කිසිවක් සිදු නොවන්නේ මන්ද? | දිනමිණ

කිසිවක් සිදු නොවන්නේ මන්ද?

හඳහනක් පරීක්‍ෂා කරගැනීම සඳහා ජ්‍යොතීෂවේදියකු වෙත පැමිණෙන බොහෝ දෙනකු පුන පුනා විමසන කරුණක් වන්නේ තම කේන්ද්‍රය පරීක්‍ෂා කර ගැනීමට බොහෝ ජ්‍යොතිෂවේදීන් වෙත ගියත්, ඔවුන් පවසන පලාපල කිසිවක් සිදු නොවන්නේ මන්ද? යන්නයි. තමාගේ ජන්ම පත්‍රයට අනුව කියන පලාපල ඒ ආකාරයෙන්ම සිදු නොවන්නට හේතු කාරණා කීපයක් වේ. ප්‍රථමයෙන් ඔබට පැවසිය යුත්තේ ඔබ කේන්ද්‍රයක් පරීක්‍ෂා කිරීමට යෑමේ දී, සෑම ජ්‍යොතීෂවේදියෙක්ම ඔබ විසින් රැගෙන යන කේන්ද්‍ර සටහනට අනුව පලාපල කථනය සිදුකරනවා මිස, ඔබගේ උපන් දිනය උපන් වේලාව හා උපන් ස්ථානයට අනුව ඔබගේ කේන්ද්‍ර සටහන නිවැරැදි ද? යන්න පරීක්‍ෂා නොකිරීමයි. මෙහි දී ඔබ ළඟ පවතින කේන්ද්‍ර සටහනේ සුළු වරදක් හෝ පවතීනම් එයට අනුව පවසන පලාපල කිසිසේත්ම නිවැරැදි වන්නේ නැත.

සම්ප්‍රදායික ජ්‍යොතීෂයට අනුව, තවත් එක් හේතුවක් වන්නේ කේන්ද්‍රයක ග්‍රහ පිහිටීම් සූක්‍ෂම ලෙස පරීක්‍ෂණයට ලක් නොකිරීම වේ. එනම් ග්‍රහයන්ගේ බල දුබලතාවය, රාශියෙන්, හෝරාවෙන්, දේර්කාණයෙන් නවාංශකයෙන්, ත්‍රිංෂාංශකයෙන්, නැකතෙන්, අවස්ථාවෙන් යන සියලූ කරුණු පරීක්‍ෂා කළ යුතු වේ. මෙම සූක්ෂම ආකාරයට කේන්ද්‍රයක් පරීක්‍ෂා කිරීම සඳහා සැලකිය යුතු කාලයක් ගත වන අතර, ක්‍ෂණිකව කළ හැකි දෙයක් නොවේ. මීට අමතරව කේන්ද්‍ර හිමියාගේ මහ දශාව, අන්තර් දශාව, ඊට අදාළ වන්නා වූ ග්‍රහයන්ගේ බල දුබලතාවය කේන්ද්‍රයට අනුව ග්‍රහයන් ශුභයන්ද අශුභයන්ද යන්න නිවැරැදිව පරීක්‍ෂා කර, එසේම ග්‍රහයන්ගේ ගෝචර ගමන පරීක්‍ෂා කර, අතීතයේ, වර්තමානයේ, අනාගතයේ කුමක් සිදුවීද? කුමක් සිදුවන්නේද? යන්න තෙවැනි ඇසක් ඇති ජ්‍යොතීෂවේදියකුට ප්‍රකාශ කළ හැක.

කටක ලග්න හිමියකුගේ ශනි 4 වැන්නේ, එනම් තුලාවේ පිහිටා තිබීම පංචමහා පුරුෂ යෝගවලින් 1 ක් වන ශශ යෝගය උදාවෙයි. නමුත් ශනි අනෙකුත් වර්ගවලින් දුර්වලනම් යෝගය නාම මාත්‍රයකට පමණක් සීමා වේ. තවද 22 වැනි දෙර්කාණාධිපති, 64 වැනි නවාංශකාධිපති, 6, 12, 8 අධිපති ආදී බොහෝ කරුණු සම්බන්ධ කරගෙන කේන්ද්‍ර හිමියකුගේ අශුභ ඵල ප්‍රකාශ කරයි. විශේෂයෙන් රෝග, මරණ, විපත් ආදිය වේ. නමුත් සෑම දෙර්කාණයකටම අයත් ශරීර අවයවයන්, රාශියකට අයත් අවයවයන් ග්‍රහයන්ට අදාළව ශරීර ඉන්ද්‍රියනුත්, ග්‍රහයන්ට අදාළ ලෙඩ රෝගත් ආදී කරුණු සම්බන්ධ කරගෙන, වෛද්‍යවරයකු රෝග විනිශ්චය කරන ආකාරයට පළපුරුදු ජ්‍යොතීෂවේදියකුට ද රෝග සම්බන්ධ අනාවැකි පළකළ හැක. මෙය එක් උදාහරණයක් පමණි. ඒ ආකාරයට අපගේ ජීවිතවලට බලපාන්නා වූ සෑම අංශයක්ම පරීක්‍ෂා කළ හැක.

