මුදලක් අය කළ හෘද රෝගියා | දිනමිණ

මුදලක් අය කළ හෘද රෝගියා

ඇමරිකන් හස්ල් 18

වෙයින්බර්ග්ගේ ඉදිරි-කොන් ජාවාරමද එන්න එන්නම වර්ධනය විය. ප්‍රධානම හේතුව වුණේ නොදැනුවත්ව වුවද ඔහුගේ රැවටිලිවලට හසු වු, වල්මත් වු ගනුදෙනුකරුවන්ගෙන් ස්විස් බෑන්ක් පුරාවෘත්තය ප්‍රචාරය කිරීමට ලැබුණු දායකත්වයයි. තමාගේ හොර ස්විස් බැංකුව හරහා යුරෝපීය බැංකුවලින් ණය ලබාගැනීමේ දැවෙන අවශ්‍යතාවයෙන් පෙළුණු ව්‍යාපාරිකයින් සමඟ, ණය ලබාගැනීමේ කටයුතු සඳහා ඔහු යුරෝපය, ඕස්ට්‍රේලියාව හා ආසියාව පුරා සුඛෝපභෝගී, මිල අධික සංචාරවල නියැලුණේ ඔවුන්ගේ වියදමෙනි.

“මට දවසක් නාකි තක්කඩියෙක් හොඳ උපදේශයක් දුන්නා. ඒ තමයි මොන වංචාව කළත් ‘ඇත්ත‘ හරිම වැදගත් කියන එක. බොරුවක් කියන්න අවශ්‍ය වෙන්නේ නැති තැනක දී කවදාවත් බොරුවක් කියන්න එපා කියන එක. මම ඒක අකුරටම ක්‍රියාත්මක කළා. මගේ හොර ජාවාරම් හැම එකකම සියයට අනූවක් තිබ්බේ ඇත්ත. බොරුව තිබ්බේ සියයට දහයයි. ඔයා හදපු කතාව ඔයාටම විශ්වාස කරන්න බැරි නම් අනික් අය කොහොමටවත් විශ්වාස කරන්නේ නැහැ. අනික තමයි, දරුණුවටම සල්ලි වුවමනාවක් වෙලා ඔයා ගාවට එන කෙනෙක්ගේ බලාපොරොත්තු නැති නොකරන එක. ඒ මනුස්සයා වෙනුවෙන් ඇත්තටම කරන්න දෙයක් නැති වුණත්, කවදාවත් එහෙම කියන්න හොඳ නැහැ. කරන්න තියෙන හොඳම දේ එයාට බලාපොරොත්තුවක් දෙන එක. අපි වගේ රැවටිලිකාරයෝ මොන ලණුව දුන්නත් රැවටිච්ච ගනුදෙනුකාරයෝ අපිව පොලිසියට අල්ලලා දෙන්නේ නැත්තේ අපිට තියන ඔය හොඳ ගුණේ හින්දයි.“ ස්විස් බෑන්ක්ස් ඇසෝසියේට්ස් සමඟ මෙල් මහා පරිමාණ ව්‍යාපාරිකයින් රැවටීමේ මගඩිය ගෙන ගියේ ඒ කියන න්‍යායට අනුකූලවය. ඩයෑන්ගේ නිවෙසේ දුරකතනය ස්ථාපනය කළ වෙයින්බර්ග්, තමාගේ ව්‍යාජ බැංකුව තවත් යුරෝපීය බැංකු ගණනාවක් සමඟ සබඳතා ඇති බව ප්‍රචාරය කර හැරියේය. පාරිභෝගිකයන්, නැතහොත් මොනයම් ක්‍රමයකින් හෝ කඩිනමින් මුදල් සොයා ගැනීමේ අවශ්‍යතාවයෙන් පෙළෙන ‘වල්මත්වූවන්‘ ස්විස් බෑන්ක් ඇසෝසියේට්ස් වෙත ඇ දී ආවේ රංචු පිටිනි. ගනුදෙනුකරුවන් සමඟ කටයුතු කිරීමේ දී උසස් සමාජයේ නියෝජනයක් වූ සුරූපී ඩයෑන්, වෙයින්බර්ග් සතු ප්‍රබලම අවිය විය. සුපිරි පන්තියේ කාර්ටියර් අභරණ, ලොම් කබා හා උසස් සන්නාමවල ඇඳුම්වලින් සැරසු ඩයෑන් තම ගනුදෙනුකරුවන්ට ඔහු හඳුන්වා දුන්නේ, බැංකුවලටම නම ගිය බ්‍රිතාන්‍යයේ ඉහළ පැලැන්තියේ වංශක්කාර පවුලක දියණියක වශයෙනි. ඩයෑන්ද ආයාසයකින් තොරවම සිය කොටස විශ්වාසය දනවන අයුරින් රඟ දැක්වූවාය. තමාගේම රියැදුරකු විසින් පැදවු ලිමොසින්, කැඩ්ලැක් හෝ ලින්කන් වැනි සුපිරි මෝටර් රථවලින් ගමන් කරමින්, යන එන හැම තැන මිල අධික විලවුන් හා වත්සුණු සුවඳ වහනය කරමින්, ගනුදෙනුකරුවන් ඉදිරියේ සිය ව්‍යාපාරික ඥානය ප්‍රකට කරමින් වෙයින්බර්ග් හා ගනුදෙනු ගැන කතාකළ ඩයෑන් වෙයින්බර්ග්ගේ සාර්ථකත්වයේ රහස වූවාය.

