සුළුපටු නොවන ජනපති බලය | දිනමිණ

සුළුපටු නොවන ජනපති බලය

19 වන ව්‍යවස්ථාවේ 62වන ව්‍යවස්ථාවේ දෙවන අනු ව්‍යවස්ථාවට අනුවද ජනාධිපතිවරයාට ඕනෑම අවස්ථාවක පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය හිමිවී තිබේ. තවද 19 වන ව්‍යවස්ථාවේ 29 වන ව්‍යවස්ථාවේ (ඈ) ව්‍යවස්ථාවේ සඳහන්වන ආකාරයට ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හෝ වෙනත් ලිඛිත නීතියකින් හෝ ප්‍රකාශිතව ජනාධිපතිවරයා ‍වෙත පවරා හෝ නියමකර ඇත්තාවූ බලතලවලට සහ කාර්යයන්ට අමතරව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව කැඳවීමට, වාර අවසන් කිරීමට හෝ විසුරුවා හැරීමට බලය ඇත.

ගෙවී ගිය දින කීපය තුළ අප රටේ සුවිශේෂී දේශපාලන සිදුවීමක් හේතුවෙන් එක්සත් ජාතික පෙරමුණ හා එක්සත් ජනතා නිදහස් සන්ධානය එක්ව 2015 අගෝස්තු මස සිට පවත්වාගෙන ආ ජාතික ආණ්ඩුව හදිසියේම බල රහිත විය. එක්සත් ජනතා නිදහස් සන්ධානය ජාතික ආණ්ඩුවෙන් ඉවත්වීම එයට හේතු විය. එම ඉවත්වීමත් සමඟ ජාතික ආණ්ඩුවේ අගමැතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලයම වෙනස් වී ඒ වෙනුවට නව අගමැතිවරයකු හා කැබිනට් මණ්ඩලයක් පත්කොට පාර්ලිමේන්තු සභාවාරය නොවැම්බර් 14 දා තෙක් කල් තැබීමට ජනාධිපතිවරයා කටයුතු කළේය.

මේ සිදුවීම රටේ ජනතාව අතර මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද දැඩි අවධානයට ලක්වී තිබුන අතර ඒ සඳහා විවිධ නිර්වචන දීම ද සිදුවේ. ජනාධිපතිවරයා විසින් ආණ්ඩුව වෙනස්කොට පාර්ලිමේන්තු කල්තැබීම ඇතැමුන්ගේ විවේචනයට ලක්වූ අතර ජනාධිපතිවරයා විසින් කල් තැබූ පාර්ලිමේන්තුව යළි කැඳවීමට කථානායකවරයාට හැකියාව තිබේ යැයි ද කල්තැබූ පාර්ලිමේන්තුව යළි කැඳවීමට උත්සාහ නොගනිතැයි ද කථානායකවරයාට චෝදනා කළහ.

විධායක ජනාධිපතිවරයකුට හදිසියේ පාර්ලිමේන්තුව කල් තැබීමට ඇති බලය කුමක්ද? ජනාධිපතිවරයා විසින් කල් තැබූ පාර්ලිමේන්තුව කථානායකවරයාට යළි කැඳවීමේ බලය ව්‍යවස්ථාවට අනුව තිබේදැයි ද යන්න සාකච්ඡාවට ලක්කළ යුතු කාරණයක් විය.

1978 ව්‍යවස්ථාව

1972 වසරේදී ශ්‍රී ලංකාවේ ප්‍රථම ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ස්ථාපිත වූ අතර එහි බලතල හිමිව තිබුණේ අගමැතිවරයාට පමණි. එහෙත් පාර්ලිමේන්තුව කල්තැබීම හෝ යළි කැඳවීමේ පූර්ණ බලය හිමිව තිබුණේ එවකට නාමමාත්‍ර ජනාධිපතිවරයාට බව ව්‍යවස්ථාවේ පැහැදිලිව තිබුණි.

