සිරිකොත අර්බුදය රට පිට පැටවීම | දිනමිණ

සිරිකොත අර්බුදය රට පිට පැටවීම

රනිල් වික්‍රමසිංහ මහතාගේ අවසන් ඉලක්කය වන පක්ෂ නායකත්වය රැකගැනීම සඳහා පෙළගස්වන ලද මෙම උප්පරවැට්ටි කරණකොට ගෙන විධායකය හා ව්‍යවස්ථාදායකය අතර ගැටුමක් නිර්මාණය විය. එහිලා රජයන් දෙකක් එකවර නිර්මාණය විය. එනම් ජනාධිපතිවරයා විසින් නෛතිකව පත්කරන ලද නව රජය සහ රනිල් වික්‍රමසිංහ මහතාගේ වුවමනාවට කතානායකවරයා විසින් පිළිගන්නා පැරණි රජයයි. මෙය රටේ ස්ථාවරභාවය හා ජාත්‍යන්තර පිළිගැනීම පිළිබඳ පැනනැගුණු උග්‍ර අර්බුදයක් බවට පත්විය. රනිල් වික්‍රමසිංහ මහතාගේ පක්‍ෂ නායකත්වය රැක දීමට කථානායකවරයා විසින් ගන්නා ලද නොමනා ක්‍රියාමාර්ග නිසා රට අර්බුදයට ගියේය.

එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව අර්බුදය ආරම්භ වූයේ ලලිත් ඇතුලත්මුදලි මහතා සහ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ අභාවයත් සමගය. එවකට අගමැතිව සිටි ඩී.බී. විජේතුංග විසින් ඉනික්බිති කෙටි කාලයක් සඳහා ජනාධිපති ධුරය ඉසිලුව ඉන් පුරප්පාඩු වූ අග්‍රාමාත්‍ය ධුරය රනිල් වික්‍රමසිංහ මහතා වෙත පැවරුණි. එහෙත් ඒ දෙදෙනාම යටපත් කරමින් ගාමිණි දිසානායක මහතා 1994 දී පවත්වන ලද ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට දක්‍ෂකම් පෙන්වූ නමුදු දේශපාලන වේදිකාවකට එල්ලවූ ප්‍රහාරයකින් ඒ මහතා ඇතුළු පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෝ සැලකිය යුතු පිරිසක් මියගියහ. එම ජනාධිපතිවරණයෙන් අන්ත පරාජයක් ලද එක්සත් ජාතික පක්‍ෂය එතැන් සිට මෙහෙයවීම සඳහා නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ පත්කර ගනු ලැබීය.

ඉන් පසු 2000, 2005, 2010 සහ 2015 වසරවල දී ජනාධිපතිවරණ පැවැත්විණි. එයින් 2000 සහ 2005 ජනාධිපතිවරණ දෙකට ඉදිරිපත් වූ රනිල් වික්‍රමසිංහ මහතා, දරුණු ලෙස පරාජයට පත්විය. එක්සත් ජාතික පක්‍ෂයේ නායකයාට කිසි දා ජනාධිපතිවරණයක් ජය ගත නොහැකි බව දත් කෘත්‍යාධිකාරී මණ්ඩලය රනිල් වික්‍රමසිංහ මහතාට විකල්ප ලෙස පොදු අපේක්‍ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා 2010 ජනාධිපතිවරණයට ඉදිරිපත් කරනු ලැබුව ද ඔහු ප්‍රතිවාදියා වූ මහින්ද රාජපක්‍ෂ මහතා ඉදිරියේ අන්ත පරාජයට පත්විය. 2015 ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කිරීමෙන් සිව්වෙනි වරටත් පරාජය වීම වළක්වාගනු පිණිස පක්‍ෂය තුළින් අපේක්ෂකයකු සොයාගනු නොහැකිව යළිත් පොදු අපේක්‍ෂකයකු සොයා ගත්තේය. එවර පොදු අපේක්‍ෂකයා වූයේ මෛත්‍රීපාල සිරිසේන මහතාය. එම ජනාධිපතිවරණයේ දී ඔහු ජයගත් අතර ඔහු අයත් වූයේ එක්සත් ජාතික පක්ෂයට නොව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බව කාහටත් පසක් වූයේ ඔහු නොබෝ දිනකින්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය සියතට ගැනීමෙන් පසුවය.

