‘ඔක්තෝබර්’ ලෙනින් නිසි තැන හිටවනවා | දිනමිණ

‘ඔක්තෝබර්’ ලෙනින් නිසි තැන හිටවනවා

උපාලි රත්නායක

China Mieville රචනා කළ The Story of the Russian Revolution කෘතිය, උපාලි රත්නායක විසින් 'ඔක්තෝබර්' නමින් පරිවර්තනය කර ඇත. මේ එම කෘතිය සහ එහි පරිවර්තන කාර්ය පිළිබඳ, ලේඛකයා සමඟ කළ කතාබහකි.

1917 රුසියාවේ ඔක්තෝම්බර් විප්ලවය ගැන ශ්‍රී ලාංකේය පාඨකයාගේ අත්පොත තමයි ජෝන් රිඩ් ලියු ‘Ten Days That Shook the World’ හි සිංහල පරිවර්තනය වන ‘ලොව හෙල්ලූ දස දවස’. ඇයි ඒ තරම් ජනප්‍රිය කෘතියක්‌ තිබියදී, China Mieville ගේ ‘October’ පොත ‘ඔක්තෝම්බර්’ ලෙස සිංහලට පරිවර්තනය කළේ?

ජෝන් රීඩ් ගේ පොත දවස් 10ක කතාවක්. ඒත් ‘ඔක්තෝම්බර් විප්ලවය’ දවස් දහයක කතාවක් නෙමෙයි. ඊට වැඩ දිග ඇදුණු සිද්ධි දාමයක ප්‍රතිඵලයක්. ඒ කතාව අකාරාදී පිළිවෙළටයි ලියලා තියෙන්නේ. ඒ කියන්නේ A to Z විදිහට. අනෙක් අතට ‘ඔක්තෝම්බර් විප්ලවය’ ගැන ලියැවුණු ජෝන් රීඩ් ගේ පොතත් තවත් පොත් බොහොමයකුත් එක්තරා දුරකට රුසියානු විප්ලවයට පක්ෂපාති කෘති.

ඉතිහාස කෘති ලියැවෙද්දී, ඒවායේ ‘මැදහත් බවක්’ තියෙනවා කියලා ඔබ හිතනවද?

ඇත්ත. ඉතිහාසය ලියැවුණෙම පාලකයන්ට සහ ජයග්‍රාහකයන්ට පක්ෂපාතිවයි. ලියැවෙන්නෙත් එහෙමයි.ඒත්, සාපේක්ෂව , යම් ආකාරයකට දෙපාර්ශ්වයේම කරුණු ලියැවෙන්න ඕනේ කියලා මම හිතනවා. ඒක ඉංග්‍රීසි ජාතිකයෙක් වුණු China Mieville රචනා කළ ‘October’ කෘතිය තුළ ඒක තිබුණ නිසයි මම පරිවර්තනය කළේ.

ඔක්තෝම්බර් ගැන ලියැවුණු, මම කියවපු හැම කෘතියකම ලෙනින් අධිනිශ්ය කරනවා. මේ කෘතියේ එහෙම නැහැ.

මේකේ කියන විදිහට එදා රුසියාවේ තිබුණ තත්ත්වය අනුව, ලෙනින් නැතත් ඔක්තෝම්බර් විප්ලවය සිද්ධ වෙනවා. සමහර විට ඒ ඔක්තෝම්බර් 25 වැනිදා නොවෙන්න පුළුවන්. ඒත්, ඒ ආසන්නයේ දිනයක වෙන කෙනකුගේ නායකත්වයෙන් හෝ රුසියානු විප්ලවය සිද්ධ වෙනවා. ඔක්තෝම්බර් 25 විප්ලවය සිදු නොකරනවා නම්, ලෙනින් පක්ෂයේ මධ්‍යම කාරක සභාවෙන් ඉල්ලා අස්වෙනවා කියලා තර්ජනාත්මක ලිපියක් දෙනවා. ඒ නිසයි 25 වැනිදාම විප්ලවය සිද්ධ වෙන්නේ.

බෝල්ෂෙවික් පක්ෂයේ නායකයෝ, ලෙනින් පින්ලන්තයේ ඉදිද්දී ලෙනින් නැතිව ගන්න තීරණ ගැන මේ පොතේ තියෙනවා. එතරම් ශක්තිමත් තැනක තමයි ඒ වෙන කොට රුසියාවේ බෝල්ෂෙවික් පක්ෂය තිබුණේ. ඒ වගේ දේ මේ පොතේ හැර වෙන කිසිම තැනක ලියැවිලා තියෙනවා මම දැක්කේ නැහැ.