මෙහි දී උදාහරණයක් ලෙස අධ්‍යාපනය, ප්‍රේමය, දරුපල 5 වැන්න පදනම් කරගෙන ප්‍රකාශ කරන අතර ඉහත කාරණා තුන සම්බන්ධව ජීවිතයේ අසාර්ථක තත්ත්ව පෙන්නුම් කරයි නම් එහි දී ග්‍රහයන්ගේ බලපෑම එනම්, 5 වැන්නාධිපති, 5 වැන්නේ ග්‍රහ පිහිටීම්, 5 වැන්නාධිපති පිහිටි නැකත, නවාංශකය, අවස්ථාව හා ඉහත සඳහන් කළ ස්ථානයට අදාළ වන්නා වූ ග්‍රහයන්ට අනෙකුත් ග්‍රහයන්ගෙන් ඇතිවන බලපෑම මත, එනම් උප්පත්ති ජන්ම පත්‍රයට අනුව අයහපත් කාරණා බලපා ඇති බව ජ්‍යොතීෂවේදියා, නිගමනය කළ යුතුය. ග්‍රහ ගෝචරය පදනම් කරගෙන ජන්මියාට බලපෑම හා මහදශා, අන්තර් දශාවල බලපෑම කාලීනව එනම් අධ්‍යාපනය ලබන කාලය, ප්‍රේම කරන කාලය, දරුවන් ලබන කාලය ආදියට අයහපත් ලෙස බලපායිනම් ඉහත කාරණා සම්බන්ධයෙන් අසාර්ථක වීම සිදුවේ. ඊට අමතරව ප්‍රේමය සම්බන්ධයෙන් කුජ, සිකුරුගේ බලපෑමත්, අධ්‍යාපනය සම්බන්ධයෙන් බුධ, ගුරුගේ බලපෑමත්, දරුපල සම්බන්ධයෙන් ගුරුගේ බලපෑමත් ඉහත ස්ථානයට අනුව පලාපල කථනයේ දී බැලිය යුතුයි. ඒ ඒ කාරණාවලට කාරක වන ග්‍රහයන්ගේ බල දුබලතාව මත යමෙක් අධ්‍යාපනය ඉතා ඉහළින් සිදුකර, අනෙක් කාරණා වන ප්‍රේමය හා දරුපල අසාර්ථක විය හැකිය. මේ ආකාරයට ජීවිතයේ සෑම පැතිකඩක්ම නිශ්චිතවම විග්‍රහ කිරීම ජන්ම පත්‍රය ඇසුරු කරගෙන, සූක්ෂම පරීක්‍ෂණයකින් නිගමනය කළ යුතුයි. ඒ ආකාරයට පලාපල කථනයේ සියල්ල නිවැරැුදිව පරීක්‍ෂා කර, නිවැරැදිව අනාවැකිය ප්‍රකාශ කළ යුතු වේ.

ජ්‍යොතීෂවේදියාගේ, ජ්‍යොතීෂ අත්දැකීම් ද පලාපල කථනයට ඉතාම වැදගත් කරුණක් වේ. සෑම කේන්ද්‍රයක්ම දුටු පමණින් අත්දැකීම් මුල්කරගෙන පලාපල කීම නුවණට හුරු නැත. අප නොදන්නා ගමනක් යන විට මාර්ගය සොයා ගැනීමට මාර්ග සිතියමක් යොදා ගන්නා සේ ජීවිත ගමන යෑමේ දී ඒ සඳහා ඔබගේ කේන්ද්‍ර සටහන යහපත් ආකාරයට යොදාගත හැක.

ජ්‍යොතීර්වේදී
ගෝඨාභය මුදලිගේ


නව අදහස දක්වන්න