අන්ත පරාජයක්

2001 දී පවත්වන ලද මහමැතිවරණය හැරුණු විට, 1994 පටන් 2015 දක්වා පැවති පාර්ලිමේන්තු මැතිවරණ ද පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණ ද ඇතුළු රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වය දුන් සියලු මැතිවරණවලින් එක්සත් ජාතික පක්‍ෂය අන්ත පරාජයට පත්විය. සැබෑ නායකයකු නොමැති සෑම තීරණාත්මක මොහොතකදී ම පිටස්තරයෙකුගේ සරණ පතන පරාධීන පක්‍ෂයක් බවට එක්සත් ජාතික පක්‍ෂය පත් විය. වික්‍රමසිංහ මහතා සියවස් කාලක් එක්සත් ජාතික පක්‍ෂයේ නායකයා ලෙස කටයුතු කර එම කාලය තුළ සිය පක්‍ෂය අන්ත බංකොලොත් භාවයට පත් කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස මැතිවරණවලින් තේරී පත්වූ එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දුසිම් ගණන් රනිල් වික්‍රමසිංහ මහතා අතහැර ආණ්ඩු පක්‍ෂයට බැඳුණි. එපමණක් නොව උප නායකයා ද මහ ලේකම්වරයා ද පක්‍ෂය හැර ගියේය. එසේ රනිල් වික්‍රමසිංහ මහතා හැරගිය මන්ත්‍රීවරු ඔහුට එරෙහි ප්‍රබල විවේචකයෝ බවට පසු කලෙක පත්වූහ.

මේ සමග එක්සත් ජාතික පක්‍ෂය නායකත්ව අර්බුදයකට අවතීර්ණ විය. එනම් රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වයෙන් ඉවත්කොට වෙනත් සුදුස්සකු ඒ සඳහා පත්කර ගැනීමේ පක්‍ෂ තීරණයයි. සෑම මැතිවරණයකින් පසුවම පාහේ රනිල් වික්‍රමසිංහ මහතා පක්‍ෂ නායකත්වයෙන් නෙරපිය යුතු බැව් පාක්‍ෂිකයෝ කීහ. එහෙත් දේශපාලන සටකපටකම්වල ප්‍රවීණයකු වන ඔහු පක්‍ෂ නායකත්වය බේරා ගැනීමට සමත් විය. එවැනි අභියෝග හමුවේ ඔහුගේ සාමාන්‍ය සිරිත වන්නේ අහිංසකකම, ප්‍රජාතන්ත්‍රවාදය හා ලිච්ඡවී ලක්‍ෂණ පෙන්වීමයි. ඔහුට එල්ල වූ අවසන් නායකත්ව අභියෝග දෙක ඉතා දක්ෂ ලෙස ඔහු ජයගත්තේය. ඉන් එක් වතාවක “නායකත්ව මණ්ඩලයක්” පත්කිරීමේ උපායත් අනෙක් වතාවේ “නායකත්ව පරපුරක්” බිහිකිරීමේ උපායත් යොදා ගැනුණි.