ඔබ පරිවර්තනය කළ China Mieville ගේ ‘October’ හි 1917 ඔක්තෝම්බරයේ විප්ලවයෙන් පසු කතාවත් සඳහන් වෙනවා?

ඔව්! ඔක්තෝම්බරයේ ජයග්‍රහණයෙන් පස්සේ වුණ දේ ගැන වෙනම පොත් ලියලා තියෙනවා. මම දේශපාලනයේ යෙදී සිටි කාලයේ පොතක් කියෙව්වා ‘සෝවියට් දේශය සමාජවාදයෙන් ධනවාදයට' කියලා. ඒ 1976 දී. මේ කියන්නේ බොරුවක් කියලා ඒ කාලේ මම හිතුවා. සෝවියට් දේශයේ නිලධාරී පැලැන්තියක් බිහි වීම ගැන විස්තර ඒ පොතේ තිබුණා. ඒත්, මම හිතුවේ ඒක තනිකර බොරුවක් කියලයි.

ඒත් ඇත්තටම එහෙම දේ සිද්ධ වුණ බව අපි දැන් දන්නවා .

ජෝශප් ස්ටාර්ලින් ගේ පාලනය ගැන කතාව China Mieville ගේ ‘October’ වල, එක පරිච්ඡේදයක තියෙනවා. ඒ වගේම රුසියානු විප්ලවයට නායකත්වය දුන් චරිතවල සාධනීය සහ නිශේධනීය ලක්ෂණ මේ පොතේ සඳහන් වෙනවා. උදාහරණයක් විදිහට ලෙනින්ට වැරැදුණු දේ සහ ඔහු ඊට පෙරළා මුහුණ දුන් හැටි මේ පොතේ සඳහන් වෙනවා.

ඒ විතරක් නෙමෙයි, කෙරෙන්සිගේ වගේම ,සාර් ගේ විත්ති වාචිකය අපි අහලා නැහැ. ඒත්, China Mieville තමන්ගේ ‘October’ මඟින් ඒ දෙන්නාගේ විත්ති වාචිකය අපට කියනවා ඒ ඔස්සේ ඒ අයගේ මනෝභාවය අපට කියවන්න පුළුවන්.

China Mieville කියන ලේඛකයා ශ්‍රී ලංකාවේ පාඨකයන් බොහෝ දෙනෙක් දැන ගන්නේ ඔබේ ‘ඔක්තෝම්බර්’ පරිවර්තනයෙන්. මීට පෙර ඔහුගේ භාෂා රටාව අපි කියවලා තිබුණේ නැහැ. ඒ නිසා ම, ඔහුගේ ‘October’ පරිවර්තන කිරීම ඔබට බලපෑවේ කොහොමද?

China Mieville කෘතියක්‌ සිංහලට පරිවර්තනය වෙන පළමු වතාව තමයි මේ. මට ‘October’ පරිවර්තනය කරද්දී බලපෑ ප්‍රධානම අභියෝගය තමයි China Mieville ගේ භාෂා ශෛලිය. ඒ වගේම ඔහු වෙන ශානරයකට අයිති නවකතාකරුවෙක් වීම. ඒ ශානරය මට හිතෙන්නේ ‘මනස්ශෘෂ්ඨි’ ශානරයක් ලෙසයි නම් කරන්න පුළුවන් වෙන්නේ. ටිකක් දුරකට අද්භූත නවකතා කියලා ඒවා හඳුන්වන්න පුළුවන්. එහෙම නවකතා ලියපු ලේඛකයෙක් තමයි ‘October’ ලියන්නේ. ඒ නිසා, ඒ ශෛලිය මේ කතාවෙත් ඇතුළත් වෙනවා. ඒක එක්තරා දුරකට නාටකීයයි. ඔහු යොදන වචන ඉතාමත් තියුණු, නූතන ඉංග්‍රීසි වචන. ඒ සමහර වචන අපේ සිංහල ශබ්දකෝෂවල නැහැ. ඒ නිසා, මේ රසවත් බුද්ධිමය කෘතිය සිංහල පාඨකයට ගෙන ඒම අභියෝගයක් වුණා. අනෙක් අතට මම පෞද්ගලිකව ඔක්තෝම්බර් විප්ලවයට ඇලුම් කරන, රුසියානු සාහිත්‍යට ඇලුම් කරන කෙනෙක්. ඒ නිසා ම, එයත් රැක ගන්න මට ඕනැ වුණා.