තමාගේම මවාපෑමක් වු රැවටිලිකාර ලෝකයක ජීවත්වුවන් ගොනාට ඇන්දීම වෙනුවෙන් වෙයින්බර්ග් ද සුවිශේෂ කාර්යභාරයක් ඉටුකළේය. තමා පාතාල සාමාජිකයකු නොවන්නේ නම් අඩුම තරමේ එවැන්නන් හා සබඳකම් ඇත්තකු බව ඔහු සිය ගනුදෙනුකරුවන්ට මවා පෙන්වීය. මෙබඳු මැරවරයන් සතු ධනවත්කම්, තදබල ලෙස මුදල් අවශ්‍යතාවයෙන් පෙළෙන ගනුදෙනුකරුවන් කෙරෙහි ඇති කළ බලපෑම ඉමහත්ය. එකවර මැරයන්ට කිට්ටුවීම අන්තරායකාරී වුවත්, වෙයින්බර්ග් වැනි සුහදශීලි අයකු හරහා එබඳු සම්බන්ධයක් ගොඩනඟා ගැනීමට වල්මත්වූවෝ ප්‍රිය කළහ. වංචනික රැවටිලිකාරයකු ලෙස, ඇබ්ස්කැම් වැටලීමේ දී සිය ‘සලකුණුවලට‘ තමා ගනුදෙනු කිරීමට තරම් ආරක්ෂිත පුද්ගලයකු බව ඔප්පු කිරීම සඳහා වෙයින්බර්ග්, තමාගේ මෙම ප්‍රතිරූපය සාර්ථක ලෙස උපයෝගී කරගත්තේය. වෙයින්බර්ග් වැනි සටකපට කෛරාටිකයකු රජයේ නියෝජිතයකු බව විශ්වාස කරන්නේ කවර මෝඩයෙක්ද?