කුමන උප්පරවැට්ටියක් යොදා හෝ සිය පක්‍ෂ නායකත්වය ආරක්ෂා කරගනු ලැබුව ද සිරිකොතේ අළු යට ගිනි පුපුරු කිසි දා නිවී ගියේ නැත. පක්ෂ අභ්‍යන්තරය දෙදරා ගොස් නායකත්වය අහිමි වී යාම තාවකාලිකව වලක්වා ගත හැකි වූයේ 2015 ජනාධිපතිවරණයට මෛත්‍රිපාල සිරිසේන මහතා කැඳවීමත් සමගය. එතැන් පටන් රනිල් වික්‍රමසිංහ මහතාට පක්‍ෂ නායකත්වය පිළිබඳ අර්බුදයක් පැන නොනැගුණේ ඔහුට අගමැතිකම ලැබී දේශපාලන සූරයකු බැව් පෙනෙන්ට වූ නිසාය. එහෙත් වසර තුනහමාරක් ඇවෑමෙන් රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිකමට නොගැලපෙන පුද්ගලයකු බව ජනාධිපතිවරයාට හැඟී යාමත් සමග හෙතෙම අගමැති ධුරයෙන් පහකරනු ලැබීය. ඒ සමගම යළිදු නායකත්ව අර්බුදය පැනනැගුණි. සිය පක්‍ෂ නායකත්වය රැකගැනීමට යෙදූ අවසන් උපායෙහි සිරකරුවකු බවට පත්වීමට රනිල් වික්‍රමසිංහ මහතාට සිදුවූයේ ජනාධිපති සිරිසේන මහතා ඔහු හැරදා ගිය පසුවය.

විරෝධතා පෙළපාලි

අගමැතිකමින් නෙරපූ පසු රනිල් වික්‍රමසිංහ මහතාගේ හැසිරීම යොමු වූයේ පළමුව පසුබා නැවත අගමැතිකම ලබාගැනීමේ නෛතික ක්‍රමවේදයට අවතීර්ණ වීම කෙරෙහි නොව කෙසේ හෝ එම ධුරය හෙබවීම කෙරෙහිය. ඕනෑම සේවකයකු සේවයෙන් පහකරනු ලැබුව විට ප්‍රථමයෙන් එම ප්‍රතිඵලය භාරගෙන දෙවනුව එය නීතියෙන් අභියෝගයට ලක් කිරීම සිරිතයි. වෘත්තියෙන් නීතිඥයකු වන වික්‍රමසිංහ මහතා නීති මාර්ගයට අවතීර්ණ නොවූයේ අගමැතිධුරය අහිමි වූ බව පිළිගත් ක්‍ෂණයකින් සිය නායකත්ව අර්බුදයට මුහුණ දීමට සිදුවන බව දන්නා බැවිනි. එහෙයින් ව්‍යවස්ථා අර්බුදයක් මවා පාමින් නායකත්ව අර්බුදය යටපත් කිරීමට ඔහු ක්‍රියා කළේය. දැනුදු ක්‍රියා කරමින් සිටින්නේය.

පාක්‍ෂිකයන්ට මේ බව හොඳින් වැටහුණු බැවින් ඔවුන් පවත්වන ලද විරෝධතා පෙළපාලිවල දී ප්‍රකාශ වූයේ රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවට වෙනත් නායකයකු අවශ්‍ය බවයි. ජනාධිපතිවරයාගේ ගැසට් නිවේදනය පිළිගෙන අරලියගහ මැඳුරෙන් ඉවත් වී ගියහොත් ඔහුට නැවත සිරිකොතට යාමට ඉඩ නොලැබෙන බව රනිල් වික්‍රමසිංහ මහතා දැන සිටියේය. එබැවින් ජාත්‍යන්තර බළල් අත් වැලඳ ගනිමින් රාජ්‍ය දේපළ අවභාවිත කරමින් පාක්ෂිකයා තුළ ජනාධිපතිවරයා කෙරෙහි වෛරයක් ගොඩනැගීම හා ඔහුට එරෙහිව සටන් කිරීම වික්‍රමසිංහ මහතාගේ උපාය විය. ඒ මත පක්‍ෂ නායකත්වය රැකගැනීම ඔහුගේ අවසන් ඉලක්කයයි. එම ඉදිරි මැතිවරණවලින් ද අන්ත පරාජයක් අත්වනු නියත බව ඔහු නොදන්නවා නොවිය හැකි වුවද 2030 දක්වා පක්‍ෂ නායකත්වයේ රැඳී සිටීම ඔහුගේ ඒකායන සැලසුම වේ. ඒ වනාහි 2020 දී හා 2025 දී පවත්වනු ලබන ජනාධිපතිවරණ දෙකම පිටපිටම ජයගත හැකි බවට සිහින දැකීමයි.

