තීරණාත්මක අවස්ථාවක්! | දිනමිණ

තීරණාත්මක අවස්ථාවක්!

රට දේශපාලන වශයෙන් තීරණාත්මක අවස්ථාවක පසුවන බව ඉතා පැහැදිලි ය. මේ මොහොතේ ප්‍රධාන සාධක දෙකක් කෙරෙහි අපගේ අවධානය යොමු වියයුතුය. එක; අන්තර්ජාතික අතපෙවීම්වලින් රට බේරාගැනීම ය. දෙක; කුමන තත්ත්වයක් යටතේ වුව ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට පියවර ගැනීම ය. ඉහත සාධක දෙක කෙරෙහි විශේෂ අවධානය යොමු කළ යුතු ආයතන තුනක් තිබේ. එනම්; විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය යන ආයතන තුන ය. මේ ආයතන තුන විසංවාදී ලෙස හා විසම්මුති ලෙස ක්‍රියා කරත් ද එහි දී ගැටුම් උත්සන්න වන බව නිරනුමාන ය. මෙකී ගැටලුවට අපි දැන් මුහුණ දී ඇත්තෙමු.

රටක දේශපාලනයට අන්තර්ජාතික බලපෑම් එල්ලවන්නේ නම්; එය ඉතා ශෝචනීය තත්ත්වයක් බව ලෝක ඉතිහාසය අපට පෙන්වා දී තිබේ. ඉරාකය, ලිබියාව,සිරියාව, ඇෆ්ඝනිස්ථානය, යේමනය මේ සඳහා ලබාදිය හැකි ආසන්න නිදසුන් වෙයි. ඉරාකය මෙන් ම ලිබියාව ද ලෝකයේ ධනවත් රටවල් ලෙස පැවැතිණි. එහෙත් පාලකයන් ගේ ක්‍රියාකාරකම් මත ඇති වූ දේශපාලන ගැටුම් නිසා වෙනත් රටවල් ඉරාකයට හා ලිබියාවට අත පෙවූහ. එහි ප්‍රතිඵලය වූයේ රටවල් දෙකම අරාජිකව විනාශයට පත්වීම ය. අද මෙකී රටවල ජනතාව කබලෙන් ළිපට වැටී අප්‍රමාණ දුක් විඳිති. යේමනයේ දරුවෝ හාමතේ මිය යති.

ශ්‍රී ලංකාව දෙස ආපසු හැරී බැලුවහොත්; එහි බහුතර ජනතාව දුප්පත් ය. විරැකියාවෙන් පෙළෙන තරුණ කණ්ඩායම, නිවාස අහිමි පවුල්, බිම් අඟලක අයිතියක් නැති ජන කණ්ඩායම් දෙස බලනවිට අපේ දුප්පත්කමෙහි ගැඹුර පැහැදිලි වෙයි. මේ අයට සාධාරණය ඉටු කිරීමට නම්; එක අතෙකින් ප්‍රජාතන්ත්‍රවාදය පැවැතිය යුතුය. තව අතෙකින් ශක්තිමත් - ස්ථාවර රජයක් පැවැතිය යුතුය. දේශපාලන ආරවුල් පවතින තරමට ජනතාවගේ අපේක්ෂා බිඳී යයි. අනාගත පරම්පරාවේ අපේක්ෂා ද බිඳී යයි. රටේ පුරවැසියා ගැන කල්පනා කරන දේශපාලකයන් කළ යුත්තේ ආරවුල් විසඳාගැනීමට ක්‍රියා කිරීම ය.

යහපත් දේශපාලනයේ එක් ඉලක්කයක් වන්නේ හඬක් නැති අන්ත දිළිඳු ජනයා වෙනුවෙන් පෙනී සිටීම යැයි කියනු ලැබේ. ලෝකයේ විශිෂ්ටත්වයට පත් සෑම නායකයකුම ‍එලෙස ක්‍රියා කර තිබේ. අප ආදර්ශයට ගනු ලබන හා නිතර සඳහන් කරන නෙල්සන් මැන්ඩෙලා ද එබඳු නායකයෙකි. ඔහු පීඩිත කළු ජනතාවගේ නිදහස වෙනුවෙන් පෙනී සිටි අතර ම දකුණු අප්‍රිකාව තුළ ශීලාචාර සමාජයක් ගොඩනඟන්නට වෑයම් කළේ ය. එහි දී රාජ්‍ය පාලනය, යුක්තිය හා නීතිය නිසි අයුරින් පවත්වාගැනීමට නෙල්සන් මැන්ඩෙලා සමත් විය. ඔහු ආදර්ශවත් නායකයකු වන්නේ ඒ නිසා ය.

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව කිසියම් චලනයකට ලක් වී ඇති බව ඊයේ පැවැති දේවල්වලින් පෙනී යයි. ඒවා සජීවී ලෙස වාර්තා කිරීම සඳහා විදේශීය වාර්තාකරුවෝ ද පැමිණි සිටියහ. අද වන විට ලෝකයේ කිසිදු රටක දේශපාලන ක්‍රියාකාරකමක් රහසක් ලෙස පවතින්නේ නැත. ජනමාධ්‍යයේ ව්‍යාප්තිය මෙන්ම තාක්ෂණයේ දියුණුව ඊට බලපා තිබේ. කුමක් වුව ඉහත සිදුවීම් සමඟ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපයට හා ගෞරවයට සිදු වන්නේ කුමක් ද යන්න දේශපාලකයන්ට අවබෝධ විය යුතුය. අන්තර්ජාතික සහයෝගයකින් තොරව ශ්‍රී ලංකාව වැනි රටවලට පැවැතීම දුෂ්කරය. සහයෝගය එකකි. බලපෑම තවත් එකකි.