මේ සියල්ලටම වඩා වැදගත් දේ තමයි වෙළෙඳ පොළ අභියෝගය. ඒත්, අපේ පාඨකයා ඒ අභියෝගය සමතික්‍රමණය කළා. පොත යහමින් පාඨකයා බාර ගත්තා.

ඔබ දැන් ග්‍රන්ථ පරිවර්තකයෙක්. ඔබ ඉංග්‍රීසි කෘති සිංහලට නඟනවා. ඒත්, ඔබ විධිමත්ව ඉංග්‍රීසි හැදෑරු කෙනෙක් නෙමෙයි?

ඇත්ත. මම හැදුණේ, වැඩුණේ හද්දා දුෂ්කර පදවියේ. ඉගෙන ගත්තේ එහෙ. පළුගස් වංගුව පාසලේ. දේශපාලනය කළේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ. පාසල් සමයේ මුණ ගැහුණු, අපේ පාසලට ආව ජයන්ත උපතිස්ස කියන විදුහල්පතිවරයා තමයි අපට කියවන්න පුස්තකාලයක් දිනා ගත්තේ. ඒ සියවස් සැමරුම් පුස්තකාලය අපේ පළුගස් වංගුව පාසලට ලැබුණහම, මම පරිවර්තන පොත් ආශාවෙන් කියෙව්වා. පරිවර්තන මේ තරම් රසවත් නම්, මුල් ඉංග්‍රීසි පිටපත් මොන තරම් රසවත් ඇතිද කියලා මට හිතුණා. ඉංග්‍රීසි ඉගෙන ගන්න මුල් ආශාව වැඩෙන්නේ එහෙමයි.

බොහෝ කලකට පස්සේ, මගේ රැකියා ස්ථානයේදී දෙමළ ජාතික මහත්මයෙක් මුණ ගැහුණා. ඔහු ගණකාධිකාරවරයෙක්. නම වී. කන්දයියා. පසු කාලෙක ඔහු සන්නද්ධ කණ්ඩායම් විසින් මරලා දැම්මා. ඔහු තමයි ලිපිකරුවෙක් වුණ මටත්, තවත් කිහිප දෙනකුටත් ඉංග්‍රීසි ඉගෙන ගන්න උනන්දු කළේ.

ඔබ කලෙක දේශපාලන ක්‍රියාධරයෙක්. රුසියානු සාහිත්‍යයේ රසවත් සමීප බවයි, එහි දේශපාලන කෘතිවල නීරස පරිවර්තනවල කඨෝර බවයි අත්දැක තිබූ ඔබට, ඔබේ අතීත භාවිතාවන් මේ පරිවර්තන කාර්යයේදී සහයක් ලබා දුන්නද?

අපි කියවපු රුසියන් සාහිත්‍ය පරිවර්තන ඉතාමත් රසවත්. ඒවා අපේ කථා තරමටම අපට සමීපයි. ඔබ කියූ ලෙසම ඝෘජු දේශපාලන කෘති පරිවර්තනය කරලා තිබුණේ, කඨෝර, නීරස භාෂා ශෛලයකින්. ඒවා කියවන්න අපහසුයි. තේරුම් ගන්න අපහසුයි. ඒක ඇත්ත.

ඒත් , ක්‍රියාකාරීව දේශපාලනය කරද්දී, කඨෝර සහ නීරස දේශපාලනය වඩා සුමට භාෂාවකින් අන් අයට කියන්න අපි හුරු වුණා. ඒ වගේමයි, අපට ඒ කාලේ පැය විසි හතරක දවසක් තිබුණේ නැහැ. අපට තිබුණේ වැඩ දවසක්. ඒ හුරුව ‘October’ පරිවර්තනයේදී තදින්ම බලපෑවා. මම සමහර විට එක දිගට පැය දා හතක්, දහ අටක් විතර ‘October’ පරිවර්තනය කළා. කියවන්නාට වැටහෙන විදිහට ලියන්නත්, වෙහෙසකින් තොරව එක දිගට වැඩ කරන්නත් මට මගේ ‘අතීත භාවිතාවන්’ වැදගත් වුණා. ඒක එක්තරා විදිහක ‘පෙරේතකමක්’. ඒ නිසා ම, ඒ ‘පෙරේතකම’ ‘October’ මුල් කෘතියට සාධාරණය ඉටු කරන්නත්, මුල් කෘතිය කියවද්දී මට දැනුණු රසය අනෙකාට ලබා දෙන්නත්, පරෙස්සමින් පරිවර්තන කාර්යය කරන්න මා පෙලඹෙව්වා.

සාකච්ඡාව සිසිර යාපා
ඡායරූප-සචිත්‍ර සුභාෂණ

නව අදහස දක්වන්න