1977 බලයට පත්වූ එක්සත් ජාතික පක්ෂයේ ජේ. ආර්. ජයවර්ධන මැතිතුමා 1978 දී ශ්‍රී ලංකා ජනරජයේ දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ස්ථාපිත කළ අතර මේ වනතුරු ක්‍රියාත්මක වන්නේ එම ව්‍යවස්ථාවයි. එම ව්‍යවස්ථාවට අනුව එතෙක් පැවැති නාමික ජනාධිපතිධුරය වෙනුවට විධායක ජනාධිපති ධුරය ස්ථාපිත කෙරුණ අතර එම ධුරය අගමැතිධුරයට වඩා බලය සහිත රටට, ජනතාවට වගකියන ධුරයක් බවට පත් කෙරිණි.

ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගෙන් පසුව විධායක ජනාධිපතිවරු සිව්දෙනෙකු පත් වූ අතර මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ශ්‍රී ලංකාවේ හයවැනි විධායක ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කරන්නේය. මීට පෙර ධූර දැරූ සෑම ජනාධිපතිවරයකුම විවිධ හේතු මත එක් එක් අවස්ථාවලදී පාර්ලිමේන්තු සභා වාරය කල් තබා ඇත. පාර්ලිමේන්තුව කල්තැබීම ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී කාරණයක් හෝ රටක දේශපාලන අස්ථාවරභාවය ඇතිකරන්නක් නොවන්නේ එබැවිනි.

1977 - 2015 කාලසීමාව තුළ 18 වතාවක් පාර්ලිමේන්තුව කල් තබා නැවත ආරම්භ කර තිබූ අතර වරක් රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාව කතානායකවරයා භාරගෙන තිබූ අවස්ථාවකදී ද ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව කල්තබන ලදී. එහෙත් වර්තමානයේ පාර්ලිමේන්තුව කල්තැබීම වෙනුවෙන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට ඉහත සඳහන් අන්දමේ කාරණයක් අදාළ වූයේ නැත. මෙවර සිදුවූයේ අගමැතිවරයා හා කැබිනට් මණ්ඩලය තවදුරටත් එම ආකාරයෙන් තබාගෙන පාර්ලිමේන්තුව ඉදිරියට පවත්වා යා නොහැකි තත්ත්වයකදී පාර්ලිමේන්තුව කල්තැබීමේ අයිතිය ක්‍රියාත්මක කිරීමයි. එසේ නැතහොත් රටේ රාජ්‍ය ආරක්ෂාව වැනි ජාතික කාරණයක් සම්බන්ධව හෝ ආර්ථික ලේඛනය ගෙනඒම සඳහා කාලයක් අවශ්‍ය වුවහොත් හා වෙනත් පනතක් ගෙන ආ යුතුය යන කාරණා ඇතුළු වෙනත් ඕනෑම කටයුත්තකදී තම අභිමතය පරිදි පාර්ලිමේන්තුව කල්තැබීමේ අයිතිය විධායක ජනාධිපතිවරයාට හෝ වරියට ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වන ව්‍යවස්ථාව මඟින් ලබා දී තිබේ. එලෙස කල්තබන ලද පාර්ලිමේන්තුව යළි කැඳවීමේ බලය ද ලැබී ඇත්තේ විධායක ජනාධිපතිවරයාට ම පමණි.

කල් තැබූ පාර්ලිමේන්තුව කැඳවීමේ අයිතිය කථානායකවරයාට තිබෙන බව ඇතැම් පිරිස් ප්‍රකාශ කළ ද එවැනි බලයක් කථානායකවරයාට ව්‍යවස්ථානුකූලව ලැබී නැත. යළි පාර්ලිමේන්තුව කැඳවන දිනය ජනාධිපතිවරයා විසින් කථානායකවරයාට දැනුම් දුන් පසු ගැසට් නිවේදනය පළකොට අදාළ දිනයේදී පාර්ලිමේන්තුව කැඳවීම කතානායකවරයා විසින් සිදුකරනු ලබන කාර්යභාරය වේ.