වෙයින්බර්ග්ගේ මෙම බැටලු හම පොරවාගත් හිවල් ස්වරූපය නිසා වරක් වෛද්‍යවරයකු අමාරුවේ නොවැටී බේරුණේ අනූනවයෙනි. නමුත් වෙයින්බර්ග්ගේ එම රැවටීම සාධාරණීකරණය කළ හැක්කේ වෛද්‍යවරයා මිනීමරුවකු වූ බැවිනි. දිනක් ඩයෑන්ගේ නිවෙසේ සිට දුරකතනයෙන් ස්විස් බෑන්ක් ඇසෝසියේට්ස්හි ගනුදෙනු මෙහෙයවමින් සිටි වෙයින්බර්ග්ට සිය පපුව තද කරන්නා වැනි වේදනාවක් හටගත්තේය. කිසිදු කලබලයක් නොපෙන්වා ඇමතුම සාමාන්‍ය පරිදි අවසන් කළ හේ ඩයෑන්ගෙන් ඉල්ලා සිටියේ දුරකතන නාමාවලිය පිරික්සා ළඟම සිටින වෛද්‍යවරයාගේ ලිපිනය සොයාදෙන ලෙසයි. ඇගේ විරෝධතාවද නොතකා ඇය සොයා දුන් ලිපිනයට තනිවම මෝටර් රිය ධාවනය කළ වෙයින්බර්ග්ට, වෛද්‍යවරයා හා කුළුපග වීමට අසීරු වූයේ නැත. වෛද්‍යවරයා රෝග පරීක්ෂා කරන අතරවාරයේ වෙයින්බර්ග් සිය රැවටිලිකාර පුචානම් කතාබහෙන් ඔහුගේ විශ්වාසය දිනා ගත්තේ ඔහුගේ අතිශය පෞද්ගලික වගතුග පවා වෙයින්බර්ග් හා බෙදා ගැනීමට වෛද්‍යවරයා පොළඹවාලමිනි.

“ඩොක්ටර්, මම ඔය පාතාලේ ඕනෑම කෙරුම්කාරයෙක් අඳුරනවා. මේ මෙල්වින්ව නොදන්න, කෙනෙක් පාතාලේ නැහැ. මම දෙයක් කිව්වොත් උන් මරාගෙන හරි ඒක කරලා දෙන්න ලෑස්තියි.“ වෙයින්බර්ග් දිගින් දිගටම පම්පෝරිය කියෙව්වේ, වෛද්‍යවරයා ද තමාගේ සාම්පලයේ පුද්ගලයකු බව කතාබහෙන් ඒ වන විට වටහාගෙන සිටි බැවිනි.

“මමත් කාලෙක ඉඳලා ඔයා වගේ කෙනෙක් මුණගැහෙන්න හිටියේ. මටත් තියෙනවා පාතාලේ අය කරන තාලේ කොන්ත්‍රාත්තුවක් කරගන්න. ඔයාට පුළුවන්ද මට උදව් කරන්න?“

“අපොයි පුළුවන්. මේ මෙල්ට කරන්න බැරි දෙයක් නැහැ. ඇරත් ඩොක්ටර් මගේ ජීවිතේ බේරගත්තනෙ.“

“මේකයි, මේක බොහොම රහසිගතව කෙරෙන්න ඕනෑ දෙයක්. කටේ කෙළ බිඳක් හැලෙන්න බෑ. කොන්ත්‍රාත්තුව තමයි මගේ වයිෆ් මරන එක. මට තවත් ඒකිත් එක්ක ජීවත් වෙන්න බැහැ. කරදරයක් නැතිව ගැලවෙන්න තියන එකම ක්‍රමය තමයි එයා ඉවරයක් කරලා දාන එක. මොකද කියන්නේ ? මම වැඩේට හොඳට ගෙවන්නම්.“

ජීවිත ගලවන්නට දිවුරුම් දී සිටින වෛද්‍යවරයකුගේ මුවින් පිටවිය නොහැකි ඒ දරුණු වදන්වලට වෙයින්බර්ග් සවන්දුන්නේ කිසිදු වෙනසක් නොපෙන්වාය. නමුත් හිත යටින් ඔහු සිටියේ, මෙවන් වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ලැබීමට සිදුවීම ගැන පුපුරු ගසමිනි.

“සුළු දෙයක්නේ ඩොක්ටර්. මට ඕක එක වචනෙකින් කරන්න පුළුවන්. හැබැයි ඇඩ්වාන්ස් එකක් ඕන. මේක බොහොම සීරුවට කරන්න ඕන දෙයක්. වගකීම වැඩියි. “ වෙයින්බර්ග් නොපැකිලිව පැවසුවේ, මෙවැනි කෲර මනුෂ්‍යයකුගෙන් මුදලක් කඩා ගැනීම කිසිසේත් අසාධාරණ නැති බව තමාටම කියා ගනිමිනි.

