එළිමහනෙන් විසල් ලොවට | දිනමිණ

එළිමහනෙන් විසල් ලොවට

ලංකාවේ විශාලම එළිමහන් ඉගෙනුම් ඉගැන්වීම් පරිශ්‍රය මිනුවන්ගොඩ මාරපොළ මහා විද්‍යාල භූමියේ ඉදිකර තිබේ. පාසල් භූමිය තුළ ඉදිකර ඇති මෙම ඉගෙනුම් ඉගැන්වීම් පරිශ්‍රය වර්ගඅඩි 7500ක විශාලත්වයකින් සමන්විතය. එහි එකවර සිසු සිසුවියන් 100 දෙනකුට අසුන්ගෙන අධ්‍යාපන කටයුතු සිදුකළ හැකි අතර එකවර පන්ති තුනකට ඉගැන්වීම් කටයුතු සිදුකිරීමට ද හැකිවීමද විශේෂත්වයකි.

එසේම අසුන්ගෙන සිටින සිසුන් සිය දෙනාටම ගුරුවරයාත්, ගුරුවරයාට සිසුන් සිය දෙනාමත් ඉතා පැහැදිලිව නිරීක්ෂණය වන අයුරින් මෙම ඉගෙනුම් පරිශ්‍රය ඉදිකර තිබේ. මෙය ඉදිකිරීම සඳහා රජයෙන් කිසිදු මුදලක් ලබාගෙන නොමැති අතර විවිධ දානපතියන්ගෙන් හා සිසුන්ගේ මවුපියන්ගේ මෙන්ම ව්‍යාපාරිකයන්ගෙන් ලැබුණු ආධාර උපකාර මත රුපියල් ලක්ෂ 5ක් වැය කර ඉදිකර ඇත.

අති නවීන සන්නිවේදන පද්ධති ජාලයකින්ද සමන්විත වන මෙම ඉගෙනුම් පරිශ්‍රය සිසුන් අධ්‍යාපන කටයුතුවලට අමතරව විවිධ සම්මන්ත්‍රණ සහ වැඩසටහන්, ගුරු රැස්වීම්, කලාපයේ විදුහල්පති රැස්වීම්, මවුපිය රැස්වීම් ඇතුළු ඕනෑම වැඩසටහනක් පැවැත්වීම සඳහා පහසුකම් සලසා ඇත.

පාසලේ පන්තිකාමරයේ බිත්ති හතරට කොටුවී සිටින සිසුන්ව ස්වභාවික පරිසරය හා බද්ධ කර ගනිමින් අධ්‍යාපන කටයුතුවලට යොමු කරමින් ඔවුන්ට මානසික හා ශාරීරික සහනයක් ලබාදීමත් මෙම එළිමහන් ඉගෙනුම් ඉගැන්වීම් පරිශ්‍රය ඉදිකිරීමේ අරමුණ වී ඇත.

ලංකාවේ විශාලතම එළිමහන් ඉගෙනුම් ඉගැන්වීම් පරිශ්‍රය ඉදිකිරීම පිළිබඳව අදහස් දැක්වූ මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එස්. කේ. මල්ලවආරච්චි මහතා -

‘‘අධ්‍යාපනයේ අලුත් සංකල්පයක් තමයි එළිමහන් ඉගෙනුම් ඉගැන්වීම් පරිශ්‍රය. පන්තිකාමරය පිළිබඳව විවිධ විවේචන, විවිධ තර්ක විතර්ක එනවා. මෙම සංකල්පය අනුව එයට නව අරුතක් දෙමින් මාරපොළ මහා විද්‍යාලයේ මේ වන විට එළිමහන් ඉගෙනුම් ඉගැන්වීම් පරිශ්‍රයක් ඉදිකර තිබෙනවා. මෙම පරිශ්‍රයේ විශේෂත්වය ලෙස මම දකින්නේ මෙය එකවර සිසුන් සිය දෙනකුට එකවර අසුන්ගතහැකි ලංකාවේ ඇති විශාලම එළිමහන් ඉගෙනුම් පරිශ්‍රය ලෙසයි.

අද දරුවාව පන්තිකාමරය තුළම හිරකරන්න හොඳ නැහැ. ලෙඩ රෝග, ශාරීරික ආබාධ, මානසික අසහනය ඇතුළු ප්‍රශ්න තිබෙනවා. ඒවා මෙම එලිමහන් ඉගෙනුම් පරිශ්‍රය තුළදී විසඳගන්න සුවකරගන්න පුළුවන්.

මාරපොළ මහා විද්‍යාලය ඉතා ශීඝ්‍රයෙන් දියුණුවෙන පාසලක්. කලාපයේ දැනට හොඳයි කියන පාසල් අභිභවා යන පාසලක් ලෙස තව වසර 5ක් තුළ ඉතා ශීඝ්‍ර දියුණුවක් දැකිය හැකි ලෙස හඳුන්වන්න පුළුවන්.’’

මාරපොළ මහා විද්‍යාලයේ විදුහල්පති එස්. ඒ. එස්. පුෂ්පකුමාර මහතා.