පාර්ලිමේන්තුව කල්තැබීම හෝ කැඳවීම පිළිබඳ කිසිවකුට යම් ගැටලුවක් තිබේ නම් ඒ සම්බන්ධයෙන් නිවැරදි නිර්වචනයක් ලබාගෙන නිරාකරණය කර ගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ සහය ලබාගැනීමට පුළුවන්කම තිබේ. ශ්‍රී ලංකාව තුළ නීතිය ක්‍රියාත්මක වන ප්‍රධාන ස්ථාන තුනක් තිබෙන අතර ඒවා නම් විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය ය. ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව විධායකය ජනාධිපතිවරයා සතුවන අතර ව්‍යවස්ථාදායකය පාර්ලිමේන්තුව සතුය. නඩු කටයුතු පිළිබඳ නිර්වචන කාර්යභාරය අධිකරණය විසින් සිදුකරනු ඇත. යහපැවැත්ම, යහප්‍රජාතන්ත්‍රවාදය තිබෙන රටක විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය වෙන් වෙන් වශයෙන් ක්‍රියාත්මක විය යුතුය. රටේ පවතින ව්‍යවස්ථාදායකය සම්බන්ධයෙන් ඕනෑම කරුණක් දැනගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත නඩුවක් ගොනුකිරීමේ මූලික අයිතිය සෑම පුරවැසියකුටම තිබේ.

එවැනි නෛතික රාමුවක් රටේ නිර්මාණය වී තිබියදීත්, නීති විශාරදයන්, නීතිමය තත්ත්වය ප්‍රකාශ කරද්දීත් ඇතැමුන් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව කල්තැබීම සම්බන්ධයෙන් සිදුකරන යම් යම් ප්‍රකාශ සාවද්‍ය වේ. මෙරට ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුව කල්තැබීම සම්බන්ධයෙන් විදෙස් බලවේගවලට අතපෙවීමට ඉඩදීම ප්‍රඥා ගෝචර නොවන අතර එවන් තත්ත්වයන් හමුවේ අප රට මුහුණදුන් අවාසනාවන්ත අත්දැකීම් ලංකා ඉතිහාසය අධ්‍යයනය කිරීමේදී පසක්වනු ඇත. මේ රටේ ප්‍රශ්නවලට විදේශ බලපෑම්වලින් තොරව විසඳුම් සොයාගැනීම රටේ පැවැත්මට ගෝචරවන අතර පසුගියදා පාර්ලිමේන්තුව කල්තැබීම සම්බන්ධයෙන් ඇතැම් තානාපති කාර්යාල සිදුකළ බලපෑම් අනුමත කළ නොහැක. “අපේ රටේ ප්‍රශ්න අපි විසඳාගත යුතුයි” යනුවෙන් ප්‍රකාශ නිකුත් කරමින් විදෙස් අතපෙවීම් සඳහා විරෝධය ප්‍රකාශ කළ ගෞරවණීය ස්වාමීන් වහන්සේලා ඇතුළු අතිඋත්තම පූජකතුමන්ලා දුන් ආදර්ශය මෙහිදී ඉතා වටිනේය.

බාහිර බලපෑම්

බාහිර පාර්ශ්වයන් අතපෙවිය යුතු ප්‍රශ්නයක් මේ වන විට රට තුළ නැත. ඇත්තේ දේශපාලන වශයෙන් රටේ පවතින ව්‍යවස්ථානුකූලව විසඳාගත හැකි ගැටලුවක් පමණි. ජනපතිතුමාගේ විධායක බලතල අනුව දැනට ක්‍රියාත්මක වන ව්‍යවස්ථාව මඟින් එම ගැටලුව නිරාකරණය කර ගනු ඇත. වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් කිසිවක් නොකරන බව පැහැදිලිය. රට තුළ යම් ගැටලුකාරී තත්ත්වයක් පැන නැඟුණ තැන එතුමා තමා සතු බලතල පමණක් උපයෝගී කරගනිමින් අවස්ථානුකූලව ක්‍රියාකර තිබීම ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන, පවතින ව්‍යවස්ථාවට ගරු කරන කාටත් අවබෝධ වනු ඇත. ජනතා ඡන්දයෙන් පත් වූ ජනාධිපතිවරයකු රටේ මෙන්ම ජනතාවගේ ආරක්ෂාවත්, සමස්ත පරිපාලන තන්ත්‍රයේම ස්ථාවරත්වය ගැනත් වගකිවයුතු වේ. එසේ නොවුවහොත් ජනතාව ‍ඔහු කෙරෙහි පැවැති විශ්වාසය බිඳවැටෙනු ඇත.