“දැනට මම ඩොලර් දහදාහක් දෙන්නම්. වැඩේ කෙරුණාම තවත් ඒ වගේම ගාණක් දෙන්නම්. හැබැයි වැඩේ තිතට තියෙන්න ඕනේ.“

ප්‍රතිකාරද රැගෙන, මුදල්ද සාක්කුවේ රුවාගත් වෙයින්බර්ග් එතැනින් පිටවූයේ තමා සිදුකළ වංචාව ගැන පොලිසිය දැනුවත් කිරීමට තරම් වෛද්‍යවරයාට හැකියාවක් නැති බව තහවුරු කර ගැනීමෙන් පසුය. ගිය සැණින් ඔහු ඩයෑන්ව ඇමතුවේය.

“බැරි වෙලාවත් මට ආපහු පපුවේ අමාරුවක් ආවොත් එහෙම වැරදිලාවත් මාව ඔය යකා ගාවට ගෙනියන්න එපා. ඒකා මාව මරලාදාන එක සිකුරුයි.“

මේ අතර වෙයින්බර්ග්ගේ ඉදිරි-කොන් ජාවාරමද එන්න එන්නම වර්ධනය විය. ප්‍රධානම හේතුව වුණේ නොදැනුවත්ව වුවද ඔහුගේ රැවටිලිවලට හසු වු, වල්මත් වු ගනුදෙනුකරුවන්ගෙන් ස්විස් බෑන්ක් පුරාවෘත්තය ප්‍රචාරය කිරීමට ලැබුණු දායකත්වයයි. තමාගේ හොර ස්විස් බැංකුව හරහා යුරෝපීය බැංකුවලින් ණය ලබාගැනීමේ දැවෙන අවශ්‍යතාවයෙන් පෙළුණු ව්‍යාපාරිකයින් සමඟ, ණය ලබාගැනීමේ කටයුතු සඳහා ඔහු යුරෝපය, ඕස්ට්‍රේලියාව හා ආසියාව පුරා සුඛෝපභෝගී, මිල අධික සංචාරවල නියැලුණේ ඔවුන්ගේ වියදමෙනි. එලෙස ගනුදෙනුකරු සම්පුර්ණ වියදම නිර්ලෝභීව දරන නොයෙක් විට වෙයින්බර්ග් සිය සොයුරිය සිල්වියා හා ඇගේ සැමියා සංචාරවලට එක්කර ගත්තේ සිල්වියා ලේකම්වරිය ලෙසත්, සැමියා කාර්ය මණ්ඩලයේ නිලධාරියකු ලෙසත් මවා පෙන්වමිනි. මෙම රැවටිලිසහගත මගඩි කෙතරම් සාර්ථකත්වයට පත්වුවාද යත් උදාවුයේ තවදුරටත් වෙයින්බර්ග්ට තනිවම වැඩ කිරීමට නොහැකි තත්ත්වයකි. වෙයින්බර්ග් තමා වැනි කුඩා පරිමාණයේ වංචනිකයකු සහායකයකු ලෙස සේවයට බඳවා ගත්තේ එහෙයිනි. එබදු අමතක නොවන එක් සවාරියක් නම් නීතිඥයකු සමඟ ටෙක්සාස් නුවරට ගිය ගමනයි. නීතිඥයා විසින් හඳුන්වා දුන් ටෙක්සාස්හි ලුතිනන් ආණ්ඩුකාරවරයා සහ ප්‍රකට පෙළේ ව්‍යාපාරිකයින් වෙයින්බර්ග් විසින් කෙතරම් දක්ෂ ලෙස දැලේ දා ගැනුණේද යත්, ඔහුට එහි ගරු කටයුතු පුරවැසිභාවය පිරිනැමුවේ ආණ්ඩුකාරවරයා විසින්ම ය. එම සුවිශේෂි අවස්ථාව අදටද වෙයින්බර්ග් සතු වටිනා ආදරණීය සැමරුම් වස්තුවකි.