ඔහුගේ මෙම ක්‍රියාදාමය ඔහුටම පාරාවළල්ලක් වූයේ ළඟ නොබලා දුර බැලීමට යාමෙන්ය. ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ කිසි දා නොවූ විරූ ආකාරයෙන් පක්‍ෂයට කත් අදින පක්ෂග්‍රාහී කථානායකවරයාගේ හැසිරීම නිසා රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය රැකගැනීම පිණිස වූ අවසාන තුරුම්පුව ද ගිලිහී ගියේය. කථානායකවරයා ලවා අනීතික වැඩ කීපයක් කරගැනීම රනිල් වික්‍රමසිංහ මහතාගේ උපාය විය. පළමුවැන්න, ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද නව අග්‍රාමාත්‍යවරයා පත් කිරීමේ ගැසට් නිවේදනය පිළිනොගැනීමට කථානායකවරයාට බල කිරීමයි. දෙවැන්න, විසුරුවා හරින ලද කැබිනට් මණ්ඩලය පිළිගන්නා බව දන්වා කථානායකවරයා ලවා ලිපියක් ජනාධිපතිවරයාට යොමු කරවීමයි. තෙවැන්න, මෙම 14 දිනට රැස්වීමට නියමිත පාර්ලිමේන්තුවේ නව රජයේ අමාත්‍ය මණ්ඩලයට අසුන් පැනවීමෙන් වැලකී සිටින බවට ප්‍රකාශයක් ලබාගැනීමයි. සිව්වැන්න, තානාපතිවරුන් කැඳවා නව රජයක් පත්වී නොමැති බව දැනුම් දීමයි.

රනිල් වික්‍රමසිංහ මහතාගේ අවසන් ඉලක්කය වන පක්ෂ නායකත්වය රැකගැනීම සඳහා පෙළගස්වන ලද මෙම උප්පරවැට්ටි කරණකොට ගෙන විධායකය හා ව්‍යවස්ථාදායකය අතර ගැටුමක් නිර්මාණය විය. එහිලා රජයන් දෙකක් එකවර නිර්මාණය විය. එනම් ජනාධිපතිවරයා විසින් නෛතිකව පත්කරන ලද නව රජය සහ රනිල් වික්‍රමසිංහ මහතාගේ වුවමනාවට කතානායකවරයා විසින් පිළිගන්නා පැරණි රජයයි. මෙය රටේ ස්ථාවරභාවය හා ජාත්‍යන්තර පිළිගැනීම පිළිබඳ පැනනැගුණු උග්‍ර අර්බුදයක් බවට පත්විය. රනිල් වික්‍රමසිංහ මහතාගේ පක්‍ෂ නායකත්වය රැක දීමට කථානායකවරයා විසින් ගන්නා ලද නොමනා ක්‍රියාමාර්ග නිසා රට අර්බුදයට ගියේය. එහෙත් ඔවුන් කල්පනා කළේ රටේ අර්බුදයට වඩා සිරිකොතේ අර්බුදය විසඳා ගැනීම තමන්ට වටිනා බවයි.