‘‘පාසලේ සිසුන් 2000කට අධික පිරිසක් අධ්‍යාපනය ලබනවා. විද්‍යාලයේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේ දී පන්ති කාමර තුළ පවතින තදබදය මඟහරිමින් දරුවන්ට එළිමහනේ අධ්‍යාපනය ලබමින් සොබාසෞන්දර්යය ආස්වාදය විඳගනිමින් හොඳ පරිසරයක අධ්‍යාපනය ලබාදීම සඳහා මෙම එළිමහන් ඉගෙනුම් ඉගැන්වීම් පරිශ්‍රය ඉදිකිරීම අරමුණු වුණා. ව්‍යාපෘතිය භාරව කටයුතු කළේ අපේ පාසලේ දයාල් පතිරණ ගුරු මහතායි. මෙය ඉදිකිරීමට මවුපියන්ගේ ශ්‍රමදායකත්වය, ද්‍රව්‍ය පරිත්‍යාග වගේම විවිධ සුබපතන්නන්ගෙන් ලැබුණු සහයෝගය විශාලයි. මෙය ලංකාවේ තියෙන විශාලම ඉගෙනුම් පරිශ්‍රයයි. මේ තුළ සිසුන්ට සිය ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය හොඳින් කරගන්නට ඉතා හොඳ භෞතික පරිසරයක් සකස් වෙලා තියෙනවා. මෙහි පුටු සියයක් තියෙනවා. මෙය පාසල තුළ ඉදිකළේ පාසලේ දරුවන්ට පමණක් නෙමෙයි. මෙහි කලාපයේ අනෙකුත් පාසල්වල සිසුන්ගේ වැඩසටහන් ඇතුළු ඕනෑම සේවයක් සලසා ගන්න පුළුවන්.

මෙම ඉදිකිරීම් කටයුතු සඳහා මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එස්. කේ. මල්ලවආරච්චි මහතා අපට පූර්ණ අධීක්ෂණය ලබා දුන්නා. ඒ වගේම සැලසුම් අංශය, ප්‍රාදේශීය ඉංජිනේරු කාර්යාලය මේ සඳහා අපට තාක්ෂණික උපදෙස් ලබා දුන්නා. පාසලේ සංවර්ධන සමිතිය මේ සඳහා විශාල දායකත්වයක් ලබාදීම විශේෂයෙන් කියා සිටින්න කැමතියි. මෙම ඉදිකිරීම අපි සිදු කළේ ස්වාභාවික පරිසරය සම්පූර්ණයෙන්ම ආරක්ෂාකර ගනිමින්. එම පරිසරය ප්‍රයෝජනයට අරගෙනයි. මෙම එළිමහන් ඉගෙනුම් පරිශ්‍රය තුළින් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ස්වභාවික පරිසරය හා එක්ව සැහැල්ලුවෙන් කරන්න හොඳ තෝතැන්නක්.’’

එළිමහන් ඉගෙනුම් පරිශ්‍රය ඉදිකිරීමේ ව්‍යාපෘතිය භාරව කටයුතු කළ මාරපොල මහා විද්‍යාලයේ දයාල් පතිරණ ගුරු මහතා.

‘‘දරුවන් බිත්ති හතරකට කොටු නොවී පරිසරයට බද්ධ වී ස්වභාවික පරිසරයක් තුළ අධ්‍යාපනය ලබාගන්න ඉතා හොඳ ස්ථානයක් ලෙස මෙය හඳුන්වන්න පුළුවන්. එහි උගන්වන ගුරුවරයාට ළමයින් සිය දෙනාම එකවර ආවරණය කරගන්න පුළුවන්. එකම මොහොතක කණ්ඩායම් තුනක් යොදවා ඉගෙනුම් කටයුතු කරන්නත් පුළුවන්. නවීන තාක්ෂණික උපකරණ භාවිතා කරන්නත් පුළුවන්. පන්තිකාමර තුළ පවතින තදබදය අඩුකරන්න මේ වගේ එළිමහන් ඉගෙනුම් පරිශ්‍රයත් ඉතා හොඳ විසඳුමක් බව කියන්න කැමැතියි.

මේ සඳහා ටික කාලයක් ගතවුණා. අපේ පාසලේ මවුපියන් ස්වෙච්ඡාවෙන්ම ඉදිරිපත් වෙලා අපිට උදව් කළා. ඒ වගේම පාසල් සංවර්ධන සමිතිය අපිට මෙය ඉදිකර ගන්නට විශාල ශක්තියක් ලබාදුන්නා. ලංකාවේ විශාලම එළිමහන් ඉගෙනුම් ඉගැන්වීම් පරිශ්‍රය අපේ පාසලේ ඉදිකර ගන්නට ලැබීම ගැන අපි සතුටු වෙනවා. ’’

විද්‍යාලීය පාසල් සංවර්ධන සමිතියේ ලේකම් අහිංසා ජාලිය ගුණතිලකඅ මහතා-

‘‘මෙය සිසුන්ගේ මනස ආකර්ෂණය කරන්න පුළුවන් ස්ථානයක්. ස්වාභාවික පරිසරයත් සමඟ අධ්‍යාපනය හදාරන සිසු දරුවන්ගේ අධ්‍යාපන දියුණුව ඇතිවෙනවා. එසේම දරුවන්ගේ ශරීරයට, මනසට, ඉතා හොඳ සුවයක් සහනයක් ලබාදෙන්න මෙය ඉතා හොඳ ස්ථානයක්.

මෙවැනි විශාල එළිමහන් ඉගෙනුම් පරිශ්‍රයක් ලංකාවේ කොහෙවත් නැහැ. මෙය තමයි අපේ රටේ තියෙන ලොකුම පරිශ්‍රය. මෙය ඉදිකිරීමට අපි පාසල් සංවර්ධන සමිතිය ලෙස ශ්‍රමදායකත්වය දුන්නා. දරුවන්ට ගැළපෙන විදියට මෙය ඉදිකරන්න අපි පූර්ණ සහයෝගය දුන්නා. මෙය පාසලට මිල කළ නොහැකි මහා සම්පතක් ලෙසයි පාසල් සංවර්ධන සමිතිය ලෙස අපි දකින්නෙ. මෙය ඉදිකර ගන්න උදව්කළ සියලුම දෙනාට අපි ස්තුතිවන්ත වෙනවා. ’’

මිනුවන්ගොඩ විශේෂ


නව අදහස දක්වන්න