ගොඩඒමක් ගැන සිතා ගැනීමට නොහැකි තරම් අමාරුවේ වැටුණු විට දී පවා සිය කපටි ඥානයේ මහිමයෙන් ක්ෂණිකව තැනට ඔබින පිළිතුරු දීමට ඇති හැකියාව නිසාම වෙයින්බර්ග් විනාශයෙන් ගැලවුණු අවස්ථාද බොහෝය. එවැනි එක් අවස්ථාවක් වන්නේ ඔහු ‘බොටෝනි ඇඟලුම්‘ සමාගම රැවටීමය. තමන් මගඩියකට හසුවු බව ඇඟලුම් සමාගම දැනගන්නා විටත් ඔවුන් වෙයින්බර්ග්ව, ණය ලබාගැනීමේ අපේක්ෂාවෙන් සිටි මිතුරු කැලිෆෝනියානු ව්‍යාපාරිකයකුට රෙකමදාරු කර තිබිණි. එපමණක් නොව, ඒ වන විට වෙයින්බර්ග් ව්‍යාපාරිකයා සැපයු සුපිරි පන්තියේ ගුවන් ටිකට්පතෙන් කැලිෆෝනියාව බලා පිටත්ව ගොස් සිටියේය. වෙයින්බර්ග් ගුවන් තොටුපළෙන් සිය මෝටර් රථයට නංවාගත් ව්‍යාපාරිකයා ඔහු සමඟ ලොස් ඇන්ජලීස් බලා යන්නට වන්නේ කලින් කතිකා කර ගත් පරිදි ණය ලබාගැනීමේ ගනුදෙනු කතාකර ගැනීමටය. මඳ දුරක් ගමන් කළ ව්‍යාපාරිකයා එක්වරම එල්ල කළ හෙණ පහරක් බඳු ප්‍රශ්නයෙන් වෙයින්බර්ග් හෙල්ලී ගියේය.

“මම නිකමට බොටෝනිලාට කතා කරලා බැලුවා. එයාලා මට කිව්වා ඔහේ බොරු කියලා එයාලගෙන් ඩොලර් පනස්දහකට විද්දා කියලා.“ වෙයින්බර්ග්ට රවමින් ව්‍යාපාරිකයා පැවසුවේය.

එය ඇත්තක් බව වෙයින්බර්ග් දැන සිටියේය. ඔහු කෙතරම් කලබල වූයේද යත් උරමින් සිටි දැවැන්ත සුරුට්ටුව හිස්මොළේ නොගොස් බේරුණේ අනූනවයෙනි.

“ඒත් මම ඇහිපිල්ලමක් ගහලා වත් බය වෙච්ච වගක් පෙන්නුවේ නැහැ.“ වෙයින්බර්ග් කියන්නේ ආඩම්බරයෙනි. මම එයා දිහා කෙළින් බලලා ආයේ එයාගේ කට ඇරෙන්න ඉඩක් නැතිවෙන විදියටම මෙහෙම කිව්වා.

“ඔය කාර් එක ඔහොම නවත්වන්න. මම තව මොහොතක්වත් මාව අවිශ්වාස කරන මිනිස්සු එක්ක ඉන්නේ නැහැ. මට හොරෙක් කියලා චෝදනා කරන අය එක්ක කිසිම ගනුදෙනුවක් නැහැ. අපි ගනුදෙනු ඔක්කොම මේ දැන්ම අමතක කරලා දාමු. ආයේ කිසිම කතාවක් ඕනේ නැහැ. මාව ඔතන ඉස්සරහින් බස්සන්න.“

ව්‍යාපාරිකයා වෙයින්බර්ග් දෙස බලා මවිතයෙන් සිටියේය. ඔහු කිසිවිටක එවැන්නක් අපේක්ෂා කළේ නැත.

හෙට - කැලිෆෝනියාවේදී ගසට ගසක් හමුවේ

නව අදහස දක්වන්න