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මේ වනවිට විවිධාකාරයෙන් අර්ථ - නිරූපණය කරනු දක්නට ලැබෙයි. තව අතෙකින් විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය සමපාතී නොවන බව පෙනෙයි. රට ස්ථාවර ව ඉදිරියට ගෙන යෑම සඳහා මේ ආයතන තුනම එකට සිටගත යුතුය. අන්තර්ජාතිකබලපෑමක් හෝ ඇඟිලි ගැසීමක් හෝ පරාජය කළ හැක්කේ මේ ආයතන එක අරමුණක් සඳහා ක්‍රියා කරන්නේ නම් පමණි. අප දැන් එළැඹිය යුත්තේ මේ අවුල් විසඳන ක්‍රියා මාර්ගයකට මිස; ආරවුල් වැඩි කරන ක්‍රියාමාර්ගවලට නොවේ. එහිදී පෞද්ගලික න්‍යාය පත්‍ර පසෙක දමා රට පෙරට ගත යුතුව තිබේ.

නිදහස ලබා වසර හැත්තෑවකට වැඩි කාලයක් ගෙවී ඇතත්; ශ්‍රී ලංකාව ලැබූ සුවිශේෂ සංවර්ධනයක් නැත. වරින් -වර ආර්ථික ප්‍රතිපත්ති වෙනස් වෙයි. වරින් - වර දේශපාලන රටාව වෙනස් වෙයි. වරින් - වර දේශපාලන ගැටුම් හා ආරවුල් මතු වෙයි. මහජන ඡන්ද පවත්වනු වෙනුවට ඒවා කල්දමන අවස්ථා ද තිබේ. හොඳින් නිරීක්ෂණය ක‍ළහොත් අපේ වැදගත් ආයතන හා ඇතැම් නායකයන් පසුවන්නේ රටේ මූලික නීති ලියැවිල්ල වූ ව්‍යවස්ථාව පවා හරිහැටි වටහාගත නොහැකි තැනක ය. මේ අතර ආගමික නායකයන් පවා දෙපැත්තකට බෙදී ආරවුල් වැඩි කරන බවක් දකින්නට ලැබේ. මේවා නීතියට කෙසේ වෙතත්; සදාචාරයට ගැළපෙන්නේ නැත. රටක පවත්නා විනය, ශික්ෂණය, ශිෂ්ටත්වය ඒ රටේ දියුණුවේ ප්‍රධාන සාධකයක් ලෙස පවතී.

නොබෙල් ත්‍යාගලාභී ආර්ථික විශේෂඥයකු වූ ආචාර්ය ඊ.එෆ්.ෂූමාකාර් වරක් කියා සිටියේ රටක විනය, අධ්‍යාපනය හා සාමය ඒ රටේ ආර්ථික සංවර්ධනය තීරණය කරන බව ය. 1970 ගණන්වල ආචාර්ය ඊ.එෆ්.ෂූමාකාර් ශ්‍රී ලංකාවට පැමිණ සංචාරය කළේ ය. ඔහු එදා කියා සිටියේ ශ්‍රී ලංකාවට ඇති තරම් සම්පත් ඇති බව ය. කළ යුත්තේ ඒවා හොඳින් කළමනාකරණය කිරීම ය. එහෙත් අපට නැත්තේ ද එය ම ය. සෑම ක්ෂේත්‍රයකම පාහේ දකින්නට ලැබෙන්නේ අවිධිමත් ස්වරූපයකි. දේශපාලකයන් ඊට වගකිව යුතුය. ජනතාවගේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට යන සියලු දෙනා සිය වගකීම් ඉටුකිරීමට බැඳී සිටිති.

මහ බැංකු අධිපතිවරයා මීට ටික දිනකට පෙර කියා සිටියේ මින් මතු මැතිවරණවල දී මුල්‍ය කළමනාකරණය පිළිබඳ වැටහීමක් ඇති මහජන නියෝජිතයන් පත් කිරීමට ජනතාව වග බලා ගත යුතු බව ය. එය ඉතා වැදගත් ප්‍රකාශයකි. මුල්‍ය කළමනාකරණයකින් තොරව රටක සංවර්ධන අපේක්ෂා ඉටුකර ගත නොහැකි ය. සංවර්ධනය තීන්දුවන්නේ ආයතන හා පුද්ගලයන් ගනු ලබන තීන්දු හා තීරණ මත ය. දේශපාලකයන් ඉතා නිවැරැදි දේශපාලන තීන්දු හා ඉතා නිවැරැදි ආර්ථික තීන්දු ගත යුතුය. එසේ නොවුණහොත් රට පෙරට නොව; ආපස්සට යනු ඇත.

මේ අවස්ථාව තීරණාත්මක බවත්; දේශපාලකයන් ඉතා බුද්ධිමත් තීන්දු පමණක් ගත යුතු බවත් අවසන් ලෙස සටහන් කර තැබිය හැකි ය.

 

නව අදහස දක්වන්න