පසුගිය දින කීපය තුළ අප රට තුළ සිදු වූ දේශපාලනික වෙනස්කම් දෙස බැලූ කල සිදුවිය යුතු දේ සිදුකිරීම හැර නීතිවිරෝධී කටයුත්තක් සිදුකොට නැත. ජනාධිපතිතුමා විසින් පත්කළ නව අගමැතිවරයා පාර්ලිමේන්තුව තුළ දී පිළිගැනීමට කතානායකතුමා සූදානම් නැති බව එතුමා විසින් ජනාධිපතිතුමාට ලිඛිතව දැනුම් දුන් අතර එයින් පාර්ලිමේන්තුව නැවත කැඳවීමක් කළද අවුල් වියවුල්තාවයක් හටගන්නවා මිස එකඟතාවයකට පත්වීමක් සිදු නොවන බව පැහැදිලිය. මෙවන් තත්ත්වයන් හමුවේ රටේ පරිපාලන කටයුතු ශීඝ්‍රයෙන් අඩාලවීමට මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර ද සමස්ත සිවිල් ජනතාව අතර, දේශපාලන මතිමතාන්තර හේතුවෙන් නොසන්සුන්තාවක් ඇති වීමටද ඉඩ කඩ තිබුණි. මෙම සියලු කරුණු කාරණා හේතුවෙන් අනාරක්ෂිත වන රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට ද ජනාධිපතිතුමාට වගකීමක් තිබේ. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වන ව්‍යවස්ථාවේ (අ) අනුව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයා සතු වගකීම් අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුගමනය කළයුතු අතරම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට ද බැඳී සිටින බව සඳහන්ය.

උද්ගතවූ තත්ත්වයන් අනුව පාර්ලිමේන්තුව තුළත් රට තුළත් ඇතිවීමට තිබූ බරපතළ අර්බුදකාරී තත්ත්වය හමුවේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම හැර වෙනත් විකල්පයක් ජනපතිතුමාට නොතිබූ බව පැහැදිලිය. පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව වසර හතරයි මාස හයක් යනතුරු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලයක් ජනාධිපතිතුමාට නැතැයි ඇතැමුන් චෝදනා නැගුවද, 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ම 62 වන ව්‍යවස්ථාවේ පළමු අනු ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුව ඉකුත්වීමට පෙර විසුරුවාහැරීමේ බලය ජනාධිපතිවරයාට ඇත.

එමෙන්ම 19 වන ව්‍යවස්ථාවේ 62වන ව්‍යවස්ථාවේ දෙවන අනු ව්‍යවස්ථාවට අනුවද ජනාධිපතිවරයාට ඕනෑම අවස්ථාවක පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය හිමිවී තිබේ. තවද 19 වන ව්‍යවස්ථාවේ 29 වන ව්‍යවස්ථාවේ (ඈ) ව්‍යවස්ථාවේ සඳහන්වන ආකාරයට ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හෝ වෙනත් ලිඛිත නීතියකින් හෝ ප්‍රකාශිතව ජනාධිපතිවරයා ‍වෙත පවරා හෝ නියමකර ඇත්තාවූ බලතලවලට සහ කාර්යයන්ට අමතරව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව කැඳවීමට, වාර අවසන් කිරීමට හෝ විසුරුවා හැරීමට බලය ඇත. කරුණු සලකා බැලූවිට ජනාධිපතිතුමා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ව්‍යවස්ථා විරෝධී කටයුත්තක් නොවන බව පැහැදිලි වන අතර එතුමා 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ලැබී තිබෙන බලතල අනුව ක්‍රියා කර තිබේ. යම් සිදුවීමක් දෙස ගැඹුරින් නොසිතා, එහි නීතිමය රාමුව නොදැන චෝදනා එල්ල කරමින් විවේචනය කිරීම ද සාධාරණ නැත.

එක්සත් ජාතික පෙරමුණ සමඟ එක්සත් ජනතා නිදහස් සන්ධානය ආණ්ඩු නොකිරීමට තීරණය කිරීම එම පක්ෂ දෙක තුළ හටගත් අර්බුදයක් වන අතර දෙපක්ෂය විසිරී යාම මඟින් ඇතිවූ තත්ත්වය හමුවේ රට අස්ථාවර වීමට නොදීම ජනාධිපතිතුමාගේ වගකීම හා යුතුකම වන්නේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නීතිඥ සංගමයේ ලේකම්
නීතිඥ අතුල ද සිල්වා

නිශාන් මෙන්ඩිස්


නව අදහස දක්වන්න