ජනතා පරමාධිපත්‍ය බලය හොබවන ජනාධිපතිවරයාට රට සම්බන්ධයෙන් මෙය තීරණාත්මක මොහොතක් විය. 2015 දී තමා ජනාධිපති ධුරයට පත්කිරීමට වෙහෙස වූ එක්සත් ජාතික පක්ෂය ඇතුළු කණ්ඩායම්වල මනදොළ සපිරීමට වඩා රට වෙනුවෙන් එඩිතර පියවරක් ගැනීමට ඔහුට සිදුවිය. එහි දී එල්ලවන චෝදනා සියල්ලට වඩා ජනතාව ඔහුට භාර දුන් කාර්යය උතුම් බව ඔහු තේරුම් ගත්තේය. කෙබඳු පුද්ගලයකු ලෙස දේශපාලනයෙන් විශ්‍රාම යාමට සිදු වුවත් රට වෙනුවෙන් අවශ්‍ය මොහොතේ අවශ්‍ය කාර්යය ඉෂ්ට කිරීමට ඔහු නොපැකිළව ක්‍රියාකළේය. ඒ අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයකට ඉඩ සැලසුවේය.

අර්බුදයේ අවසානය

දැන් රටේ අර්බුදය අවසානය. මහජනතාව විසින් නව රජයක් බලයට පත්කර ගත යුතුය. එවිට අගමැතිවරු දෙදෙනකු හෝ ආණ්ඩු දෙකක් පිළිබඳ මවා පා තිබූ අර්බුදය අවසන් වන්නේය. එහෙත් මෙතැන් පටන් රනිල් වික්‍රමසිංහ මහතාගේ පක්‍ෂ නායකත්වය පිළිබඳ අර්බුදය කැරැල්ලක් බවට පත්වීම වැළැක්විය නොහැක. මේ වන විටත් පක්‍ෂය මෙහෙයවීම සඳහා නව පක්‍ෂ නායකයකු පත්කර ගැනීමේ නොනිල සාකච්ඡා ආරම්භ වී ඇත. හෙට අනිද්දා වන විට රනිල් වික්‍රමසිංහ මහතා මහජන අප්‍රසාදය මැද අරලියගහ මැඳුරෙන් එළියට බසිනු ඇත. ඉනික්බිතිව පක්‍ෂයේ හටගන්නා කැරැල්ලෙන් ඔහු පක්‍ෂයෙන් අතුගෑවී යන්නේය. එය ඔහුගේ දේශපාලන ජීවිතයේ අවසානය ද වන්නේය.

දේශපාලනඥයා කපටි බුද්ධියෙන් හෙබි පුද්ගලයකු විය යුතු බැව් මැකියාවෙල්ලිගේ කාලයේ පටන් දේශපාලන ලෝකයේ ප්‍රසිද්ධ පිළිගැනීමකි. ඒ වනාහි පාලන බලය ලබාගැනීමත් එම බලය පවත්වා ගැනීමත් සඳහාය.

එහෙත් පාලන බලය ලැබූ දා පටන් ඔළුව උදුම්මා ගෙන පාක්ෂිකයන්ගේත් රටවැසියාගේත් හඬට කන් නොදීමත්, පාලන කාලය තුළ මහජනයාට වංචා හා කපටිකම් කිරීමත්, මහජනයා පිඩාවට පත්කිරීමත් විශ්වාස කළ නොහැකි පුද්ගලයකු ලෙස හැසිරීමත්, යනාදිය නිසා කළු පැල්ලම් හිමිකරගත් නායකයන් ද කුණු කූඩයට වැටුණු නායකයන් ද ලෝක දේශපාලන ඉතිහාසයේ අපමණය. අප රටේ ස්වෛරී භාවයට එරෙහිව දැන් තිබෙන දරුණු විදේශීය අත පෙවීම් රනිල් වික්‍රමසිංහ මහතා විසින් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විදේශිකයන්ට උකස් කර දමා ඇති බැවින් වත් දැයි සැක කිරීමට තරම් රටවැසියා පෙළඹී ඇත. පක්‍ෂ නායකකම රැකගැනීමට ගොස් පක්ෂය බංකොලොත් කිරීමත් ඒ ඔස්සේ රට අර්බුදයට පත්කිරීමත් යන කාරණා දෙක රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන ජීවිත කතාවේ අප්‍රසන්නතම වූත් දීර්ඝතම වූත් පරිඡේද දෙක ලෙස ලියවෙනු ඇත.

නව අදහස දක්වන්න