුරුඔයේ ධම්මිස්සර හිමි, නීතිවේදී ශාස්ත්‍රපති උපාලි හිමි, ශාස්ත්‍රපති හෑගොඩ විපස්සි හිමි, සපුගොල්ලේ ආනන්දකිත්ති හිමි, ශාස්ත්‍රපති කළුතර සුමනානන්ද හිමි යන විද්වත් හිමිවරු සහභාගි වූහ.

තවදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ ජනාධිපතිතුමා අවස්ථානුකූලව ප්‍රජාතන්ත්‍රවාදීව මේ රටේ ජනතාවට අලුත් රජයක් පිහිටුවා ගැනීම සඳහා අලුත් පාර්ලිමේන්තුවක් පිහිටුවා ගැනීම සඳහා පාර්ලිමේන්තුව විසුරුවා හැර ජනවාරි 5 දාට ඡන්දයක් පැවැත්වීමට මැතිවරණය ගෙන ඒමට අවස්ථාව ලබා දුන්නා. එය නීති විරෝධීයි. ව්‍යවස්ථානුකූල නොවන බව පවසමින් මේ රටේ ඇතැම් පිරිස් උසාවි ගොස් තිබෙනවා. අද ශ්‍රේෂ්ඨාධිකරණය මේ සම්බන්ධව සවස් වන විට තීන්දුවක් දේවි. මේ සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු තුනක් ගැනීමට ඉඩ තිබෙනවා. පළමු එක පාර්ලිමේන්තුව ව්‍යවස්ථා විරෝධී කියා තීන්දු කිරීම, දෙක ජනාධිපතිවරයා ගන්නා ලද තීරණය නිවැරැදියි. ජනවාරි 5දා ඡන්දයක් පැවැත්වීම සුදුසුයි. එ‍ෙස් නැත්නම් තුන්වෙනි එක අධිකරණය විවෘත තීන්දුවක් දීල අර්ථකථන මඟින් තීරණයක් ගැනීම. එසේ වුවහොත් ජනාධිපතිවරයා මේ සම්බන්ධව අධිකරණ මණ්ඩලයක් පත්කර විනිශ්චයකාර මණ්ඩලයක් අර්ථකථනය කර කටයුතු කර නිවැරැදි තීන්දුවකට ඒම. කෙසේ වෙතත් ජාතික විද්වත් භික්ෂු සංසදය හැටියට අප ඉල්ලා සිටින්නේ නීතිවිරෝධී නම් මහජනතාවට ජනමත විචාරණයක් මඟින් පාර්ලිමේන්තුව පවත්වාගෙන යා යුතුද, ඡන්දයක් අවශ්‍ය නැද්ද තීරණය කිරීමට අවස්ථාව ලබාදෙන ලෙස ඉල්ලා සිටින බව ද අභයතිස්ස හිමියෝ පැවසූහ.

ආචාර්ය මාදුරුඔයේ ධම්මිස්සර හිමි කතා කරමින්, මේ රටේ 26 වෙනිදා පැවැති විජාතික ආණ්ඩුවක්. රනිල් මහතා සෑම විටම ආමන්ත්‍රණය කරන්නේ තානාපති කාර්යාලවලට විනා මේ රටේ ජනතාවට නොවෙයි. ජනාධිපතිතුමා ගන්නා ලද ක්‍රියාමාර්ගය ඉතාම අවස්ථාවෝචිතයි. මේ රටේ කතානායකතුමා පක්ෂග්‍රාහී ප්‍රතිපත්තියක් අනුගමනය කළා. එවැනි ක්‍රියාකලාපයක් යටතේ ජනාධිපතිතුමා තීරණය කළා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කටයුතු කළා. මන්ත්‍රීවරු මුදලට විකිණෙන අවස්ථා උද්ගත වුණා. එයත් ජනාධිපතිතුමාට ආණ්ඩුව විසුරුවා හැරීමට හේතු වුණා. දැනට පවතින භාරකාර රජය ජනතාව වෙනුවෙන් ඉතා ඕනෑකමින් කටයුතු කළ යුතුයි යන්නත් ඉල්ලා සිටින්නේ යයි ද කීහ.

ත්‍රිකුණාමලේ ජයසුමනාරාමාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සපුගොල්ලේ ආනන්දකිත්ති හිමි කතා කරමින්, මේ රටේ ප්‍රභාකරන් යුද සමයේදීවත් මේ රටේ නැ‍ඟෙනහිර පුරාවස්තු විහාරස්ථාන විනාශ නොකළත් පසුගිය කාලය තුළ නැ‍ඟෙනහිර විහාරස්ථාන රාශියක් විනාශ කර තිබෙන බව ද කීහ.

බොරලැස්ගමුව සමූහ

නව අදහස දක්වන්න